Main Logo

Tuesday 18 December 2018

රනිල්ගේ බංකොළොත් වෑයම


රනිල්ගේ බංකොළොත් වෑයම



රනිල් ඊයේ ඊනියා යුක්තියේ ජයග්‍රහණ රැළියේ දී මෛත්‍රිපාලටත් මහින්දටත් පිළිතුරු දෙන්න හැදුවා. එහෙත් ඒ අසාර්ථක වුණා. රනිල් ළඟින් වාඩි කරව ගෙන මෛත්‍රිපාල කළ චෝදනා එකකටවත් රනිල්ට උත්තර දෙන්න බැරි වුණා. ඒකෙනුත් තේරෙන්නෙ රනිල්ගෙ මහත්මා ගුණය කියා ඔහුගෙ හෙංචයියන් හා හෙංචක්කලා කියාවි. රනිල් බැඳුම්කරය ගැන රණවිරු දඩයම ගැන භික්‍ෂූන් වහන්සේ සිරගත කිරීම ගැන සහ මෛත්‍රිපාල මතක් කළ තවත් බොහෝ දේ ගැන නිසි පිළිතුරක් දුන්නෙ නැහැ. ඔහු ටිකක්වත් කතා කෙළේ අධිකරණයේ සවාධීනත්වය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පරමාධිපත්‍යය ගැනයි. ඔහුගේ කතාව සුපුරුදු පරිදි හිනා නොයන විහිළුවලින් සමන්විත වුණා. ඔහුගේ කතා ලියන්නේ කවුද කියල දැනගන්න එක වටිනවා.




ඔහු දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව හා විවිධ කොමිෂන් සභා පිහිටුවීම ගැන කිව්වා. ඒ විවිධ කොමිෂන් සභාවල උල්පත ව්‍යවස්ථා සභාව. ඒකෙ සාමාජිකයන් කවුද? අගමැති, කතානායක, විපක්‍ෂ නායක, ජනාධිපති පත්කරන මන්ත්‍රීවරයෙක්, අගමැති හා විපක්‍ෂ නායක විසින් නාම යෝජනා කෙරී ජනාධිපති විසින් පත් කරනු ලැබිය යුතු පස්දෙනකු (ඉන් දෙදෙනකු මන්ත්‍රීවරුන් විය යුතුයි), අගමැති හා විපක්‍ෂ නායක අයත් පක්‍ෂවලින් හැර අනෙක් පක්‍ෂ විසින් නාමයෝජනා කෙරී ජනාධිපති පත්කරන මන්ත්‍රීවරයකු. එවිට සභාවේ සාමාජිකයන් දහ දෙනාගෙන් අටදෙනකු ම අගමැති/ විපක්‍ෂ නායක සහ ඔවුන් විසින් නම් කෙරෙන්නන්. මෛත්‍රිපාල එසේ නම් කෙරුණු අය පත් නොකර සිටියේ නැහැ.



රනිල් ඊනියා ස්වාධීන කොමිෂන් සභා ගැන කියන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ  ? ඒ ඊනියා ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරෙන්නේ මේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත. ව්‍යවස්ථා සභාවේ දහදෙනාගෙන් අට දෙනකු ම අගමැති/විපක්‍ෂ නායක හා ඔවුන් විසින් නම් කෙරුණවුන්. මේක තමයි රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ සභාවෙන් අනෙක් කොමිෂන් සභාවලට නිර්දේශ කරන අයගේ අපක්‍ෂපාතීත්වය ගැන කිව හැක්කේ කුමක් ද? පෙරේදා ජනාධිපති පැහැදිලිව කියා සිටියා ව්‍යවස්ථා සභාව තමා විනිසුරුවන් ලෙස නිර්දේශ කළ අය යම් පිිරිසකගේ නම් ආපසු හරවා එවූ බව. ඒ කියන්නේ බොහෝ විට විනිසුරුවන් ඊනියා අපක්‍ෂපාත ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කෙරුණු බවයි.



