Main Logo

Monday 17 December 2018

රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර ම යවමු


රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර  යවමු



රනිල් පස්වැනි වතාවටත් අගමැති වෙලා. ඒක ලෝක වාර්තාවක්ලු. අපට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පුළුවන්. ඒ රනිල් පස්වැනි වතාවටත් අගමැති කමෙන් ඉවත් කරලා. ඒත් මේ ගමන ඉවත් කරන්නෙ හයවැනි වතාවකට අගමැති වෙන්න එහෙම නම් නො වෙයි.  රනිල් දිවුරුම් දුන්නට පස්සෙ හොඳ කතා දෙකක් කෙරිල. එකක් කොළඹ ජනාධිපති කාර්යාලයෙදි. අනෙක තංගල්ලෙදි. කොළඹ කතාවෙ දී ජනාධිපති සිරිසේන රනිල් ඉස්සරහින් තියාගෙන රනිල්ගෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය, රට බෙදීම හා රට විකිණීම ගැන කියලා. රනිල් මොනව කියන්න ද? ඒත් දෙරණෙ චතුර නම් කීවෙ රනිල් පරිණත ව හිතන්න ඇතිලු ඒ චෝදනා ජනාධිපති ම ගන්න කියලා. දෙරණ හිරු ආදී නාළිකා පළමුවෙන් බලන්නෙ රට ගැන නොවෙයි තමන්ගෙ පැවැත්ම ගැන.




තංගල්ලෙදි හිටපු අගමැති මහින්ද රනිල්ගෙ ආණ්ඩුව පරාද කරන බව කියලා. ඒකට ටිකක් කල් යයි. ඒත් අවුරුද්දක් යන එකක් නැහැ. රනිල්ගෙ යුදෙව් ක්‍රිස්තියානි බමුණු කුලය මෙවර නම් සදහට ම පරාද කරන්න ඕන. පනස්හයේ වගේ නොවෙයි. එවර බමුණු කුලය බිඳ වැටුනෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ නම් සිද්ධියට පස්සෙ බමුණු කුලය බිඳ වැටීම ගැන කියල දහසින් බැඳි පියල්ලක් ලබා ගත්ත.



ජනාධිපති බොහෝ කරුණු කිව්ව. මහා බැංකු කොල්ලය, එහි පරීක්‍ෂණ නොකෙරුණු හැටි, කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට ඊනියා ජාත්‍යන්තරය ක්‍රියා කළ හැටි, රණවිරුවන්ට දඬුවම් කිරීම්, සංඝයා වහන්සේ සිරගත කිරීම්, රාජ්‍ය නොවන සංවිධාන හා එ ජා ප මන්ත්‍රීන් තමා ගඩාෆි මෙන් ඝාතනය කිරීමට ගේ වැටලීමට හා තවත් දේ කිරීමට ප්‍රකාශ කළ හැටි, තමා ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී නීති විශාරදයන්ගෙන් උපදෙස් ගත් හැටි, ඊනියා ස්වාධීන ව්‍යවස්ථා සභාව තමා යැවූ විනිසුරුවන්ගේ නම් ප්‍රතික්‍ෂෙප කළ හැටි,  තම දැනුම අනුව ව්‍යවස්ථාවට එකඟ ව වැඩ කළ හැටි, මන්ත්‍රින් 122 දෙනකු මැතිවරණ එපා කියා අධිකරණයට ගිය හැටි, රනිල් වික්‍රමසිංහ ඇතැම් අවස්ථාවල ජනාධිපති බලතල ද රැගෙන ක්‍රියා කළ හැටි, තමා ඒ සියල්ල කළ ගුණ සැලකීමක් සේ ඉවසා සිටි හැටි ආදී කරුණු රාශියක් කිව්ව. ඒ අහගෙන ඉන්න විට සිතුණේ රනිල් වෙනුවට මහින්ද පත්කිරීමට මෙතරම් කල් බලා සිටියේ ඇයි ද යන්නයි. අප අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළත් ව්‍යවස්ථා සභාව විනිසුරුවන් නිර්දේෂ කිරීමේ දී අපක්‍ෂපාත වී ද යන ප්‍රශ්නය තිබෙනවා. ව්‍යවස්ථා සභාව ඇටවීම යනු රනිල් විධායක ජනාධිපති බලතල තම අතට ගැනීමට කරන ලද  මගඩියක් පමණයි. මේ රටේ ඊනියා ස්වාධීන සභා නැහැ. 



