සිංහලේ එක්සේසත් කළේ කවුද
මේ රටේ ඉතිහාසය ඉගැන්වීමටත් ඉතිහාසයක් තියෙනවා. ඈත අතීතයේ ඉතිහාසය
පදනම් වුණෙ ජනකතා (ජනප්‍රවාද, ඊනියා ජනශ්‍රැතිය) වංශකතා සෙල්ලිපි ආදිය මත.
ඉතිහාසය ඉගෙනීමට සිදුවන්නේ වර්තමානයෙ. එහෙත් එදා වර්තමානය අද අතීතය වෙලා. බටහිර
ගණිතයත් භෞතික විද්‍යාවත් සාපේක්‍ෂ වන විට ඉතිහාසය සාපේක්‍ෂ නොවී සිටින්නේ නැහැ.
ඉතිහාසය කියන්නෙත් අනෙක් සියල්ල වගේ ම මිනිසුන්ගෙ නිර්මාණයක්. අද අප ඉතිහාසය
නිර්මාණය කිරීමේ දී සමහරවිට පැරණි ඉතිහාස කතාවලට නව අර්ථකථන දෙනවා. ඉතිහාසයකට වඩා
ඉතිහාස තියෙනවා කියල කිව්වොත් නිවැරදියි.
ඒත් ඒකෙන් කියන්නෙ නැහැ ඕනෑම ඉතිහාසයක් වලංගු කියල හරි පිළිගන්න ඕන
කියල හරි. මේ ඉතිහාසවල යම් සංගත බවක් තියෙන්න ඕන. ඒ අතර සෙල්ලිපි නටබුන් හා වෙනත්
ඓතිහාසික වස්තු සමග ගැලපෙන කතාවක් වෙන්නත් ඕන. අපට සමහර අවස්ථාවල න්‍යායික හා
තාර්කික සංගත බවත් සලකන්න වෙනවා. මෙහි න්‍යාය කියන්නෙ ප්‍රවාදවලට නො වෙයි. මා න්‍යාය
කියන වචනය යොදා ගන්නේ ප්‍රවාද කියන අර්ථයෙන් නො වෙයි. එය ඉංගිරිසියෙන් නම් ලොජික් (logic) කියා කියන්න පුළුවන්. තර්ක කියන්නෙ ලොජික් නො වෙයි. තර්කයක් ඉදිරිපත්
කෙරෙන්නේ යම් න්‍යායික පද්ධතියක. ඒ පද්ධති ද්විකෝටික චතුස්කෝටික වශයෙන් වෙනස් වන්න
පුළුවන්.
එදා ඉතිහාසය ලියැවුණේ මහාවිහාරයට සාපේක්‍ෂ ව. එය මූලික වශයෙන්
මහාවංසයේ කියැවෙනවා. මා එය යම් ඌනපූරණවලට යටත් ව පිළිගන්නවා. ඇතැම් පඬියන්ට එය
අල්ලන්නේ නැහැ. ඒ පඬියන් ඉතිහාසය පටන් ගන්නේ විජයගෙන්. ඔවුන් එසේ කිරීමෙන් අපේ
ඉතිහාසය වෙනත් අයට පවරනවා. ඒ අතර සමහරු විජය හා සිංහයන් ප්‍රතික්‍ෂෙප කරනවා.
ඔවුන්ට විජය කියන්නෙ වැඩිම වුවොත් ආක්‍රමණිකයෙක්. ඔවුන්ට විජය හා පෘතුගීසීන් අතර
වෙනසක් නැහැ.
අපේ වංසකතාවල යක්ඛයන් නොසලකා හැර තිබෙනවා. අද එය දෙමළ ජාතිවාදීන් ප්‍රයෝජනයට
ගන්නවා. හිතන්න එපා කැණීම් කරන සියල්ලන් ම හෙළ ඉතිහාසයක් මතු කර ගැනීමට උත්සාහ
කරනවා කියා. අද ඔවුන් එසේ කරන බවක් පෙනෙන්නට පුළුවන්. එහෙත් ඔවුන්ගේ අරමුණ අවුරුදු
දෙදහස් පන්සීයක් හා හාරදාහක් අතර හිටි අය සමග සිංහලයන්ගේ සම්බන්ධයක් නොතිබූ බව
පෙන්වීම විය හැකියි. අප ඔවුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.
