Main Logo

Monday 10 December 2018

එ ජා පෙරමුණේ පරාජය


එ ජා පෙරමුණේ පරාජය



එ ජා පෙරමුණට දෙමළ ජාතික සංධානයට හා  ඔවුන්ගේ අතවැසි ජ වි පෙරමුණට දැන් ඉතිරි ව ඇත්තේ බටහිරයන්ගේ පිහිට පමණයි. අද ඔවුන් ගඩාෆිට වුණු දේ ගැන කතා කරන්නෙ වෙනත් ක්‍රමයක් නැති නිසයි. අනුර කුමාර පාර්ලිමේන්තුවේ රනිල් මහින්ද හමුවක් ගැන කියන්නේ ලොකු දෙයක් සොයා ගත් ආකාරයටයි. මේ නිකම් පොඩි ළමයින්ගෙ කතා. අනුර හා රනිල් පාර්ලිමේන්තුවේ දි එකිනෙකා දැක්ක ම අහක බලන් යනවා ද? අරාබි වසන්තය ගැන අදහස නම් බටහිරයන්ට 2015 මුල් කාලෙත් තිබුණා. අද එ ජා පෙරමුණ පාරෙ මැරෙන්න සූදානම් වෙන්නෙ ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා.




අජිත් පෙරේරා 113 වැනි වතාවටත් 113 පෙන්නන්න හදනවා. දැන් 123ක් පෙන්නුවා නේ. ජනාධිපති ගණන් ගත්තෙ නැහැ. ගණන් ගන්න දෙයක් තිබුණෙ නැහැ. ඒක කරුණාරත්නගෙ දියවන්නා කෝළමෙ වෙච්ච එක් ජවනිකාවක් පමණයි. 123ක් පෙන්නුවෙ මොහොකට ද? ආණ්ඩුවට විරුද්ධ ව ගෙනා විශ්වාසභංග යෝජනාවකට ද? ඒකෙ වලංගු භාවයක් තියෙනවා ද? කරුණාරත්න කොළ කෑල්ලක කතානායක කියලා අත්සන් කරපු පමණින් ඒකට වැදගත්කමක් ලැබෙන්නෙ නැහැ.



සමහරු හිතනවා වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවෙ සිද්ධ වෙන දේ ගැන, ක්‍රියාදාමය ගැන අධිකරණයක ප්‍රශ්න කරන්න බැහැ කියලා. එහෙත් ප්‍රශ්නය අද පාර්ලිමේන්තුවක් තියෙනවා ද කියන එක. කරුණාරත්නගෙ දියවන්නා කෝළමට පාර්ලිමේන්තුවක් කියන්නෙ කොහොම ද? ඊනියා විශ්වාසභංග යෝජනා සම්මත වුණු බවට කරුණාරත්න කරන ප්‍රකාශ වලංගු වෙන්න නිසි විධියට ආණ්ඩු පක්‍ෂයක් විරුද්ධ පක්‍ෂයක් සමග රැස්වෙන පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන. කරුණාරත්නට මන්ත්‍රීවරුන් ටික දෙනකු අඬගහගෙන රැස්වීම් තියලා ඒ පාර්ලිමේන්තු රැස්වීම් කියන්න බැහැ.



පාර්ලිමේන්තුව රැස්වෙන විධියක් තියෙනවා. ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග වගේ ම සම්ප්‍රදායත් බලපානවා. නව සැසි වාරයක් ආරම්භ වෙලා සති කිහිපයක් ගිහින් . ඒත් තාමත් තේරීම් කමිටුවවත් පිහිටුවලා නැහැ. කරුණාරත්න ආණ්ඩු පක්‍ෂයක් තියෙන බව පිළිගන්නෙ නැහැ. ආණ්ඩු පක්‍ෂයක් නැතිව න්‍යාය පත්‍රයක් හදන්න බැහැ. ආණ්ඩු පක්‍ෂයක් තියෙනව ද නැද්ද කියල තීරණය කරන්නෙ කරුණාරත්න නො වෙයි. ආණ්ඩු පක්‍ෂය කියන්නෙ මොකක් ද? අගමැති හා ඇමති මණ්ඩලය අයිති පක්‍ෂය හරි සංධානය හරි තමයි ආණ්ඩු පක්‍ෂය. අගමැති පත් කරන්නෙ පාර්ලිමේන්තුවෙන්වත් අධිකරණයෙන්වත් නො වෙයි. ඒක කරන්නෙ ජනාධිපති. අධිකරණයට අගමැතිගෙ වැඩ අත්හිටුවන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. අගමැති කියන්නෙ රජයේ නිලධාරියෙකු නො වෙයි. ඒක ව්‍යවස්ථාවෙ ම කියල තියෙනවා.