රනිල් ජනාධිපතිගේ කතාවට පිළිතුරක් දුන්න. ඔහු එහි දී පම්පෝරි ගහනව දහනවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන. ඔහු ව්‍යවස්ථාව රකිනවලු. දහනවවැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය සඳහාලු. ඒත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නො වෙයි. ඒක රනිල් සඳහා. දහනවය යනු රනිල්. ඒත් රනිල් එකෙන් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඔහුට ඕන විස්සෙන් රට බෙදල රට විකුණන්න. ඔහු සිංහල බෞද්ධ විරෝධී ක්‍රියා කොපමණ කරල තියෙනවා ද? ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනියටවත් සිරිසේන ජනාධිපතිටවත් පාර්ලිමේන්තුවටවත් නොකියා රට පාවා දීපු අවස්ථා තියෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බවක් පෙන්වන ප්‍රෝඩාතන්ත්‍රවාදියෙක්. ඔහු මහා සංඝයා වහන්සේට ගරු කරන බවක් කිව්වා. එහෙත් සංඝයා වහන්සේ ඉල්ලා සිටින්නේ මැතිවරණයක්. ඔහු කිසිම මැතිවරණයක් දෙන්නේ නැහැ.



පැරණි ක්‍රිස්තියානි පූජකවරයකු වූ ද රාජකීය විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ පැරණි කඩුළු රකින්නකු වූ ද එරාන් වික්‍රමරත්න දැන් එ ජා පක්‍ෂය හා ක්‍රිස්තියානි සංස්කෘතිය වෙනුවෙන් කඩුළු රකිනවා. ඔහු කියල තිබුණ මහින්ද අගමැති වුණෙ කුමන්ත්‍රණයකින් කියල. එ ජා පක්‍ෂයෙ සුවච කීකරු සේවක ජ වි පෙ නායකයන් ද ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ගැන කියනවා. එහි කිසිම කුමන්ත්‍රණයක් තිබුණෙ නැහැ. රනිල් අගමැති ධුරය දැරීම නතර කරල මහින්ද අගමැති කරන්න පුළුවන් කියල අර මහා බැංකු කොල්ලයට පස්සෙ ඉස්සෙල්ල ම කිව්වෙ මම. පුළුවන් නම් කුමන්ත්‍රණයක් කළ බවට මට විරුද්ධ ව නඩුවක් දාන්න. ප්‍රසිද්ධියේ කුමන්ත්‍රණ කරන්නෙ නැහැ. කුමන්ත්‍රණ ගැන කියන අය කුමන්ත්‍රණ කියන වචනෙ තේරුමවත් දන්න නැහැ.



රනිල් අගමැතිකම දරන එක නවත්තල මහින්ද අගමැති කෙරුවෙ ව්‍යවස්ථාවට එකඟ ව. මා ඒ බව කිහිප වරක් ම කියා ඇති. එහෙත් ඇතැම් නීති විශාරදයන් කියන අය එය තරමක් අවුල් කළා. දඹර අමිල හිමියන් විතරයි ඒ පත් කිරීමට විරුද්ධව අධිකරණයට වැඩම කෙළෙ. අනෙක් අය දන්නව එය ව්‍යවස්ථා විරෝධී නොවන බව. සිරිසේන ජනාධිපති කියනව තමා හැම ගැසට්ටුවක් ම පළ කෙළෙ නීති විශාරදයන්ගෙන් අහල කියලා. අනෙක් සැරේ නීති විශාරදයන් නොවන අයගෙනුත් අහන්න. කිසිම දෙයක් අදාළ ක්‍ෂෙත්‍රයෙහි විශාරදයන්ට පමණක් සීමා කරන්න නරකයි. ඔවුන්ට පේන්නෙ ඔවුන් බලන්න පුරුදු කරල තියෙන පැත්ත විතරයි.



දහනවවැනි සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් නො වෙයි. ඒ රනිල්ගෙ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ඨ කරගන්න. ඔහුට ඕන වුණෙ රාජපක්‍ෂලා ජනාධිපති වීම නවත්වන්නයි සිරිසේන ජනාධිපතිගෙ ඇතැම් විධායක බලතල කපා දාන්නයි. අවුරුදු හතරහමාරකට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියලා 2015 මැයි මාසෙ දහනවවැනි ව්‍යවස්ථාවෙන් කිව්වෙ ඒ වෙනකොට සිරිසේනට ජනාධිපතිකමේ මාස පහක් ගෙවිල තිබුණ නිසා. ඉතිරි අවුරුදු හතරහමාරෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි වෙන විධියට ව්‍යවස්ථාව වෙනස් කළා ව්‍යවස්ථා විරෝධීව අධිකරණයට හොරෙන්.  ලෝකෙ මොන රටේ ද මෙවැනි වැදගත් කාල සීමා අවුරුදු බාගවලින් කියන්නෙ. මේ කාල සීමා දෙන්නෙ පූර්ණ වර්ෂවලින්. සිරිසේන 2015 මැයි වන විට මාස පහක් ජනාධිපතිකම කරල තිබුණ නිසා පාර්ලිමේන්තුව අවුරුදු හතරයි මාස හතක් වන තුරු විසුරුවා හරින්න බැහැ කියල දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කළේ නැහැ. එහෙම කළා නම් රනිල්ගෙ අවශ්‍යතාව කාටත් පේනවා. ඔහු අවුරුදු හතරයි මාස හයකට ඒ සීමා කළා. රනිල් ප්‍රජාතන්ත්‍රවාදී බවක් පෙන්වමින් ප්‍රෝඩාතන්ත්‍රවාදීව ක්‍රියා කරන්නෙක්. 



රනිල් දහනවය සම්මත කර ගත්තෙ ප්‍රජාතන්ත්‍රවාදීව ද? ඔහුට ඒ වෙලාවෙ වාසියට හිටියෙ මහින්ද හා මෛත්‍රිපාල අතර වූ විරසකය. දෙන්න එකිනෙකාට විරුද්ධව වැඩ කරන්න ගිහිල්ල අවසානයේ දී රනිල්ට අධිකරණයෙත් ඇස් වහල දහනවය සම්මත කර ගන්න ලැබුණා. රනිල් හා අනුර ඒ ක්‍රමය ම යොදා ගනීවි විස්ස සම්මත කර ගන්න. සමහර විට මන්ත්‍රීන් කිහිප දෙනකු ඩොලර් මිලියනවලට ගන්නත් අදාළ පුද්ගලයන් කටයුතු කරාවි. ඒත් දැන් මෛත්‍රිපාල මහින්ද එකතු ව ඉන්නෙ. ඇතැමුන් මේ සුසංයෝගය පෙබරවාරියට ඉස්සර කඩන්න උත්සාහ ගනීවි. ඒ මාර්තු වෙන කොට විස්ස හරි නව ව්‍යවස්ථාව හරි සම්මත කර ගන්න රනිල් හා සුමන්තිරන් කල්පනා කරන නිසා.  අද කළ යුත්තේ ඒ සුසංයෝගය රටේ ජාතිකත්වය වෙනුවෙන් රැක ගැනීමයි.  ඒ සුසංයෝගයට ගෝඨාභය රාජපක්‍ෂත් එකතු වෙන්න ඕන. ඒ ත්‍රිත්වයට පුළුවන් වේවි යුදෙව් ක්‍රිස්තියානි බමුණු කුලය නැවත නොනැගිටින්න පරාජය කරන්න.



