Main Logo

Saturday 15 December 2018

ජනාධිපතිට ඇති විකල්ප


ජනාධිපතිට ඇති විකල්ප



දින පනහකට පසුව මහින්ද අද අගමැති ධුරයෙන් ඉවත් වන බව කියනවා. එහෙත් එය එසේ සිදු  විය යුතුව තිබුණේ නැහැ. ඊයේ සිට මට විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබෙනවා තව මාස කිහිපයකින් බලයට එන්න හිටි මහින්ද මහත්තය ව අමාරුවෙ දැමීම පිළිබඳ කුණුහරුපයෙන් බැනලා. මගේ කුලය ගැනත් සඳහන් කරනවා. රනිල්ලා හා බටහිරයන් මට දුන් ඩොලර් ගැනත් ප්‍රශ්න කරනවා. ඒ කුණුහරුපවලින් මා සැලෙන්නේ නැහැ. ලංකාවේ උභයකුල පාරිශුද්ධ අය කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ.




මහින්ද අගමැති පදවියට පත් කෙරුණේ ව්‍යවස්ථාවට එකඟ ව. එය කිසි කෙනකු අභියෝගයට ලක් කෙළේ නැහැ දඹර අමිල හාමුදුරුවන් උසාවි වැඩම කරන තුරු. උන්වහන්සේ නම් මා මෙන්නොව නිස්සරණාධ්‍යාෂයෙන් කටයුතු කරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. එහෙත් උන්වහන්සේගේ නඩුව අහන්න වෙන එකක් නැහැ. මහින්ද අගමැති කමෙන් අස් වන නිසා. මටත් අවශ්‍ය ව තිබුණා ඒ නඩුව සම්බන්ධයෙන් අධිකරණය දෙන තීන්දුව දැන ගන්න.



දැනට අධිකරණය තීන්දු හෝ නියෝග හෝ තුනක් දී තිබෙනවා. එකක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ තීන්දුව. අධිකරණය ඒ සම්බන්ධයෙන් ජනාධිපති වරද කරුවකු කර නැහැ. අධිකරණයට එහෙම කරන්නත් බැහැ. සමහරු කියන්න ලැහැස්ති වෙනවා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට විරුද්ධව නඩු දාන්න පුළුවන් කියා. එහෙම බැහැ. දහනවවැනි සංශෝධනයෙ එහෙම පුළුවන් ය කියා තිබෙන තැනක් පෙන්වන්න කියා මා අභියෝග කරනවා.  ජනාධිපතිට ජේ ආර්ගෙ ව්‍යවස්ථාවෙන් තිබූ මුක්තිය තවමත් තියෙනවා. නඩුව තිබුණේ නීතිපතිට විරුද්ධ ව . අධිකරණය කියන්නේ පාර්ලිමේන්තුව 33(2) (ඇ) හා 62(2) අනුව්‍යවස්ථා යටතේ විසුරුවා හැරීම නිසා ඇතැමුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව. එපමණයි.



පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මගේ අදහසක් උඩ නො වෙයි. මා මුල සිට ම කියා සිටියේ  මහින්ද අගමැති කර භාරකාරසම ආණ්ඩුවක් පත්කර ගත යුතු ය කියා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන සාකච්ඡා වූ දිනවල මා නොවැම්බර් මස පස්වැනිදා ලියූ ලිපිය ආරම්භ කෙළේ මෙලෙසින්. “”මෛත්‍රිපාල - මහින්ද එකතුව ගැන අද බොහෝ දෙනා කතා කරනවා. එහෙත් පසුගිය විසිහයවැනි දාට පෙර එවැන්නක්  ගැන කතා කෙළේ සිරිජාතිකවාදීන් කිහිප දෙනකු පමණයි. අද නම් බොහෝ දෙනකු සිරිජාතිකවාදීන්. එහෙත් ඇතැම් සුපිරි මහින්දවාදීන් බලා ඉන්නේ මේ ආණ්ඩුව කඩා වැටෙන තෙක්.  ආණ්ඩුව එහෙම කඩා වැටෙන්නේ නැහැ. අද ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව තියෙනවා. එය 113ක් විය යුතු ම නැහැ. අනෙක් අතට පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ ප්‍රශ්න තිබෙනවා. එයට හේතුව රටට ම ශාපයක් වූ දහනවවැනි සංශෝධනය.”



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් සියලු දෙනා අද පවතින තත්වයට වග කියන්න ඕන. අප කියන දෙයක් දේශපලන පක්‍ෂවල නායකයන් අහන්නේ නැහැ. ඔවුන් අඩු ගණනේ තම පක්‍ෂවල ලේකම්වරුන්ටවත් සවන් දෙන්නේ නැහැ. රටට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන පක්‍ෂ නායකයන් තම පක්‍ෂවලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැහැ. නායකයන්ගේ මේ අධිපතිවාදී ක්‍රියා කලාපය රටට බරක් වෙලා. පක්‍ෂ ලේකම්වරුන්ට ඇහුම්කන් නොදෙන නායකයන් අපට සවන් දේවි ද?