කරුණාරත්නගෙ කොළ කෑල්ලක ඊනියා විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණයි කියල තිබුණ පමණින් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නෙ නැහැ. ජනාධිපති අමාත්‍ය මණ්ඩලය විසිරිලා කියල පිළිගෙන නැහැ. කරුණාරත්න හිතන්නෙ අමාත්‍ය මණ්ඩලය විසිරිලා කියල. මන්ත්‍රීවරුන් එකසිය විසි තුන්දෙනකු ඊනියා විශ්වාසභංගයක් ගැන කිව්වට ඒකෙන් වැඩක් නැහැ. ඒ විශ්වාසභංගය නිසි ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. මරණාධාර සමිතියක් රැස්වෙලා ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් සම්මත කර ගත්තොත් අමාත්‍ය මණ්ඩලය විසිරෙනව ද?



ජනාධිපති ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස මහින්ද පත් කරල. ඊට පස්සෙ ව්‍යවස්ථාවෙ විධියට අගමැතිගෙන් උපදෙස් ගෙන ඇමති මණ්ඩලයක් පිහිටුවලා ඒ සියල්ල ව්‍යවස්ථාව අනුව කෙරිල තියෙන්නෙ. එ ජා පෙරමුණෙවත් දෙමළ ජාතික සංධානයෙවත් ජ වි පෙරමුණෙවත් කවුරුවත් ඒ පත්වීම්වලට විරුද්ධව අධිකරණයකට ගියෙ නැහැ. ඇයි ගියෙ නැත්තෙ කියල සුමන්තිරන්ගෙන් අහන්න. අනුර දිසානායක වේදිකාවල ඊනියා අශිෂ්ට වැඩ ගැන බෙරිහන් දීල වැඩක් නැහැ. ඊනියා ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණ ගැන අනුගාමිකයන්ට දේශන පැවැත්තුවට හරියන්නෙ නැහැ. පත්වීම් ව්‍යවස්ථාවට එකඟ නැත්නම් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 126 වැනි ව්‍යවස්ථාව යටතෙ නීතිපතිට විරුද්ධව නඩු දාන්න තිබුණා. සජිත් ප්‍රේමදාසවත් නවීන් දිසානායකවත් අධිකරණයට ගියේ නැහැ. ඒ පත්වීම් ව්‍යවස්ථාවට එකඟයි.



ඒ කියන්නෙ ආණ්ඩු පක්‍ෂයක් තියෙනවා කියන එකයි. කරුණාරත්නත් ජනාධිපතිගෙ ගැසට් නිවේදනය පිළිගත්ත. ඒ අනුව පාර්ලිමේන්තුවෙ ආසනත් වෙන් කළා. ඒත් කරුණාරත්න පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට එකඟ ව කැඳෙව්වෙ නැහැ. ප්‍රශ්නයේ මුල එතැනයි. ඉන්පසු ඊනියා විශ්වාසභංග යෝජනා සම්මත කළා. අජිත් පෙරේරා 113 වැනි වතාවටත් 113 පෙන්නන්න හදනවා. ඒ මොකක් කියල ද? ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ද? ඒකෙන් ඇති වැඩක් නැහැ. රනිල්ට පක්‍ෂව ද? ඒකෙනුත් වැඩක් නැහැ. රනිල්ට පක්‍ෂව 213ක් හිටියත් ඔහු අගමැති කරන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්න කියලා ව්‍යවස්ථාවෙ කොහෙවත් නැහැ. රනිල් අගමැති කරන්න කියල ද? එහෙම යෝජනාවකට 213ක් හිිටියත් ජනාධිපති රනිල් අගමැති කළ යුතු ය කියා ව්‍යවස්ථාව යොදා ගනිමින් තර්ක කරන්න බැහැ.



