Main Logo

Saturday 10 February 2024

පොහොට්ටුව හා මා

 

පොහොට්ටුව හා මා

 

මෙටාවේ හා මොටාවේ පඬි නැට්ටන් කරුණු කිහිපයක් නිසා මට විරුද්ධ වෙනවා. මා විද්‍යාඥයකු වීමට ගොස් බැරුව පැමිණ විද්‍යාවට විරුද්ධ වන වැඩ බැරි අයකු වීම, බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියමින් ධම්මික පැණිය වැනි මිථ්‍යාවන්ට උඩගෙඩි දීම, නාථ දෙවියන් විශ්වාස කිරීම, ආධ්‍යාත්මික දැනුම ලබා ගැනීමට හැකි යැයි පැවසීම, මාක්ස්වාදය සත පහකට වැඩක් නෑති දැනුම් පද්ධතියක් බව පැවසීම, දැනුම් පද්ධති එකක් නොව රාශියක් ඇතැයි පැවසීම, බටහිර විද්‍යාව එකම මිනුම් දණ්ඩ ලෙස සැලකීමට විරුද්ධවීම, ජෙප්පන්ට හා සෙප්පන්ට විරුද්ධ වීම, පොහොට්ටුවට පක්‍ෂ වීම, රාජපක්‍ෂ හොර නඩේට කඩේ යෑම සහ තවත් දේ. පඬි නැට්ටන් මේ එකක් හෝ කිහිපයක් නිසා හෝ මට විරුද්ධයි. ජාතිකවදීන් බොහෝ දෙනා මට විරූද්ධයි. මා මහාවංසය හා අටුවා ටීකා අකුරක් නෑර නොපිළිගැනීම නිසා. ඒත් සකර්බර්ග් ඉන්නකම් මා බය නැහැ. මට ලියන්න තැනක් තියෙනවා.

 

මේ සියල්ල ගැන කියන්න මට වුවමනාවක් නැහැ. මට අවශ්‍ය මා හා පෙහොට්ටුවත් රාජපක්‍ෂලාත් අතර ඇති සම්බන්ධය ගැන කියන්න. ඒ්ක වාක්‍යයකින්  කියන්න පුළුවන්. එහෙම සම්බන්ධයක් නැහැ. පොහොට්ටුව පටන් ගන්නේ පනස් එකේ දි. එය පනස් දෙකේ මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ජාතික බලවේගයක් බවට පරිවර්තනය වුණා. පනස්හය මේ ක්‍රියාවලියේ වැදගත් සිද්ධියක්. ජාතික බලවේගයට එදා නායකත්වය දුන්නේ බණ්ඩාරනායක මහතා හා පසුව මෑතිණිය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම අවධියේ සිදු කළ ප්‍රධාන ජාතික වෙනසයි. අද වන විට පාර්ලිමේන්තු කතා බහ පමණක් නොව මෙටාවේ හරබර ලිපි පළවන්නේ සිංහලෙන්.

 

සිංහලය රාජ්‍ය භාෂාව නොවන්න පඬි නැට්ටන් බොහෝ දෙනකු කරළියේ නැහැ. එහෙත් ඔවුන් තම හීනමානය වසා ගැනීමට සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වෙනවා. ඉංගිරිසිය රාජ්‍ය භාෂාව වූ අවධියේ තමයි පරිහානිය පටන් ගත්තේ. ඉංගිරිසියෙන් ඉගෙන ගත්තා කියා පඬි නැට්ටන්ට එක සංකල්පයක් ප්‍රවාදයක් බටහිර දැනුමට එකතු කරන්න පුළුවන් වුණා ?

 

ඊයේ පෙරේද් කොළඹ මොටාව ගණනාථ ඔබේසේකරට උපහාර උත්සවයක් පැවැත්තුවා. ගණනාථ සිංහල වෙද මහතකුගේ පුතකු බවයි මා දන්නේ. කෙසේ වෙතත් ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ දී හැදෑරුවේ ඉංගිරිසි. තාවකාලික සහකාර කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණි මොටාවෙ ටික කලක් වැඩ කිරීමෙන් පසුව ලේක්හවුසියේ වැඩට ගියා. ඊටත් පස්සෙ තමයි සමාජ විද්‍යාවට ගොඩ වුණේ. ඔහු ඉදිරිපත් කර ඇති සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි තියෙනවා ? අපි ගැනත් ඊනියා සමාජ විද්‍යාව ගැනත් පස්සෙ ඉඩක් ලැබුණොත් කතා කරමු.

