Main Logo

Monday 31 December 2018

පෙරමුණ ගැන තවදුරටත්


පෙරමුණ ගැන තවදුරටත්



මා හිතනවා ඊයේ පළ කළ අදහස් තවදුරටත් විස්තර කළ යුතු ය කියා. ඇතැමුන් ලිපියක වචනයක් හරි වාක්‍යයක් හරි අල්ල ගෙන ඒ ගැන කතා කරන්නේ වෙනත් අරමුණු සහිත ව. මා දැන් සාමූහික වැඩවල නිරත වන්නේ නැහැ. ජාතිකවාදීන් අතරත් ඒ ඒ අයට විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. ජාතිකවාදී කඳවුරෙන් මා පිටමං කිරීමට වෙහෙස දරන අයත් ඉන්නවා. මා ජාතිකවාදී මතවාදයක හිටියත් ඉන්නේ පිටස්තරයකු ලෙස. මා පිටස්තරයකු කෙළේ ජාතිකවාදීන් ම මිස වෙනත් අය නො වෙයි. මා ජනමාධ්‍යයෙන් ඉවත් කිරීමට මුල් වූයේත් ජාතිකවාදීන් හා ඊනියා ජනතාවාදීන්. 




පසුගිය වකවානුවේ මෛත්‍රිපාලට මහින්ද ශක්තිය ලබා දිය යුතු යැයි මා කී විට ඒ ශක්තිය එනර්ජි (energy) දැයි ඇසූ අය ජාතිකවාදීන් අතර හිටියා. මා සිරිජාතිකවාදියකු යැයි කී බොහෝ ජාතිකවාදීන් සිටියා. එදා බොහෝ දෙනා කීවේ පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණයේ දී මෛත්‍රිපාල ශක්තිමත් කළ යුතු බව මා කියනවා කියා. මා ඒ මැතිවරණය ගැනවත් වෙනත් මැතිවරණයක් ගැනවත් කියා සිටියේ නැහැ. මට අවශ්‍ය වූයේ රනිල් අගමැති ධුරය දැරීම නතර කර මහින්ද ඒ ධුරයට පත් කිරීමයි. ව්‍යවස්ථානුකූල ව එය කරන ආකාරය ද මා කල් තියා ම කියා තිබුණා. මා කී ආකාරයට ම ඒ නොකෙරුණත් එසේ නොකිරීම නිසා ක්‍රියාදාමය යම් ප්‍රමාණයකට දුර්වල වුවත් එය සාර්ථක වුණා. දඹර අමිල හිමියන් හැරෙන්නට වෙනත් කිසිවකු මහින්ද අගමැති කිරීම අභියෝගයට ලක් කර උසාවියේ පිහිට පැතුවේ නැහැ. පසුව මහින්දට අගමැතිකම නැති වුණේ වෙනත් කරුණක් මත, එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මත, පදනම් ව.



කෙසේ වෙතත් අද මහින්ද හා මෛත්‍රිපාල එකතු වී. ඒ නිසා දෙදෙනා ම ශක්තිමත් වෙලා. වෙසමුණි දෙවියන්, වේළුසුමන යෝධයා හා වෙනත් අය මා මහින්ද අමාරුවේ දැමී යැයි මට කුණුහරුපයෙන් බැණ වැදී විද්‍යුත් ලිපි එවා තිබුණමුත් මා ඩොලර් රැගෙන මහින්ද අමාරුවේ දැමී යැයි කියා තිබුණමුත්  මගේ කුලය ගැන සඳහන් කර තිබුණමුත් මට ඒ කිසිවක් ප්‍රශ්නයක් වුණේ නැහැ. මා සිරිජාතිවාදියකු යැයි කී සමහරු මට උපන්දින සුබ පැතුම් එවීමටත් අමතක කෙළේ නැහැ! මේ වෙසමුණි දෙවියන් වෛශ්‍රමුණි නො වෙයි.



ඊයේ මා පෙරමුණක් ගැන සඳහන් කළා. එ ජා පාක්‍ෂිකයන්ට ද එයට එකතු විය හැකි බව මා කිවුවා. දැන් ඒ ගැන ඇතැමුන් කුලප්පු වෙලා. ඔවුන් අහන්නේ මැතිවරණයට, ජනාධිපතිවරණයට එ ජා පක්‍ෂිකයන් එකතු කර ගත යුතු ද කියා. එමගින් මහින්ද දුර්වල කරන්න මා උත්සාහ කරනවා ද කියා. අද මෙරට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඇතැමුනට හැම දෙයක් ම පෙනෙන්නේ මැතිවරණ ඇසින්. අර ශක්තිය දීම කතාවත් ඇතැමුන් දුටුවේ මැතිවරණ ඇසින්. ඊයේත් මා අදහස් කළේ මැතිවරණ පෙරමුණක් නො වෙයි.



කවුරුන් කෙසේ සිතා සිටියත් බටහිරයන් හා ඉන්දියාව රනිල් බලයට පත් කිරීමට කටයුතු කෙළේ මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමටත්, මහින්දට ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කිරීමටත්, නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් දෙමළ ජාතිවාදය ශක්තිමත් කර මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් නැති කිරීමටත්. රනිල් මුල සිට ම රට විකිණීමටත් රට බෙදීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටියා. මේ මූලික කරුණ අවබෝධ කර නොගෙන මෙරට දේශපාලනයක් කරන්න බැහැ. යහපාලනය කියන්නේ ඉහත සඳහන් කරුණු වෙනුවෙන් කටයුතු කිරීම පමණයි. අප රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට කතා කෙළේ මේ දේශපාලන අරමුණු පරාජය කිරීමට. එය යම් පමණකට සාර්ථක වුණා.