රනිල් කෙළේ විධායක ජනාධිපතිට තිබූ බලතල මෛත්‍රිපාලගෙන් තමාට ලබා ගැනීමයි. ඔහු එය කෙළේ ව්‍යවස්ථා සභාව හා ඊනියා ස්වාධීන කොමිෂන් සභා මගින්. එසේ කළ රනිල් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන තෙපර බානවා. රනිල් ප්‍රෝඩාතන්ත්‍රවාදියෙක්. ඔහු දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයට හොරෙන් සම්මත කර ගත්තා. එය කිසිසේත් ම ප්‍රජාතන්ත්‍රවාදී ලියවිල්ලක් නො වෙයි. එය රාජපක්‍ෂලාට හා මෛත්‍රිපාලට යම් යම් දේ අහිමිකිරීමටත් රනිල්ට යම් යම් දේ ලබාගැනීමටත් ඉදිරිපත් කළ ලියවිල්ලක්. අවාසනාවකට රාජපක්‍ෂලා මෛත්‍රිපාලට යම් යම් දේ අහිමි කිරීමටත් මෛත්‍රිපාල රාජපක්‍ෂලාට යම් යම් දේ අහිමි කිරීමටත් ඒ ලියවිල්ලට පක්‍ෂව ඡන්දය දී රනිල්ගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. එයට විරුද්ධ වූයේ සරත් වීරසේකර පමණයි. සිංහලයන් දිගාමඩුල්ලෙන් ඔහු පරාජය කළා. එහි දී ඡන්දය දීමෙන් වැළකී සිටි ජානක බණ්ඩාර අද දේශපාලනයේ දකින්නට නැහැ. ඔහු කවුද කියාවත් බොහෝ දෙනා දන්නේ නැහැ. අනිමිස ලෝචන පූජාව ගැන නිතර දෙවේලේ කියවන ඊනියා සිංහල බෞද්ධයන්ගේ වැඩ එහෙමයි. අද ඉන්නේ ඕල්කට් බෞද්ධයන් හා අටපිරිකර බෞද්ධයන්. රාජපක්‍ෂලා හා මෛත්‍රිපාල අතර වෛරය වැපුරූ අයත් මේ තත්වයට වග කියන්න ඕන. අදත් වෙල්ගම ඉටු කරන්නේ ඒ කාර්යභාරයයි. ඇතැමුන්ට අවශ්‍ය රනිල් ඉවත් කිරීමට නොව මෛත්‍රිපාල ඉවත් කිරීමටයි. අද මෛත්‍රිපාල අයින් වුණොත් රනිල් ජනාධිපති වෙනවා. වෙල්ගමට අවශ්‍ය එය ද?



රනිල් ප්‍රෝඩාතන්ත්‍රවාදී ලියවිල්ලක් ව්‍යවස්ථාවට ඇතුල් කර ඒ අනුව වැඩ කරන්න කියා ඉල්ලනවා. ඒ ප්‍රෝඩාකාරී ලියවිල්ල මෛත්‍රිපාලටත් රාජපක්‍ෂලාටත් පින්සිදු වන්න අද ව්‍යවස්ථාවට ඇතුල් වෙලා. ඒ අනුව වැඩ කරන එක ප්‍රජාතන්ත්‍රවාදය කියා රනිල් කියනවා. ජේ ආර් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෙළෙත් එයමයි. ඊයේ රනිල් සඳහන් කළා එංගලන්ත (බිරිතානි) පාර්ලිමේන්තුවේ 2010 සම්මත කර ගත් පනතක් ගැන. ඔහු කියනවා දහනවයේ ඇත්තේ ඒ එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පනතේ අඩංගු කරුණු කියා.



රනිල් ඔය කියන්නේ එංගලන්තයේ 2010 නොව 2011 පනතක් ගැන.  බිරිතානි පාර්ලිමේන්තුව ඇති කෙරුණේ 1707 අවුරුද්දේ දහතුන්වැනි සියවසේ සිට පැවති එංගලන්ත හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු එක් කරමින්. ඉන් පසු එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව බවටත් අද එක්සත් රාජධානියේ උතුරු අයර්ලන්තයේ පාර්ලිමේන්තුව බවටත් පත් වී තියෙනවා. 1707 ඇති කළ පාර්ලිමේන්තුවේ නිල කාලය 1717 සම්මත කර ගත් සප්තවාර්ෂික පනතෙන් අවුරුදු හතක් වුණා. ඉන්පසු අවුරුදු පහට සීමා වුණා. එහෙත් අගමැතිට පුළුවන්කම තිබුණා රජු/රැජින ලවා තමන්ට වාසි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. 2011 පනතෙන් කෙරුණේ පාර්ලිමේන්තුව අවුරුදු පහක් පැවතිය යුතු බවටත් එය ඊට කලින් නම් විශ්වාසභංගයකින් හෝ තුනෙන් දෙකේ බහුතර කැමැත්තකින් හෝ පමණක් විසුරුවා හැරෙන බවටත් නීතිගත කෙරීමයි. සුද්දන් කරන අයුරින් හැම එකක් ම කරන රනිල්ට මෛත්‍රිපාලට ගහන්න එය හොඳ උදාහරණයක් වෙන්න ඇති.