අද රටේ සිංහල බෞද්ධයන් නැහැ. අද ඉන්නේ ඕල්කට් බෞද්ධයන් හා අටපිරිකර බෞද්ධයන්. අටපිරිකර බෞද්ධයන් කියන්නේ සංකේත බෞද්ධයන්ට. අද දේශපාලනඥයන් අටපිරිකර රැගෙන මහානායක හාමුදුරුවරුන බැහැ දකින්න යනවා. ඒ අනෙක් අටපිරිකර බෞද්ධයන් රවටන්න. දේශපාලනඥයන් කී දෙනකු භික්‍ෂූන් වහන්සේගේ උපදෙස්වලට සවන් දෙනවා ද? සිංහල බෞද්ධයන් නැවත බිහිකර ගැනීම අද අපට ඇති අභියෝගයක්.



කොහෙමටත් 113 දෙනකු අවශ්‍ය කියන එක බොරු කතාවක්. 113 අවශ්‍ය යැයි කී අය 113 හොයන්න මහන්සි ගත්තෙ නැහැ. නූතන මොල්ලිගොඩලා ඒ සියල්ල කඩා කප්පල් කළා. මොල්ලිගොඩලා අදත් ජාතික කඳවුර දුර්වල කිරීමට හදනවා. ඔවුන් මෛත්‍රිපාල- මහින්ද සුසංයෝගය කඩා බිඳ දාන්න වෙහෙසෙනවා. අද රනිල්ටත් 113ක් නැහැ. ඔහුට වැඩිම වුවහොත් 103ක් ඇති. ඔහුට පිහිටුවන්න වෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. දෙමළ ජාතික සංධානය රනිල්ට එකතු වුණොත් පමණක් 117ක් ලැබේවි. එසේ එකතුවන බවක් දෙමළ ජාතික සංධානය කියා නැහැ. එහෙත් එ ජා ප සහ දෙ ජා සංධානය  අතර ගිවිසුමක්, අවබෝධතාවක් අඩුම තරමෙන් 2015 සිට ක්‍රියාත්මක වෙනවා. ඒ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. දෙ ජා සංධානය එ ජා පෙරමුණට එකතු නොවී රනිල්ට සහාය දෙනවා. ජ වි පෙරමුණත් එසේමයි. ජ වි පෙ, දෙ ජා සංධානයට වඩා තම අනුගාමිකයන් රඳවා ගැනීමට බොරු රනිල් විරෝධයක් මවා පානවා. ඔවුන් අතර වෙනස එපමණයි.



ඊයේ දුන් නඩු තීන්දුව අනුව අර මන්ත්‍රීන් 123 දෙනාගේ නඩුව අභියාචනාධිකරණයේ අහන්න බැහැ. එය ජනවාරියේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ අසාවි. එතෙක් අභියාවනාධිකරණය දුන්  රැඳවීම් නියෝගය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මහින්ද අගමැති වුණත් තම ධුරයෙ වැඩ කරන්න බැහැ. එයින් රට අස්ථාවර වීමට ඉඩ තියෙනවා. අධිකරණය මේ තත්වය සැලකිල්ලට ගෙන නැති බවක් පේන්න තිබුණත් මහින්දට ඒ නොසලකා ඉන්න බැහැ. නීතිඥයන් ද 33(2) (ඇ), 62(2) හා 70(1)  ගැන මිස රටේ අස්ථාවරත්වය ගැන අවධානය යොමු කෙළේ නැහැ. රටේ අස්ථාවරත්වය ගැන සිතා නිසා මහින්ද තම ධුරයෙන් අස් වී වෙනත් අයකු අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිට ඉඩ දී ඇතැයි මට සිතෙන්නේ. ඒ කුමක් වුවත් මා නම් කැමති මහින්ද තම අදහස වෙනස් කර ගන්නේ නම් හා මුදල් වෙන් කිරීමට ක්‍රමයක් සොයා ගන්නවා නම්. 



මහින්ද අගමැති ධුරයෙන් අස් වීමෙන් පසු ජනාධිපතිට විකල්ප කිහිපයක් තියෙනවා. අද කිසිවකුට 103කට වඩා මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිට තම මතය අනුව උපරිම විශ්වාසය ඇති අයකු අගමැති කරන්න පුළුවන්. අවශ්‍ය නම් ජනමත විචාරණයක් පවත්වන්න පියවර ගන්නත් පුළුවන්. ජනාධිපති යම් අයකු අගමැති ලෙස පත් කරන්නේ නම් එක් කොන්දේසියක් මත ලිඛිත පොරෙන්දුවක් ගෙන ඒ කළ යුතු යැයි මා විශ්වාස කරනවා. ඒ පත්කරන අගමැති වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා යුතුයි. මසක් ඇතුළත එලෙස යෝජනාවක් ගෙන එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර නොගත්තොත් වෙනත් අගමැති කෙනකු පත්කර ගන්නා බව ජනාධිපති ප්‍රකාශ කළ යුතුයි. පත් කරන ආණ්ඩුවට (අගමැතිට හා කැබිනට් ඇමති මණ්ඩලයට) භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කළ හැකියි. අවශ්‍ය මුදල් වෙන් කිරීම හැර වෙනත් කිසිම පනතක් පත් කෙරෙන ආණ්ඩුව සම්මත නොකළ යුතුයි.



අද සෑම පක්‍ෂයක් ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ නැති බව කියනවා. ඇතැම් පක්‍ෂ විරුද්ධ වී ඇත්තේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති ක්‍රමයටයි. එබැවින් තුනෙන් දෙකේ යෝජනා සම්මුතියකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඒ පක්‍ෂවලට ද විරුද්ධ වන්න බැහැ. ඔවුන් සියල්ලන් ම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂයි.