Main Logo

Thursday 27 December 2018

සුමන්තිරන්ගෙ මඩකලපු කතාව


සුමන්තිරන්ගෙ මඩකලපු කතාව



සුමන්තිරන් මඩකලපු ගිහිල්ල. හිටපු මන්ත්‍රි ජෝසෆ් පරරාජසිංහම් සිහිකරන්න. කතෝලිකයකු වූ පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ දී පල්ලියේ දී  ඝාතනය කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි 2015 පත් වූ බයිලා රනිල්ගේ ආණ්ඩුවත් දන්නෙ නැහැ. කරුණා ඝාතනය පිටුපස සිටින බව තමයි ඇතැමුන්  පතුරවා තියෙන මතය. 2015න් පසුව කිහිප දෙනකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා.  ඒ අතර පිල්ලෙයානුත් හිටියා.  කොටි ත්‍රස්තවාදීන් පරරාජසිංහම් මහාවීර් කෙනකු කළා. ඔහුගේ භාර්යාව පසුව කැනඩාවේ විසා ගත්තත් එහි සරණාගතයකු වීමට ඉල්ලුම් කළ අවස්ථාවේ පරීක්‍ෂණයකින් පසු ත්‍රස්තවාදිනියක ලෙස නම් කෙරි රටින් පිට කිරීමට නියෝග කෙරුණා. එහෙත් ඉන් පසුවත් ඇය කැනඩාවේ රැඳී සිටියා.  එහෙම වුණෙ කොහොමද කියලා සුමන්තිරන් කියනවා ද?




සුමන්තිරන් සැමරුවේ ඊනියා මහාවීර් කෙනකු. ඔහු ඒ සැමරුමේ දී කියා තිබෙනවා දෙමළ කතා කරන ජනයා 2010 දී සරත් ෆොන්සේකාටත් 2015 දී මෛත්‍රිපාල සිිරිසේනටත් ඡන්දය දුන්නේ ඔවුන්ට ඇති කැමැත්තකින් නොව මහින්ද පරාජය කිරීමට බව. ඔවුන්ට අවශ්‍ය මහින්ද ඉවත් කිරීම බවත් මෛත්‍රිපාල අගමැති ධුරයට මහින්ද පත් කිරීමෙන් දෙමළ කතාකරන ජනයා අකමැති, ඉවත් කළ යුතු යැයි සලකන අයකු නැවත ගෙන ඒමෙන් වරදක් කර ඇති බවත්.



සිංහලයන් මේ කතාවෙන් පස්සෙවත් රටේ සිදුවන්නේ කුමක් දැයි දැන ගනීවි ද? දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ එක් පැත්තකින් මහින්ද පමණක් නොව සියලු රාජපක්‍ෂලා දේශපාලනයෙන් ඉවත් කරන්න. අනෙක් පැත්තෙන් මෛත්‍රිපාලගෙ තටු කපන්න. අර ප්‍රෝඩාතන්තවාදී ව්‍යවස්ථා සභාව පිහිටුවා රනිල් හා සුමන්තිරන් සාමාජිකයන් දහදෙනාගෙන් අට දෙනකු ම තමන්ට පක්‍ෂපාත අය කරගෙන ඊනියා ස්වාධීන ව්‍යවස්ථා සභාවක් පිහිටුවා ගත් බවට පාරම් බෑවා. ඒ ව්‍යවස්ථා සභාව තමයි විනිසුරුවන් හා විවිධ කොමිෂන් සභාපතිවරුන් නිර්දේෂ කරන්නෙත්. දැන් මොකක් ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. තමන්ගේ හිතවතුන් ව්‍යවස්ථා සභාවට පත් කරලා ඔවුන්ට බලතල දීල කියනවා දැන් පත්කිරීම් ස්වාධීනවයි කෙරෙන්නෙ කියල. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි ප්‍රෝඩාතන්ත්‍රවාදය.



