Main Logo

Wednesday 12 December 2018

පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද?


පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද?



බටහිර ව්‍යවස්ථා අනුව සම්පාදනය කර ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් ම ව්‍යවස්ථා (වගන්ති ) තුනක් වනුයේ පළමුවැනි දෙවැනි හා තුන්වැනි ව්‍යවස්ථායි. අපේ මතකය අලුත් කර ගැනීමට ඒ ව්‍යවස්ථා නැවතත් සඳහන් කරනවා.

1.ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2.ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

3.ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.




මෙහි අක්‍ෂර වින්‍යාසය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදියි. බලධාරීන් ව්‍යවස්ථාව ලිවීමේ දී කෙතරම් සැලකිලිමත් වී ඇත් ද යන්න එයින් පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් ඉන් පසු කියැවෙන්නේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරයයි. ඉහත කී ව්‍යවස්ථා තුන හා තවත් ව්‍යවස්ථා ද සංශෝධනය  කිරීමට තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. 



ජනතා පරමාධිපත්‍යයෙහි  අධිකරණ බලය අද ක්‍රියාත්මක වෙනවා. එහෙත් ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලය හා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන්නේ ද? ජනතාවට එය අත්හැරිය නොහැකි බව ව්‍යවස්ථාවෙන් ම කියනවා. එයින් පැහැදිලි වනවා ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ජනතාවගෙන් උදුරා ගත නොහැකි බව. එය කිසිවකුටවත් විධායකටවත් අධිකරණයටවත් උදුරා ගන්න බැහැ. එලෙස ම ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලයත් ව්‍යවස්ථාදායකටයවත් අධිකරණයටවත් උදුරා ගන්න බැහැ. එමෙන් ම ජනතා පරමාධිපත්‍යයෙහි අධිකරණ බලයත් ව්‍යවස්ථාදායකයටවත් විධායකයටවත් උදුරා ගන්න බැහැ.



පරමාධිපත්‍යය යන්න අප බටහිරින් ගත් එකක්. එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්නයෙහි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතීන්ට සාපේක්‍ෂ ව නිර්මාණය වූවක්.  එහි පරමාධිපත්‍යය කලෙක තිබුණේ රජුට. ඊටත් පෙර පාප්වහන්සේට. පාප්වහන්සේට ඒ පරමාධිපත්‍යය ලැබුණේ ඔහු දෙවියන් වහන්සේගේ නියෝජිතයා වීම නිසා. යුදෙව් ක්‍රිස්තියානි ලෝකයේ පරමාධිපත්‍යය මුලින් තිබුණේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවයි සියල්ල සිද්ධ  වුණේ. කෙසේ වෙතත් අවුරුදු සිය ගණනක විකාශයෙන් පසු ඒ පරමාධිපත්‍යය අද ජනතාවට හිමි වෙලා තියෙනවා. බටහිරයන් අප මත පැටවූ සංකල්පයක් වුවත් අද ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුයි. එය ආපසු දෙවියන් වහන්සේටවත් වෙන කාටවත් දෙන්න කිසිවකුටවත් කිසිම ආයතනයකටවත් බැහැ.



අද රටේ යම් අවුලක් ඇති වී තිබෙනවා. ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුවට අගමැති හා ඇමති මණ්ඩලය ද අයත්. එහෙත් අගමැති හා ඇමති මණ්ඩලය ක්‍රියාත්මක නැහැ.  පරමාධිපත්‍යයට පාලන බලතල ද අයත් වෙනවා. එහෙත් අද ජනතාව සතු මේ පාලන බලතල ක්‍රියාත්මක වෙනවා ද? ඇතැම් පාලන බලතල ක්‍රියාත්මක වීමට අගමැති හා අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් ඒ ක්‍රියාකාරීත්වය අද ඇණහිටලා.   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1) අනුව්‍යවස්ථාව අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය. මෙහි අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය යන්නෙහි අදහස හුදෙක් අමාත්‍ය මණ්ඩලයක් පැවතීම පමණක් නොව ඒ ක්‍රියාත්මක වීමයි. අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය ඇණහිටීමෙන් පාලනය මෙහෙයවීමටවත් ඒ පාලනය පිළිබඳ විධානයටවත් අමාත්‍ය මණ්ඩලයට  හැකි කමක් නැහැ. 42(2) අනුව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහික ව වගකීමට හා පිළිතුරු බැඳීමට බැඳී ඉන්නවා. එයත් කෙරෙන්නේ නැහැ.



43(3) අනුව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම ද පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්ම වැදගත්. මෙහි ද අඛණ්ඩ පැවැත්ම යනු හුදෙක් පැවැත්ම නොව ක්‍රියාකාරීත්වයේ ද අඛණ්ඩ බව. අමාත්‍ය මණ්ඩලයේ කටයුතු ඇණහිටීමෙන් පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීම ද ඇණහිටිනවා. එය ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක නොවීමක්.



අමාත්‍ය මණ්ඩලයේ හුදු පැවැත්ම පමණක් නොව අඛණ්ඩ ක්‍රියාකාරිත්වය වැදගත්. ඒ නිසා තමයි පර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක වුවත් මහා මැතිවරණය අවසන් වන තෙක් අමාත්‍ය මණ්ඩලය දිගට ම ක්‍රියා කළ යුතු යැයි 47(1) අනුව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ.  අමාත්‍ය මණ්ඩලයේ කටයුතු ඇණහිටීම නිසා ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන්නේ නැහැ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 41(1) අනුව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට තම ධුරයේ බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහි ලා තමාට සහාය දීමට තම මතය අනුව ලේකම්වරුන් පත් කරන්න පුළුවන්. එමෙන් ම අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් හා කාර්ය මණ්ඩල පත් කිරීමට ද පුළුවන්. මේ පරමාධිපත්‍යයේ පාලන බලතල.  අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක නොවන විට ජනාධිපතිට උපදෙස් ගැනීමට හැකියාවක් නැහැ. එවිට ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලතලවලට ද සීමා පැනවෙනවා. ආණ්ඩුවේ වැදගත් ම කොටසක් වන්නේ අගමැති හා අමාත්‍ය මණ්ඩලය. කරුණාරත්නගේ කොල කෑලිවලින් හා ජ වි පෙ තුණ්ඩුවලින් අගමැති හා අමාත්‍ය මණ්ඩලය නිශ්ක්‍රීය කරන්න බැහැ. ඒ ජනතාවගේ විධායක මෙන් ම ව්‍යවස්ථාදායක බලතල ද උල්ලංඝනය කිරීමක්.