 

ආරම්භයේ සිට ජාතිකත්වය ඊනියා වාම අදහස් සමග මිශ්‍ර වුණා. මා හිතනවා ජාතිකත්වය වරද්දා ගත්තේ එතැන දී කියා. බණ්ඩාරනායක මහතාත් මැතිණියත් ජනසතුව ගැන විශ්වාස කළා. ජනසතුවකට වඩා රාජ්‍යසතුවක්. එය රාජ්‍ය ධනවාදය මිස අනෙකක් නො වෙයි. රාජ්‍ය ධනවාදය හා මාක්ස්වාදී සමාජවාදය කියන්නේ එකක් නො වෙයි. මාක්ස්වාදී සමාජවාදය කියා එකක් නැහැ. රාජ්‍යය සතු ව්‍යාපාර සාර්ථක කරගෙන යැම අසීරු වැඩක් බව කල්යෑමේ දී පෙනී ගියා. බස් ජනසතුව අද ලංගම ඩිපෝ කීපයකට සීමා වෙලා.

 

කෙසේ වෙතත් මා කඳවුරේ හිටියා. 1989   දී ප්‍රථම බණ්ඩාරනායක සමරු උළෙලේ දී ප්‍රධාන දේශනය පැවැත්වූයේ මම. එහි මාතෘකාව අදත් ජන ව්‍යවහාරයේ තියෙන පනස්හයේ දරුවෝ. දේශනය පැවැත්තුවේ ජා - වි පෙ භීෂණ යුගයක. අපට ජේ ආර්ට හා ප්‍රේමදාසට මුහුණ දීමේ හැකියාව තිබුණා. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් අහොසි කර තිබිය දී. එහෙත් අනුවේ දශකයේ මුල ජාතිකත්ව කඳවුරේ ඊනියා වාමවාදී අදහස් බලවත් වීමට පටන් ගත්තා.

 

මෙහි දී කිවයුතු කරුණ නම් මා ජාතිකත්ව කඳවුරේ කිසිම පක්‍ෂයක සාමාජිකයකු නො වීමයි. 1980 මාර්තුවේ මාක්ස්වාදය විද්‍යාත්මක යන ප්‍රශ්නය අසමින් නව සමසමාජ පක්‍ෂයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වී නැහැ. එහෙත් අසුවේ දශකයේ මැද භාගයේ පමණ සිට මා සිටියේ ජාතිකත්ව කඳවුරේ. කඳවුරේ ඉන්නවා කියන්නෙ පක්‍ෂයක සාමාජිකයකු වීම නො වෙයි.

 

ජේ ආර් පරාජය කිරීමට ජාතිකත්ව අදහස්වලට වඩා ඊනියා වාම කතා අවශ්‍ය බව එවකට වාමවාදීන් වූ රාජිත සේනාරත්න වික්ටර් අයිවන් රෙිජිනෝල්ඩ් කුරේ ආදීන්ගේ අදහස වුණා. මට මතක හැටියට කුමාර් රුපසිංහ වැන්නන් බලපෑම් කළා. මේ ඊනියා වාම අදහස්වල ප්‍රතිඵලය වුණේ විජය කුමාරතුංග ඝාතනයෙන් පසු එංගලන්තයට හොස් සිටි චන්ද්‍රිකා කුමාරතුංග මෙරටට ආනයනය කිරීමයි.  චන්ද්‍රිකාට කිසි දිනෙක ජාතිකත්ව අදහස් තිබුණේ නැහැ. ඇය ඊනියා වාමවාදිනියක්.

 

ඇයගේ ආගමනය ජාතිකත්ව කඳවුර භේද කිරීමට සමත් වුණා. ඊනියා වාමවාදීන්ගේ අදහස වූයේ දෙමළ වෙල්ලාල ජාතිවාදීන්ට බලය බෙදීම  ක්‍රියාත්මක කරන පැකේජයක් සම්මත කළ යුතු යන්නයි. එතෙක් ප්‍රේමදාස සමග සිටි ජී එල් පීරිස් චන්ද්‍රිකාට එකතු වුණා. මංගල සමරවීර වැනි ජාතිකත්වත්ව විරෝධීන් ඊනියා වාම කතා කඳවුරට ගෙනාවා. මේ අනතුර අප කිහිප දෙනෙක් කල් තියා දුටුවා. ඔවුන් අතර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඕමාරෙ කස්සප හිමි, එස් එල් ගුණසේකර ගාමිණී ඊරියගොල්ල ගුණදාස අමරසේකර සිටි බව අවධාරණය කළ යුතුයි. (මතු සම්බන්ධයි)