සුමන්තිරන්ලා හිතුවෙ මහින්ද නැවත අගමැති නොකරන්න. ඒත් ව්‍යවස්ථානුකූල ව ඔක්තේම්බර් 26 වැනි දා මහින්ද අගමැති වුණා. එයට විරුද්ධව මෙතෝදිස්ත සුමන්තිරන්වත් උසාවි ගියේ නැහැ. ඒ ඇයි? ඒ පත් වීම ව්‍යවස්ථානුකූල නිසා. පසුව රනිල් සුමන්තිරන් අනුර දාසනායක එකතු වී මහින්දට විරුද්ධව, ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට විරුද්ධව ඊනියා විශ්වාසභංග යෝජනාවක් කරුණාරත්නගෙ දියවන්නා කෝළමෙහි සම්මත කර ගත්තා. අද සුමන්තිරන් දඟලන්නෙ මහින්ද විපක්‍ෂ නායකකමෙනුත් පහ කරන්න. ඔහු ඒ සඳහා ව්‍යාජ නීිති තර්ක ගේනවා. ඔහු උසාවි යන්න සෑරසෙනවා. ඔහුට උසාවි යන්න ඉඩදෙන්න කරුණාරත්න මහින්ද අමරවීරගෙ ලිපිය ගැන තීරණයක් ගැනීම කල් දාලා. අප ඒ සියල්ල කලින් සාකච්ඡා කරල තියෙනවා.



මහින්ද විපක්‍ෂ නායක වුණාම ව්‍යවස්ථා සභාවේ සංයුතියත් වෙනස් කරන්න වෙනවා. එවිට අර ඊනියා ස්වාධීන ව්‍යවස්ථා සභාවෙ හා විවිධ කොමිෂන් සභාවල තීරණ වෙනස් වේවි. විනිසුරුවන් නිර්දේශ කිරීමත් වෙනස් වේවි. මා අහගෙන ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී කිරිඇල්ල කියනවා එක්සත් ජනපදවලත් ජනාධිපති නිර්දේෂ කරන විනිසුරුවන් එහි සෙනෙට් සභාවෙන් අනුමත විය යුතු ය කියා. කිරිඇල්ලට ඕව එච්චර තේරෙන්නෙ නැහැ. ඔහු සාමාන්‍ය පෙළ සමත් වුණෙ පාසලේ දි ද කියල දැනගන්න කැමතියි. එක්සත් ජනපදවල  සෙනෙට් සභාව කියන්නෙ මහජනයා පත්කර ගන්න මන්ත්‍රී මණ්ඩලයක්. මෙරට ඊනියා ව්‍යවස්ථා සභාව කියන්නෙ අගමැති සහ විපක්‍ෂ නායක එකතුවෙලා හදා ගන්නා සභාවක්. මෙරට ව්‍යවස්ථා සභාවෙ රධිකලාත් ආරියරත්නලාත් ඉන්නවා. ඒ දෙකේ වෙනස කිරිඇල්ලට තේරෙන්නෙ නැත්තන් අහන්න වෙන්නෙ සාමාන්‍ය පෙළ සමත් වුණෙ කීවෙනි වතාවෙ ද කියලා.



සුමන්තිරන්ගෙ කතාව අනුව දෙමළ කතා කරන ජනයා මෛත්‍රිපාලට ඡන්දෙ දීල නැහැ. ඔවුන් ඡන්දෙ දීල තියෙන්නෙ මහින්දට විරුද්ධව. එහෙනම් මෛත්‍රිපාල දෙමළ කතාකරන ජනයා කියන විධියට වැඩ කරන්න ඕන නැහැ. 2015 ජනාධිපතිවරණෙ ගැන නොයෙකුත් නිරීක්‍ෂණ තිබුණා. උතුරු පළාතෙ ඡන්ද වැඩිය වැටිල තියෙන්නෙ සවස් වරුවෙ. ඔවුන් සවස් වරුවෙ ඡන්දෙ දෙන්න ඇරියෙ කවුද? මහින්ද දිනන වාතාවරණයක් තිබුණ නිසා එය වැළැක්වීමට දෙමළ කතාකරන ජනයා ඡන්ද පොළට ඇරිය කියල අපට මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද? සුමන්තිරන්ලට අවශ්‍ය වෙලා තිබුණෙ කොහොම හරි මහින්ද ඉවත් කිරීම බව මඩකලපු කතාවෙන් පැහැදිලි වෙනවා. උතුරෙ ජනයාට දැන් තමන්ට අවශ්‍ය විධියට ඡන්දෙ දෙන්න නැත්නම් නොදෙන්න නිදහස තියෙනවා ද?