අද ඉතිහාසය ලියැවෙන්නේ කවුරුන් විසින් ද? අද විශ්විද්‍යාලවල ඉතිහාසය උගන්වන්නන් බොහොමයක් ජී සී මැන්දිස්ගේ
මුණුබුරන් හා මීමුණුබුරන්. ජී සී මැන්දිස් ක්‍රිස්තියානි පූජකවරයකු ව සිටියා. ඔහු
ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය ඉගැන්නුවා. ඔහුගේ ඉතිහාසය යුදෙව් ක්‍රිස්තියානි
සංස්කෘතියට සාපේක්‍ෂයි. ඔහු ඊනියා වාස්තවික ඉතිහාසඥයෙකු කියල කිසිවකු කියනවා නම්
ඔහුත් යුදෙව්ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යයට යට වූ කෙනෙක්. මොවුන් බටහිර ක්‍රිස්තියානි
නූතනත්වයේ දාසයන්. බොහෝ දෙනකු පේරාදෙණි සාහිත්‍යයක් ගැන කීවත් පේරාදෙණි ඉතිහාසයක්
ගැන කියන්නේ නැහැ. පේරාදෙණි ඉතිහාසය අති භයංකරයි. එය සිංහල බෞද්ධ විරෝධීයි.
අවාසනාවකට මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් බටහිර ක්‍රිස්තියානි බලපෑමට යම් ප්‍රමාණයකට
හසු වූ ආයතනයක්.
එහෙත් මේ සියල්ලන්ට එකතු වී වුව ද විශාල හානියක් කරන්න බැරි වුණා.
සරච්චන්ද්‍රලා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඉත්තන් ලෙස මුල දී කටයුතු කළත්
ඔවුන්ට යම් ජාතිකත්වයක් අඩුම තරමෙන් ආසියාතිකත්වයක් තිබුණා. මා අසා ඇති අන්දමට
සරච්චන්ද්‍ර සිවිල් සේවා විභාගයේ සම්මුඛ පරීක්‍ෂණයට ගොස් ඇත්තේ නේරු තොප්පියක්
පැළඳ ගෙන. එය එසේ ම වුණත් නැතත් ඒ කතාවෙන් කියැවෙන යමක් තියෙනවා. පසු කලෙක
සරච්චන්ද්‍ර ජාතිකත්වයක් වෙත නැඹුරු වුණා. එහෙත් මෙරට ඉතිහාසඥයන් යැයි
කියන්නන් කී දෙනකු එසේ වෙනස් වී තියෙනවා ද? විමල විජයසූරිය මැන්දිස් රෝහණධීර වැන්නන් ඊනියා
ඉතිහාසඥයන් විසින් ඉතිහාසඥයන් ලෙස සැලකෙන්නේ නැහැ. සිංහල බෞද්ධ විරෝධී ඊනියා
ඉතිහාසඥයන් විසින් ඉතිහාසඥයන් ලෙස සැලකෙන්නේ ජී සී මැන්දිස්ගේ දරු මුණබුරන් පමණයි.
අද මේ සිංහල බෞද්ධ විරෝධී ඊනියා ඉතිහාසඥයන් උත්සාහ කරන්නේ මෙරට
එක්සේසත් රාජ්‍යයක් ඈත කාලයේ, ගැමුණු රජුගේ කාලයේ යැයි කියමු,
නොවූ බව කීමට. එහෙත් ඔවුන්ට පිළිගැනීමට සිදු
වෙනවා අඩුම තරමෙන් වසභ රජුගේ කාලයේ මෙරට එක්සේසත්
රාජ්‍යයක් වූ බව පිළිගැනීමට. ඒ මූලික වශයෙන් වල්ලිපුරම් රන්පත නිසා. අපට එහි කිසිම
ගැටළුවක් නැහැ. වංසකතා සාහිත්‍යයෙන් ද එය තහවුරු වෙනවා. දැන් එයට පෙර ඉතිහාසය ගැන
කිව හැක්කේ කුමක් ද? මෙරට එක්සේසත් රාජ්‍යයක් ප්‍රථම වරට
ඇති කෙළේ කවුද? එසේත් නැත්නම් මෙරට පළමුවෙන් ම එක්සේසත්
කෙළේ කවුද?
මා කලක් සිතා සිටියේ ඒ පණ්ඩුකාභය රජු කියා. එහෙත් මාගම රාජ්‍යයක් ඉන්
පසු ද තිබුණු බවට වංසකතාවලින් මෙන් ම ඓතිහාසික සාධකවලින් ද කියැවෙනවා. පණ්ඩුකාභය
රජු කෙළේ වැඩිම වුවහොත් පිහිටි රටේ සිටි සිංහයන් යක්ඛයන් ආදීන් එකතු කිරීමයි. මා ඉතිහාසය බලන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටි කෝණයකින්.
