Main Logo

Wednesday 5 December 2018

රනිල්ගේ හතරවරන් දෙවියෝ


රනිල්ගේ හතරවරන් දෙවියෝ



බොහෝ කාලෙකට පෙර, අවුරුදු විසිපහකටත් ඉහත අප විසි දෙනකු පමණ නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට නෝර්වේ රාජ්‍යය සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ත්‍රස්තවාදීන්ට ආධාර කිරීමට එරෙහි ව උද්ඝෝෂණයක් පැවැත්තුව. එකල අද මුහුණු පොතේ සමහර වීරයන් ඉපදිලත් නැතිව ඇති. එකල කිසිම දේශපාලන පක්‍ෂයක් අපට ආධාර කරන්න හිතුවෙවත් නැහැ. දැනුත් නැහැ. මට මතකයි රාජ්‍ය නොවන සංවිධානයකින් ඇවිත් අපේ ඡයාරූප ගත්ත. ඒ අපට ඉන්නෙ ටික දෙනයි කියලා කියන්න. අද අපේ පැත්තෙ ඉන්න බොහෝ දෙනෙක් එදා අපට හිනහවුණා. ඔවුන්ට නිකමටවත් හිතා ගන්න  බැරි වුණා නොාර්වේ කොහොම ද කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන්නෙ කියලා.




ඊට කාලෙකට පස්සෙ අද හතරවරන් දෙවියන් මතක් වෙලා ඉන්න රනිල් ටික කාලෙකට අගමැති වෙලා ඉන්න කොට ප්‍රභාකරන්  සමග ඊනියා සටන් විරාම ගිිවිසුමක් අත්සන් කරන්න කිලිනොච්චි ගියා. ඒකෙ කපුවා නොාර්වේ තානාපති. ප්‍රභාකරන් ඒකට ඇවිල්ල හිටියෙ නැහැ. පස්සෙ නෝර්වේ තානාපති ප්‍රභාකරන්ගෙ අත්සන ගන්න ඇති. රනිල් එදත් අද වගේමයි. ඔහු අගමැති වුණත් ඔහුට ඊනියා සටන් විරාම ගිවිසුම් අත්සන් කරන්න ව්‍යවස්ථාවෙන් බලයක් නැති වුවත් ඔහු ඒ ඊනියා ගිවිසුම අත්සන් කළා. ඔහු ඒ සම්බන්ධ කිසිම දෙයක් එකල ජනාධිපතිනිය වූ චන්ද්‍රිකාටවත් පාර්ලිමේන්තුවටවත් ගිවිසුමක් ගැන කියා තිබුණෙ නැහැ. අද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියන රනිල් එදත් අදත් ප්‍රෝඩාතන්ත්‍රවාදියෙක්.



රනිල් පාර්ලිමේන්තුවට බලය ලබා දීමක් ගැන කිව්වත් ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තුව හරහා තමාට බලය ලබා ගැනීම. ඔහු හොඳින් ම දන්නවා ඔහුට සම්ම ජාතියේ ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරි බව. ඔහු පොදු අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්නේ එබැවිනුයි.  විධායක ජනාධිපතිගෙ බලතල කපා පාර්ලිමේන්තුව මගින් තමාට බලය අත් කර ගන්න උත්සාහ කළ රනිල් අද උසාවිය මගින් සියලු බලතල ජනාධිපතිට පවරන්න කටයුුතු කරලා. තාවකාලිකව හරි මෛත්‍රිපාල අද පාර්ලිමේන්තුවක් නැතිව රට කරවනවා. සුද්දන්ගෙ පාර්ලිමේන්තුව අපට අවශ්‍ය ද යන ප්‍රශ්නය නිතර අප හමුවට එනවා. අපි රට ම එකතු වෙලා රාජසභාවක් පිහිටුවා ගනිමු.



නෝර්වේ රාජ්‍යය ගැන කිව්වට අප දැන ගෙන හිටියා මේ සියල්ල පිටුපස ඉන්නෙ එංගලන්තය කියා. එංගලන්තය බොහොම සියුම් ව තම කටයුත්ත කර ගෙන ගියා. රනිල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. අප ඒ දිනවල ම හෙළි කලා දෙමළ ජාතිවාදයට ක්‍රිස්තියානි/කතෝලික පල්ලිවල අනුග්‍රහය ලැබෙන බව. ඇංග්ලිකන් (ලංකා) සභවෙ ප්‍රධාන පූජක වූ කෙනත් ප්‍රනාන්දු බික්‍ෂොප්වරයා ප්‍රභාකරන්ගේ මානවීය ගුණ ගයන්න පටන් ගත්ත. විවිධ කතෝලික පූජකවරුන් මෙරට හා ඉන්දියාවේ කොටින් සමග ලැගුම් ගත්තා. බොහෝ බෞද්ධයන් ද එකල අපට හිනහවුණා. මෙරට දෙමළ ජාතිවාදය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ උපත ලද්දක්. ප්‍රභාකරන්ගෙ ආගම මොකක් වුණත් ඔහු මෙහෙයවුණෙ බටහිර ක්‍රිස්තියානි පල්ලීිවලින. මා මෙය එදත් අදත් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන්ට විරුද්ධව නො වෙයි. එදත් අදත් දෙමළ ජාතිවාදය පෝෂණය කෙරුණේ  කෙනත් ප්‍රනාන්දු බිෂොප් වැන්නන්ගේ හා කතෝලික පූජකවරුන්ගෙ  මැදිහත් වීමෙන්.