මෛත්‍රිපාලට ඡන්ද හැටදෙලක්‍ෂයක් ලැබුණා. එයින් යම් ඡන්ද ප්‍රමාණයක් ඔහුට කැමති අයගෙ. ඒ ඡන්ද සංඛ්‍යාව හාරලක්‍ෂයට වැඩි බව පහුගිය පෙබරවාරි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමේ දී පැහැදිලි වෙනවා. ඒ කියන්නෙ මෛත්‍රිපාලට ලැබුණු ඡන්දවලින් යම් ප්‍රමාණයක් මහින්දට විරුද්ධ ලැබුණු ඡන්ද විය හැකි නමුත් එය පනස්අට ලක්‍ෂයට අඩුයි. දැන් සුමන්තිරන්ගෙ නව හෙළිදරව්ව සමග මහින්දට පක්‍ෂව ලැබුණු පනස්අට ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණය විරුද්ධව ලැබුණු ඡන්දවලට වඩා වැඩියි. මෛත්‍රිපාලට පක්‍ෂව ලැබුණු ඡන්ද ශ්‍රී ල නි ප ඡන්ද. ඒවා මහින්දට විරුද්ධව ලැබුණු ඡන්ද කියා කියන්න බැහැ. ඒ එක පවුලෙ ඡන්ද දෙදෙනකු අතර බෙදී යෑමක් පමණයි. අද ඒ පවුල නැවත එකතු වෙලා.



මේ සියල්ලෙන් කියන්නෙ මහින්ද අගමැති ධුරයට පත් කිරීමෙන් මෛත්‍රිපාල කරල තියෙන්නෙ ජනමතයට කන්දීමක්. ඒ ජනමතය පෙබරවාරි ඡන්දෙනුත් පැහැදිලියි. මහින්දට හා මෛත්‍රිපාලට 56%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඒ මතය දාසනායකගේ දාසකත්වය ලබන මේ බහබුත රනිල් සුමන්තිරන් ප්‍රෝඩාතන්තවාදය  නිසා පාර්ලිමේන්තුවේ නිරූපණය වෙන්නෙ නැහැ. අද දවසේ මහජන මතය මොකක් ද කියල දැනගන්න මැතිවරණයක් දෙන එක වළක්වන්නෙ අර ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවයට මුවා වෙලා. දාසනායක පාර්ලිමේන්තුවෙ යෝජනාවක් ගේනව ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.  



බයිලා රනිල් සුමන්තිරන් අනුර දාසනායක ප්‍රෝඩාතන්ත්‍රවාදයට අවශ්‍ය මොන උප්පරවැට්ටියකින් හරි මහින්ද දේශපාලනයෙන් ඉවත් කරන්න. ඔවුන් පිටුපස බටහිරයන් ද ඉන්දියාව ද ඉන්නවා. ඒ දෙමළ ජාතිවාදය වෙනුවෙන්. ඉන්දියාවට ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වුණත් බටහිරයන්ට අවශ්‍ය වුණේ නැහැ. එහෙත් දෙගොල්ලන්ට ම දෙමළ ජාතිවාදය අවශ්‍යයයි. අද මහින්ද ඉවත් කරන්න මෙච්චර වලිකන්නෙ දෙමළ ජාතිවාදය වෙනුවෙන්. මෙහි ආරම්භය 1833 දක්වා දිව යනවා. අවාසනාවකට සිංහලයන් මේ කතාව තේරුම් ගන්නෙ නැහැ.