මෙහි දී රනිල්ටත් සුමන්තිරන්ටත් වචනයක් කියන්න ඕන. අද ඔවුන් උතුරට හා නැගෙනහිරට වෙන ම පාලනයක් (අප රැවටීමට අනෙක් අයටත් ඊනියා පළාත් සභා)  ඉල්ලුවත් ඒ සඳහා ඔවුන් ගරු කරන බිරිතානියෙන්වත් උදාහරණයක් ගන්න බැරි බව. බිරිතානියේ දහතුන් වැනි සියවසේ සිට ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවක් තිබුණා. එය එංගලන්ත පාර්ලිමේන්තුව සමග එක් වුණේ 1707 දී. ස්කොට්ලන්තය අද වෙන ම පාලනයක් ඉල්ලන්නේ මේ අතීතය සිහිපත් කරමින්. ඔවුන්ට අවශ්‍ය 1707ට පෙර තිබූ තත්වයට යන්න. මෙරට ඉතිහාසයේ උතුරු හා නැගෙනහිර පළාත් එක් ව වෙන ම රාජ්‍යයක් ව තිබුණේ කවදා ද? මේ පළාත් දෙක වෙන වෙන ම ඇති කෙරුණේත් 1889 දී! ඊනියා සාම්ප්‍රදායික වාසභූමි ඇත්තේ දෙමළ ජාතිවාදීන්ගේ මනස්වල පමණයි. (ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවන්න.)



ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්වත් විශ්වාසභංගයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ඉන් කෙරෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරෙන එක පමණයි. ඉන්පසු ජනාධිපතිට වෙනත් අමාත්‍ය මණ්ඩලයක් හෝ පැවති අමාත්‍ය මණ්ඩලය ම හෝ පත් කරන්න පුළුවන්. අප කලින් ලිපිවල සඳහන් කර ඇති පරිදි අවුරුදු හතරහමාරේ අවශ්‍යතාව පැනවූයේ මෛත්‍රිපාලට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය නැති කිරීමට ම පමණයි. විශ්වාසභංගයකිනුත් වෙනත් ආකාරයකිනුත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බැරි බවට රනිල් ප්‍රෝඩාකාරීව දහනවයෙන් කටයුතු කළේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට, එංගලන්ත ප්‍රජාතන්ත්‍රවාදයටවත්, එකඟ ව නොවෙයි. එහෙත් අද ඔහු ඒ ප්‍රෝඩාකාරි ලියවිල්ලට එකඟ වීම ප්‍රජාතන්ත්‍රවාදය කියා කියනවා.



එසේ වුවත් අප ඊයේ සඳහන් කළ ආකාරයට රනිල්ට මගහැරුණු තැන් තියෙනවා. විශේෂ අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 33(2) (ඇ), 62(2), (3) හා 4(අ) යොදා ගන්න තිබුණා. එහෙත් ජනාධිපති නීතිඥයන් අවශ්‍ය උපදෙස් ජනාධිපතිට දී නැහැ. මෛත්‍රිපාලවත් මහින්දවත් අප කියන කිසිවකට සවන් දෙන්නේ නැහැ. ඔවුන් සවන් දෙන්නේ ඊනියා නීතිඥයන්ට හා ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට පමණයි.  රනිල්ට උපදෙස් දෙන්න බටහිරයන් ඉන්න බව අමතක කරන්න එපා. දහනවය පමණක් නොව විස්ස හා නව ව්‍යවස්ථාවත් ඔවුන්ගේ උපදෙස් මත සකස් කරන ලියවලි. අනුර නිකම් ම නිකම් දාසයකු පමණයි. අනුර පුළුවන් නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. රටට අවශ්‍ය ව තිබුණේ රනිල් ඉවත් කිරීමයි. අනුර බාධා කෙළේ රනිල් ඉවත් කර මහින්ද පත් කිරීමටයි. අද ඔහු රනිල් විරෝධී බයිලා කියන්නේ හුදෙක් තම අනුගාමිකයන් රවටා රඳවා ගැනීමට.