එහෙත් 113 සොයා ගැනීම ප්‍රධාන කාරණය බවට පත් කර ගැනීමත් ඒ සොයා නොගෙනීමත් හේතු කොට නැවතත් රනිල් නිල අගමැති වෙලා. එහෙත් අද බටහිරයන් සුමන්තිරන් නිල නොලත් අගමැති බවට පත් කරලා. අද අමාත්‍ය මණ්ඩලයේ නොවන ඇමතිවරු තුන්දෙනෙක් ද අමාත්‍ය මණ්ඩලයේ නොවන අගමැති වරයකු ද ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම. එහි තියෙන දේ ගැන රනිල් කතා කරන්නේ නැහැ. ඔහු කතා කරන්නේ ඒකීය බව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම වැනි වචනයට පමණක් සීමා වන දේ ගැන. ව්‍යවස්ථාවේ ඇති දේ ගැන තරමක්වත් කතා කරන්නේ සුමන්තිරන්. ඔහු දෙමළ ජාතිවාදීන්ගේ පැත්තේ සිට එය කරනවා. ව්‍යවස්ථාව සම්මත කර ගත්තොත් රණවිරු දඩයම නැවත පටන් ගනීවි. මහින්දටත් මෛත්‍රිපාලටත් යහතින් ඉන්න ලැබෙන එකක් නැහැ. දඬුවම් කරාවි.



අප මේ දේශපාලනය තේරුම් නොගෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණයේ ස්වාධීනත්වය ආදිය ගැන කතා කිරීමෙන් පලක් නැහැ. ව්‍යවස්ථා සභාවේ  දහදෙනාගෙන් අට දෙනකු රනිල් සුමන්තිරන් (සම්බන්ධන්) ඉත්තන් වී ඇති විට මොන ස්වාධීන කොමිෂන් සභා ද? අපි ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගනිමු. රනිල් සුමන්තිරන් නව ව්‍යවස්ථාවක් නොගෙනීමටත් ඉඩ තියෙනවා. ඔවුන් විස්ස යොදා ගෙන ඔවුන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත් ඉඩ තියෙනවා. අප මේ දුෂ්ට අරමුණු සියල්ල පරාජය කළ යුතුයි. ඒ පරාජය කිරීමට සූදානම් විය යුතුයි.



එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොදීම මූලික කර ගත්තක් විය යුතුයි. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ග, ජනමත විචාරණ ආදී සියල්ලටමත් අප සූදානම් විය යුතුයි. කාරක සභා අවස්ථාවේ දී ගෙනෙන සංශෝධන විවිධ යෝජනා අධිකරණයේ අභියෝගයට ලක් කිරීමටත් සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබා ගත යුතුයි. කාරක සභා අවස්ථාවේ අධිකරණයේ ඇස්වල වැලි ගසා ඉදිරිපත් කෙරෙන යෝජනා සංශෝධන පරාජය කිරීමට සැලසුම් කළ යුතුයි. බටහිරයන් කටයුතු කරන්නේ සැලසුම් සහිත ව. අප ඒවාට කුමන්ත්‍රණ කියන්නේ කරුණු නොදැන. සුමන්තිරන් හා රනිල් බටහිර සැලසුම් අනුව ක්‍රියා කළත් ජාතිකවාදීන් එසේ කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ හැඟීම් මත පදනම් ව ප්‍රතිචාර දැක්වීම පමණයි.



මා පෙරමුණක් යෝජනා කරන්නේ ඉහත සඳහන් කාර්යයන් ඉටු කර ගැනීමට මිසක් මැතිවරණ තරග කිරීමට නො වෙයි. නව ව්‍යවස්ථාවක් හෝ විස්ස හෝ සම්මත කර ගතහොත් එයින් වන විනාශයේ පෙරහුරුවක් දහනවයෙන් දැක ගන්න හැකි වුණා. අප මැතිවරණයකට යෑමට පෙර මේ ව්‍යවස්ථා උවදුර පරාජය කළ යුතුයි. මේ උවදුර තමයි ඊනියා යහපාලනයේ ප්‍රධාන කාර්යය වෙලා තිබුණෙ. මහින්දට දිගට ම අගමැති ධුරයේ කටයුතු කිරීමට හැකි වූවා නම් මේ උවදුර ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත් 113 සෙවීම (හා නොසෙවීම) නිසා දැන් එය ප්‍රශ්නයක් වෙලා. අපට දේශපාලනයේ ඒ ඒ අවස්ථාවේ ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගැනීමට හැකි විය යුතුයි. මනුෂ්‍යත්වයක් නැති මා සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ද සහභාගි විය හැකි පෙරමුණක් යෝජනා කරන්නේ මේ උවදුර පරාජය කිරීමට නොව එ ජා පාක්‍ෂිකයන් ලවා මහින්ද අමාරුවේ දැමීමටත් ඩොලර් ලබා ගැනීමටත් යැයි කියන්නන් ජාතිහිතෛශීන්, යුතුකම් දන්නවුන් හා පොදුවේ ජාතිකවාදීන් අතර ඉන්න පුළුවන්.