එදා බටහිරයන් හා විවිධ පල්ලි විසින් දෙමළ ජාතිවාදය ඇති කෙරුණු බව කියන විට හිනහවුණු අයට අද පාර්ලිමේන්තු ගැලරියේ බටහිර තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් දැක ගන්න පුළුවන්. ඒ හිනහවුණු අය අද අප පැත්තකට දමා බටහිරයන්ට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අද රනිල් කවුද කියා බොහෝ අය දන්නවා. මෛත්‍රිපාලත් දන්නවා. ඔහු කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා ම කිව්වත් රනිල් අගමැති කරන්නෙ නැහැ කියා. ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 33 වැනි ව්‍යවස්ථාවෙන් මෙරට ව්‍යවස්ථාව රකින්න එයට ගරු කරන්න බැඳී ඉන්නවා. අප සියල්ලන්මත් 28 වැනි ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාව රකින්න බැඳී ඉන්නවා. එහූ රටක ජනාධිපතිට පුළුවන් ද ව්‍යවස්ථාව නොරකින දේශයට විරුද්ධ ජාතිකත්වයක් නැති හමින් පමණක් කලු සිතුවලිවලින් සුදු, මැකෝලි දරුවකු අගමැති පදවියට පත් කරන්න.



රනිල්ට අද සිංහල බෞද්ධ සංස්කෘතියේ, ඕල්කට් බෞද්ධ සංස්කෘතියෙ නොව, හතරවරන් දෙවියන් සිහි වෙලා. සිංහලයන් අතර හතරවරන් ගහනවා කියා කතාවක් තියෙනවා. මහා බැංකු මගඩිය හතරවරන් ගැහිල්ලක්. රනිල්ට හතරවරන් දෙවියන් සිහි වීම පුදුමයක් නො වෙයි. ඒ වගේ ම සිංහල බෞද්ධයන් අතර කතාවක් තියෙනවා හතරවරන් දෙවිවරු අපේ පිංපොත් සකස් කරනවා කියා. රනිල්ගෙ පිංපොත දැකපු අයෙකු ඉන්නවා ද? ඔහු එකල ධවල පත්‍රිකාවෙන් නම් පොතපත වෙනස් කරන්න හැදුවා. පිංපොතේ ඊනියා සටන් විරාම ගිවිසුම ධවල පත්‍රිකාව හා තවත් එවැනි දේ ඇති. රනිල්ට අපේ හතරවරන් දෙවියන්ට කියලා පිංපොත වෙනස් කරගන්න බැරි වෙයි. ඔහුට පුළුවන් කරුණාරත්න ජයසූරියට කියල ස්ථාවර නියෝග පොත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය වෙනස් කරවන්න අත්හිටුවගන්න පමණයි.



රනිල් හතරවරන් දෙවියන්ගෙ නාමයෙන් මහින්දට හා ඇමති මණ්ඩලයට පලයව් කියනවා. රනිල් හිතනවා ද දන්නෙ නැහැ කරුණාරත්න ජයසූරිය හතරවරන් දෙවිවරුන්ගෙන් එක් අයකු කියා. අනෙක් තුන්දෙනා එංගලන්්ත මහා කොමසාරිස්, නෝර්වෙ තානාපති හා එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ ලේකම් වෙන්න ඇති. දරුස්මාන්ල වගේ අය බූමාටු දෙවියන් වෙන්න ඇති. ඔය අස්සෙ රිෂාඩ් බද්‍යුද්දීන් වගේ රුක් දෙවියනුත් ඇති. සුමන්තිරන සක්‍රයාගේ පුතා වයිම ද දන්නෙ නැහැ. එතකොට අනුර? ඔහුට කඩේ යන්න නම් හොඳ රථයක් ඕන. ඒත් ඔහු මාතලී වෙන්න බැහැ. ඔහු කවුරු හරි දෙවියකුගෙ පශු රථයක් වෙන්න පුළුවන්.



රනිල්ගෙ වැඩ පිළිවෙලට අනුව විශ්වාසභංග යෝජනා  එකක් නොව දෙකක් ම ගෙනැල්ල. දැන් තුන්වැනි විශ්වාසංග යෝජනාවක් ගේන්න යන බවයි කියැවෙන්නෙ. කලින් ගෙනා විශ්වාසභංග වලංගු නම් තවත් විශ්වාසභංග මොනවට ද? විශ්වාසභංග වුණත් අනන්තයක් ගේන්න බැහැ. ගෙනාවත් වැඩක් වෙන්නෙ නැහැ. මෛත්‍රිපාල ඉන්නකන් රනිල්ට අගමැති වෙන්න බැහැ. කොහොමත් විශ්වාසභංගයකින් පස්සෙ බලය යන්නෙ කරුණාරත්න  හතරවරන්ට නොව ජනාධිපතිට.