අනුර තම අනුගාමිකයන් රවටන්න බොරු වීර කතා කියනවා. ඇමති මණ්ඩලය තිහ ද පනහ ද කියන එක වියදම අතින් ප්‍රශ්නයක් වුණත් පාලනය අතින් ප්‍රශ්නයක් නො වෙයි. රට පාලනය කරන්න හදන්නෙ රනිල්ට ඕන විධියට. ජ වි පෙ එයට සහාය දෙමින් බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියනවා. ඡන්දය දීමට පැමිණ අයට වෙඩි තියපු ජ වි පෙ රනිල්ට ම හරියන ප්‍රෝඩාතන්ත්‍රවාදීන්. අදත් ජීවත් ව සිටින ජී අයි ඩී ධර්මසේකර (දැන් ධර්මවිජය හිමි) මහතා හමු වී ජ වි පෙ ඔහු මරා දැමීමට පැමිණි ආකාරය දැන ගන්න පුළුවන්.



අද දහනවය ව්‍යවස්ථාවට අඩංගුයි. ඒ නිසා අධිකරණයටත් සිද්ධ වෙනවා ඒ අනුව කටයුතු කරන්න. රනිල් කිව්වෙ මහින්ද අගමැති ලෙස පත්කිරීම ගැන නො වෙයි. ඔහුට තිබුණු එකම කරුණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවෙයි කියන එක පමණයි. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දහනවයට විරුද්ධ කියලා. අධිකරණය ඒ ගැන තීන්දුවක් දීල තියෙනවා. අවාසනාවකට නීතිඥයන් අධිකරණය ඉදිරියේ හරිහැටි කරුණු දැක්වූයේ නැහැ. ඔවුන් 33(2)(ඇ) 66(2) හා 70(1) ට පමණක් කොටු වූවා. මෛත්‍රිපාල කිව්වෙ තමන් දූෂිත පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්නය එළියට ගෙන ජනතාවට ප්‍රශ්නය විසඳන්න දෙන්න ගියා කියල. එහෙත් ඒ කාරණය ඒ විධියට අධිකරණය ඉදිරියේ ගෙන හැර දැක්වූයේ නැහැ. ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දී මූලික වුණෙත් මේ මන්ත්‍රී වෙළෙඳාම. ඉන්දීය අධිකරණය ආණ්ඩුකාරයා ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදි බව පිළිගත්තා.



ලංකාවෙ දහනවවැනි සංශොාධනය අධිකරණයේ ඇස් වසා සම්මත කර ගත් එකක්. එය පැත්තකින් තියන්න. ප්‍රශ්නය වුණෙ මහින්ද අගමැති කිරීමත් සමග අනවශ්‍ය 113 ප්‍රශ්නයක් පටලවා ගෙන 113 හොයන්න උත්සාහ ගැනීම. අද රනිල්ගෙ ආණ්ඩුවට ඇත්තේ 103ක් පමණයි. ඔවුන්ටත් 113ක් නැහැ. රනිල්ගෙ ආණ්ඩුවත් සුළුතර ආණ්ඩුවක්. ඔවුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නමින් දෙමළ ජාතික සංධානය හා ජ වි පෙ ආණ්ඩුවත් සමග ඡන්දෙ දේචි. මහින්දගෙ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාසභංග ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට විරුද්ධයි. ඒ නිසා අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නෙ නැහැ. ඒක ව්‍යවස්ථාවට එකඟයි. මහින්දගෙ ආණ්ඩුවට නිසි ආකාරයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබුණෙ නැහැ. ගෙනල්ල සම්මත වුණත් වෙන්නෙ අමාත්‍ය මණ්ඩලය විසිරෙන එක විතරයි. එවිට ජනාධිපතිට ඒ අගමැති ම වුණත් නැවතත් පත් කරන්න පුළුවන්. ඒකත් ව්‍යවස්ථාවට එකඟයි. මෛත්‍රිපාල කිව්ව වගේ පර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් බැහැ අහවලා අගමැති ලෙස පත් කරන්න කියා ජනාධිපතිට නියෝග දෙන්න. අගමැති පත් කිරීම සම්පූර්ණයෙන් ම ජනාධිපතිගෙ වැඩක්.



මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ මනත්‍රීවරුන් මුදලට විකිණීම නිසා ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වීම ඇණ හිටි බැවින්. එය විශේෂ අවස්ථාවක්. රට අස්ථායී බවට පත් වුණා. පාර්ලිමේන්තුව කාගෙ කාගෙ හරි මුදලට යට වෙලා ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ඇණහිටියා. එය විශේෂ අවස්ථාවක්. 33(2) (ඇ) හා 66 (2) අනුව්‍යවස්ථා යටතෙ ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එහෙත් සාමාන්‍ය අවස්ථාවල එය 70(1)ට යටත්වෙනවා. ඒ රනිල් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට එක් කර තිබූ අර අවුරුදු හතරහාමාරෙ ප්‍රජාතන්ත්‍ර විරෝධි වාක්‍යය  නිසා. එයින් සිද්ධ වුණෙ ජනාධිපතිට අවුරුද්දකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට  තිබූ අයිතිය මෛත්‍රිපාලට නැති වීමයි.



එහෙත් ඒ සාමාන්‍ය තත්වයන් යටතේ. මහින්ද අගමැති බවට පත් කිරීමෙන් පසු ඇති වූයේ විශේෂ තත්වයක්. එයට ඉංගිරිසියෙන් හොර්ස් ට්රේඩින් (horse trading ) කියනවා. ඒ අශ්වයන් විකිණීමක් නො වෙයි. මන්ත්‍රීන් අශ්වයන් ද බූරුවන් ද කියන එක නොවෙයි ප්‍රශ්නය. ඔවුන් විකිණීමත් හෝස් ට්රේඩින් එකක් තමයි. එයින් ජනතා පරමාධිපත්‍යය ඇණ හිටියා. ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය  මුදලට යට වුණා. ඒ අවස්ථාවේ දී ජනාධිපතිට 33(2) (ඇ) හා 66(2) යටතේ 70 (1) ඉක්මවා 3 හා 4 (අ) යටතේ ජනතා පරමාධිපත්‍යය රැකීමට ක්‍රියාත්මක වන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවා හැරුණේ ඒ අවසරයෙන්. එහෙත් ඒ බව අධිකරණය ඉදිරියේ පැහැදිලි ව ප්‍රකාශ වුණා ද යන්න ප්‍රශ්නයක්. 



කෙසේ වෙතත් දැන් රනිල් නැවතත් අගමැති. ඔහු හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති බව පැහැදිලියි. මේ ආණ්ඩුව පටන් ගත් තැන ම ආණ්ඩු දෙකක් වෙලා. එකක් මෛත්‍රිපාලගෙ ආණ්ඩුව. සියලු ජාතික බලවේග ඒ සමග. අනෙක රනිල්ගෙ ආණ්ඩුව. සියලු විජාතික බලවේග ඒ සමග. ආණ්ඩු දෙක අතර ඊනියා සංහිඳියාවක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විසඳුමක් අද නැහැ.



රනිල් හා අනුර ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් යට හැංගෙන නැතුව අර තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනවා ද? ඔවුන් කීවේ තමන් මැතිවරණයකට විරුද්ධ නැති නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරි ක්‍රමයට විරුද්ධ බවයි. දැන් ඔවුන්ට අවස්ථාව තියෙනවා ඔවුන් කියන නිසි විධියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක්  ගෙනැවිත් සම්මත කර ගන්න. අපි බලමු එය කෙරෙනවා ද කියා.