Main Logo

Sunday 2 December 2018

මඩකලපු පොලිස් ඝාතන


මඩකලපු පොලිස් ඝාතන



මඩකලපුවේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මරලා. කවුද මැරුවෙ කියන එක තවම හරියට දන්නෙ නැහැ. ඒක පෞද්ගලික කෝන්තරයක් කියලා හිතන්න අමාරුයි. එක් කොස්තාපල්වරයකු සිංහල අනෙක් අය දෙමළ. සිංහල දෙමළ කතාවක් නැතිව දෙදෙනා ම පොලීසියත් රටත් වෙනුවෙන් සේවය කළ අය. පොලීසිය කියන්නෙ ධනපති රාජ්‍ය තන්ත්‍රයෙ උපකරණයක් කියල සමහරු කියයි. එහෙත් කිසිවකු තමන් කම්කරු පංතියෙ කියල බුද්ධියෙන් නොව හැඟීමෙන් හිතන්නෙ නැති කාලයක ඔය පංති කතා නිකම් හිතළු පමණයි. ඒවා පට්ටපල් බොරු.




ඒත් අවුරුදු ගණනාවකට පස්සෙ පොලිස් නිලධාරීන් දෙදෙනකු උතුරු හා නැගෙනහිර පළාත්වල මරා දමලා. එසේ කිරීම මෛත්‍රිපාල මහින්ද ආණ්ඩුව ඇති වී මසකින් පමණ සිදු වීම දේශපාලනික කතාවලට මග පාදනවා. ඊනියා මහා විරු සමරුව පැවැත්වීමට ආණ්ඩුව අවසර නොදීම හා මරා දැමීම අතර සම්බන්ධයක් ඇතැයි කියැවෙනවා. ඒ පිළිබඳ නිශ්චිත සාක්‍ෂි නැති වුවත් ඊනියා මහා විරු සමරුව හා එයට අවසර නොදීම අතර සම්බන්ධයක් තියෙන්න ඕන කියල හිතන්න පුළුවන්. ඒ කියන්න වෙන්නෙ වෙන හේතුවක් පඬියකුවත් ඉදිරිපත් නොකර ඇති විටක.



2015 ජනවාරි නවවැනිදාට පසු පසුගිය ඔක්තෝම්බර් දක්වා මෙරට තිබුණු රනිල්ගේ ආණ්ඩව දෙමළ ත්‍රස්තවාදී මිතුරු ආණ්ඩුවක්. ඔය පරිසර මිතුරු වගේ දෙමළ ත්‍රස්තවාදී මිතුරු මෙන් ම දෙමළ ජාතිවාදී මිතුරු සංකල්පත් තියෙනවා. 2009 මැයි මාසෙ නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග 1833 සිට පැවත ආ දෙමළ ජාතිවාදය පරාජය කෙරුණත් එසේ සිතීමට රාජපක්‍ෂ ආණ්ඩුව ඉදිරිපත් වුණෙත් නැහැ. ඔවුන්ටත් දෙමළ ජාතිවාදයෙ සම්භවය ගැන පැහැදිලි දැක්මක් තිබුණෙ නැහැ. ඒ ආණ්ඩුව ඒ වන විටත් 2008-2009 ට්‍රොයිකා සාකච්ඡා අනුව දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමටත් ඉන් ඔබ්බට යන විසඳුම් සඳහා දෙමළ ජාතික සංධානය හා අනෙක් පක්‍ෂ සමග කතා කිරීමටත් ඉන්දියාවට පොරොන්දු වෙලා තිබුණා. ඒ ට්‍රොයිකාවට මුල් වෙච්ච ලංකාවෙ ප්‍රධානියා අදත් රට අවුල් කරනවා.



අද රටේ ඇති ප්‍රශ්නයට ප්‍රධාන ම හේතුව දෙමළ ජාතිවාදයයි. මෙසේ කීම ඌනිතවාදයක් නො වෙයි. නොයෙක් පෞද්ගලික ප්‍රශ්න පෞද්ගලික න්‍යාය පත්‍ර කුඩුකේඩු පක්‍ෂ දේශපාලනය වෙල්ගම මගින් ඉදිරිපත්වෙන නූතන මොල්ලිගොඩගේ ශ්‍රී ල නි ප විරෝධය දහනවවැනි සංශෝධනය ආදී හේතු ගණනාවක් මෙහි දී ක්‍රියාත්මක වෙනවා. එහෙත් ප්‍රධාන හේතුව බටහිර ක්‍රිස්තියානි රාජ්‍ය විසින් ඇති කෙරී පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදයයි. රනිල් දහනවයෙන් පාර්ලිමේන්තුවට බලය ලැබී ඇතැයි කියන්නෙ ජනතාව රැවටීමට. දහනවයෙන් විධායක ජනාධිපතිගේ බලතල කිහිපයක් කපා දැමී ඇති බව පිළිගන්නවා. එහෙත් තවමත් විධායක බලය තියෙන්නෙ ජනාධිපතිට.



නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කිරීමට කටයුතු කළා නම් අද මේ ප්‍රශ්න නැහැ. එකල ආණ්ඩුව නූතන මොල්ලිගොඩ නිසා ඉන්දියාවට යට වුණා. ඒ දුර්වලකම හේතුවක් කර ගෙන බටහිරයන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන විවිධ චෝදනා ඉදිරිපත් කළා. දරුස්මාන් වාර්තාවට රනිල් ද දායක වුණා. ජෙනීවා යෝජනා මගින් ලංකාවට බලපෑම් කෙරුණා. එහෙත් රාජපක්‍ෂ ආණ්ඩුව තරමක් වුවත් කෙලින් සිටියා. බටහිරයන්ට ඒ ආණ්ඩුව ඉවත් කරන්න අවශ්‍ය වුණා.



මෙරට දේශපාලනඥයන් ජනතාව ගැන කිව්වත් ඔවුන් හිතන්නෙ තමන් හා තම හිතවතුන් ගැන. පෞද්ගලික හේතු ඔවුන්ගේ තීරණවලට බලපානවා. ඒ අතර රටට විරුද්ධ හේතු ක්‍රියාත්මක වෙනවා. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂක වුණෙ ඒ වාතාවරණයෙ. එයට නූතන මොල්ලිගොඩ ද වග කියන්න ඕන. ඡන්දදායකයාත් වඩාත් කල්පනා කරන්නේ පෞද්ගලික කරුණු. ඔවුන් 2015 දි රාජපක්‍ෂ ආණ්ඩුව සුළු වැඩි ඡන්දයකින් නමුත් පරාජය කරන්න කටයුතු කළා. එහෙත් බටහිරයන්ට ආණ්ඩුව පරාජය කරන්න ඕන වුණෙ දෙමළ ජාතිවාදය තහවුරු කිරීම සඳහා දෙමළ ත්‍රස්තවාදය පණ ගන්වන්න.



රනිල්ගෙ ආණ්ඩුව රණවිරුවන් මර්දනය කළා. බුද්ධි අංශය දුර්වල කළා. දෙමළ ත්‍රස්තවාදි කල්ලි බිහිවන විට ඇහැ කණ පිහා ගෙන හිටියා. මේ අතර තවත් භයානක දෙයක් සිදු වුණා. එ සුමන්තිරන් නම් මෙතෝදිස්ත දෙමළ ජාතිවාදියා බලවත් වීම. ඔහු අද පාර්ලිමේන්තුවේත් අධිකරණයේත් තම අණසක පතුරවලා. අවුරුදු තුනහමාරක් ඇතුළත සුමන්තිරන් බලවත් ම දේශපාලනඥයා වෙලා. පැහැදිලිව ම ඔහුට බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ සහාය ලැබෙනවා.



මෛත්‍රිපාල කල් පසු වී නමුත් රනිල් ඉවත් කර මහින්ද අගමැති කෙළේ මේ සියල්ල කල්පනා කර වෙන්න ඕන. ඔහු අද දේශීයත්වයක් ගැන වෙනදාට වඩා කතා කරනවා. ඒ නිසා ම ඔහුට අද බටහිර තර්ජන බලපෑම් වැඩියි. හෙට අනිද්දා එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් ඔහු හමුවීමේ සූදානමක් තියෙනවා. ඒ චොක්ලට් ටිකක් දෙන්න නො වෙයි. අද මැතිවරණය සම්බන්ධයෙන් කුළල් කා ගැනීම් ඇරඹිලා. නූතන මොල්ලිගොඩ ශ්‍රී ල නි පක්‍ෂය නැති කිරීමට අර අඳිනවා. මෛත්‍රිපාල මේ සියල්ල මැද කිනම් ප්‍රතිචාරයක් දක්වයි ද? 



මඩකලපුව් පොලිස් ඝාතන මාසයකින් ඇති වූවක් නො වෙයි. ඒ රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා ඇති වුවක්. ජ වි පෙරමුණ  අද තම අනුගාමිකයන් රැවටීමට කුමක් කීවත් ඔවුන් රනිල්ගේ ආණ්ඩුවේ ආර’ක්‍ෂකයන්. රනිල්ගේ ආණ්ඩුවක් ඇති කිරීමට බටහිරයන් මෙන් ම ජ වි පෙරමුණ ද දෙමළ ජාතික සංධානය ද නූතන මොල්ලිගොඩ ද සෘජුව හෝ වක්‍රව හෝ මැදිහත් වෙනවා. යම් අයුරකින් එසේ වුවහොත් සිදුවිය හැකි දේ පිළිබඳ ඉඟියක් මඩකලපුවෙන් ලැබෙනවා. අපේ පෞද්ගලික ප්‍රශ්න අමතක කර බටහිරයන්  සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට දෙමළ ජාතිවාදය යෙදා ගන්නා ආකාරය ගැන සිතීමට මඩකලපු පොලිස් ඝාතන හේතු වෙන්න ඕන.