මා එය ප්‍රසිද්ධියේ කියනවා. මා එය ඊනියා වාස්තවික කඩතුරාවකින් වසන්නේ නැහැ. වසභ
රජු සිංහලේ එක්සේසත් කළ බවක් මහාවංසයේ හෝ වෙනත් තැනක හෝ කියැවෙන්නේ නැහැ. එකල
අනුරාධපුරයේ හැරෙන්නට වෙනත් තැනක රාජ්‍යයක් තිබූ බවක් කියැවෙන්නෙත් නැහැ. වසභ රජුට
සුළු කලකට ඉහත රාජ්‍යය සඳහා ලම්බකර්ණ වංශිකයන් අභියෝග කළ බව නම් මහාවංසයෙන්
කියැවෙනවා. එහෙත් එය එකම රාජ්‍යයක් සඳහා විවිධ වාංශිකයන් අතර වූ සටනක් මිස රාජ්‍ය
දෙකක් අතර වූ සටනක් නො වෙයි.
වසභ රජුට පෙර අවසන් වරට රාජ්‍ය දෙකක් අතර වූ සටනක් ලෙස සඳහන් වන්නේ
එළාර ගැමුණු නායකත්වයෙන් අනුරාධපුර හා මාගම රාජධානි අතර වූ සටනයි. එළාර සොළී රජකු
නො වෙයි. එකල සොළී රාජ්‍යයක් අද තමිල්නාඩුව කියන ප්‍රදේශයේවත් බලවත් ව තිබී නැහැ.
එළාර ගැන තියෙන එක් මතයක් නම්, ඔහු හා සම්බන්ධ ජනප්‍රවාද ද සැලකූ විට,
ඔහු පර්සියාවෙන් (දළ වශයෙන් වත්මන් ඉරානයෙන්)
පැමිණි අයකු බවයි. ඔහු පර්සියාවෙන් වත්මන් ඉන්දියාව කියන ප්‍රදේශයට පැමිණි
අයකුගෙන් පැවත ආවකු විය හැකියි.
ඒ කුමක් වුවත් මේ යුද්ධයෙන් පසු රාජ්‍ය දෙකක් අතර යුද්ධයක් වූ බවට
සාක්‍ෂියක් නැහැ. එයින් කියැවෙන්නේ මහාවංසය එළාර ගැන කියන සොළී කතාව කුමක් වුවත්
ගැමුණු රජු ලංකාව එක්සේසත් කෙළේය කියන කතාව පිළිගත හැකි බවයි. මහාවංසය ලියන කාලයේ
වූ සොළි බලපෑම් එළාරගේ සොළි කතාවට පසුබිම සැකසුවා විය හැකියි.
සිංහල බෞද්ධ විරෝධී ඊනියා ඉතිහාසඥයන් මගේ කතාව පිළිගන්න එකක් නැහැ.
එසේ පිළිගතහොත් එය ඔවුන්ගේ දෙමළ ජාතිවදී ස්ථාවරවලට පහරක් වෙනවා. ඔවුන් මෙය ඉතිහාස
විරෝධී වගේ බොරු කතා කියාවි. ඊනියා ඉතිහාස ක්‍රමවේදයක් ගැන කියාවි. ඉතිහාසයට ඇති
ක්‍රමවේදයක් නැහැ. බටහිර විද්‍යාවේත් ක්‍රමවේදය හිතළු කියන එක පමණයි. මේ
හිතළුවලින් සමහර ඒවා වැඩ කරනවා. එපමණයි. මගේ කතාව වැරදි නම් ඉතිහාසයේ ඊනියා ක්‍රමවේදයක්
ගැන බේගල් නොකියා ගැමුණු රජු හා වසභ රජු කාලය අතර රාජ්‍ය එකකට වඩා තිබුණු බව
පෙන්වන්න. එහෙත් එයට පළමුව එක්සේසත් යන්නෙහි තේරුම සොයා බලන්න. එය ඊනියා ඒකීයවත්
එක්සත්වත් නොවෙයි. එක්සේසත් කියන්නෙ බටහිර සංකල්පයක් නො වෙයි.
සිංහල බෞද්ධ විරෝධී ඊනියා ඉතිහාසඥයන්ට අරමුණක් තියෙනවා. එය දෙමළ
ජාතිවාදී දේශපාලනඥයන්ට හා රනිල්ටත් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි
තැන අහිමි කිරීමයි. මොවුන්ට ඇති ඊනියා වාස්තවිකත්වයක් නැහැ. ඔවුන්ගේ භාෂාවෙන් ම
කිවුවොත් වාස්තවික රෙද්දක් නැහැ.