වජිර අබේවර්ධන ව්‍යවස්ථාව දන්නෙ නැති බව පැහැදිලියි. ඔහුට අවශ්‍ය මොන විධියකට හරි ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න. ඒකට තුනෙන් දෙකක් හොයා ගන්න පුළුවන් ද? රනිල්ට කිසි දා ඡන්දයෙන් විධායක ජනාධිපති වෙන්න බැහැ. දෙමළ ජාතිවාදීන්ට සන්ධීය රාජ්‍යය පිහිටුවා ගන්න  විධයක ජනාධිපති බාධාවක්. ඒ නිසා රනිල්ට දෙමළ ජාතිවාදීන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. වජිර ඔවුන්ගේ සේවකයකු පමණයි.   



අනෙක් අතට කරුණාරත්නගෙ දියවන්නා කෝළමෙ වෙන කිසි දේකට වලංගු බවක් නැහැ. කොහොමටත් රනිල් අගමැති කරන්න කියල 113ක් හොයා ගන්න පුළුවන් ද? ජ වි පෙ තම අනුගාමිකයන් රවටන්න රනිල් අගමැති කරන්න පක්‍ෂව ඡන්දෙ දෙන්නෙ නැතිළු. එතකොට දෙමළ ජාතික සංධානය?  සුමන්තිරන් නම් කැමති ඇති රනිල්ට අගමැති කම දීමට ඡන්දෙ දෙන්න. ඒත් දෙමළ ජාතික සංධානෙට ඒකට කැමති වෙන්න පුළුවන් ද? දෙමළ කතා කරන ජනයා එයට එකඟ වේවි ද? මගේ මිතුරු දෙමළ කතාකරන කථිකාචාර්යවරයකු පෙරේදා මා සමග පැවසුවේ දෙමළ කතා කරන ජනයා රනිල් හඳුන්වන්නේ කපටි නරීයා කියා බව. සුමන්තිරන්ට රනිල්ට අගමැති කම දෙන්න කැමති වෙලා මෙතෝදිස්ත පල්ලියෙන් පාලනය වන වෙම්බඩි බාලිකා පාසලටවත් යන්න බැරි වෙයි. ඒ පාසලේ පහුගිය දවස්වල දුෂණ ගැන කතා කෙළෙ සුමන්තිර්න්ගෙ භාර්යාව ගැනත් සඳහන් කරලා. රනිල්ට සුමන්තිරන්ට එකතුවෙලා සන්ධීය රාජ්‍යයකටත් එහා යන ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න අවශ්‍ය වුනත් ඒ එකතුවට විරුද්ධව උතුරෙන් ම බලවේග මතුවේවි. අජිත් පෙරේරාට 113 වරටත් 113ක් හොයාගන්න බැරි වේවි. ඕන නම් දියවන්නාවෙ නාගන්න 113 දෙනකු හොයා ගන්න පුළුවන් වේවි.



එ අස්සෙ චම්පක රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරනවා. ඔහු කියනවා අගමැති ලේකම් ඇතුළු නිලධාරීන් පස් දෙනකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවනවා කියලා. ඒ චන්ඩි කතා ජාතික හෙළ උරුමයෙ තාමත් ඉතුරු වෙලා ඉන්න ටික දෙනාට නම් හොඳයි. ඒත් මේ කොහෙ තියෙන වරප්‍රසාද කමිටුවක් ද? තේරීම් කමිටුවක් නැතිව අනෙක් එක් කමිටුවකවත් පිහිටුවන්න බැහැ. පාරලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවත් තාම පිහිටුවල නැහැ. ආණ්ඩු පක්‍ෂයක් තියෙන බව පිළිගන්නෙ නැතිව මොන තේරීම් කමිටුවක් ද? කරුණාරත්නගෙ දියවන්නා කෝළම එන්න එන්න පරිහාණියට යනවා. අද එ ජා පෙරමුණට ආණ්ඩුව පිහිටුවල සති හයකට පසුත් ආණ්ඩුවට විරුද්ධ ව නඩු කියනව හැරෙන්න වෙන කිසිවක් කර ගන්න බැහැ. ඔවුන් පරාජය පිළිගෙන  ඇති බවයි චම්පකගෙ සජිත්ගෙ නවීන්ගෙ අජිත් පෙරේරාගෙ කතාවලින් පැහැදිලි වෙන්නෙ.



ඔවුන් සමහර විට නඩු තීන්දු ගැන බලාපොරොත්තුවක් තියෙනව වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව ඕනෑම තීන්දුවකට මුහුණ  දෙන්න සූදානම්. එ ජා පෙරමුණ ඒකෙනුත් පරාදයි. ඔවුන්ට බටහිර පිහිට හැරෙන්න වෙනත් පිහිටක් නැහැ.