Main Logo

Saturday 22 December 2018

විජාතික සැලසුම් හා මහින්ද


විජාතික සැලසුම් හා මහින්ද



රටට විරුද්ධව රණවිරුවන්ට විරුද්ධව සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිරයන් සමග එක් වී ජෙනීවාහි දී යෝජනා සම්මත කර ගත් මංගල සමරවීර ඊයේ තෙල් මිල අඩු කරළා. ඒ ගැන ඔහුගේ ම වල්ලේ පොලක් වූ රනිල් පාර්ලිමේන්තුවේ කතාවකුත් කරලා. අද නැවතත් රට ආණ්ඩු කරන විජාතික, සිංහල බෞද්ධ නොවන සංස්කෘතියකට අයත් පිරිසකට වුවත් මිනිසුනට සහනයක් දෙන්න සිද්ධ වෙලා.




මංගල නැවතත් ඊනියා මිල සූත්‍රය ගැන කියවනවා. අර සූත්‍රයක තිබිය යුතු යැයි කියන ලක්‍ෂණ ගැන කරුණු ඉදිරිපත් කළ ආර්ථික විද්‍යා මහාචාර්ය විශේෂඥයා  මොනවා කියනවා ද දන්නේ නැහැ.  ඔහු සූත්‍රයක තිබිය යුතු ශ්‍රිත ගැන කතා කළා. මහාචාර්යවරයා ශ්‍රිත යනුවෙන් හැඳින්වූයේ මොනවා ද කියා කියන්න දන්නේ නැහැ. ශ්‍රිතවලට ඒකජ ශ්‍රිතත් අයත්වන බව නම් කියන්න ඕන.



ඒ කොහාම වුණත් මංගලටත් රනිල්ටත් තෙල් මිල අඩු කරන්න පුළුවන් බව කියලා දුන්නෙ මහින්ද. දින පනහක් ඇතුළත මහින්ද කිහිප වරක් තෙල් මිළ අඩු කළා. ඒ ආණ්ඩුව පරාද වී නැහැ. මේ ආණ්ඩුවටත් ඒ ආණ්ඩුව ගිය පාරෙ ම අකමැත්තෙන් වුණත් යන්න වෙලා. මහින්දගෙ ආණ්ඩුව හා රනිල් සුමන්තිරන් අනුර ආණ්ඩුව අතර ඇත්තේ ලොකු වෙනසක්. මහින්දගේ ආණ්ඩුව ජනතා ආණ්ඩුවක්. රනිල්ගෙ සුමන්තිරන්ගෙ ආණ්ඩුව අධිකරණ ආණ්ඩුවක්. රනිල්ගෙ ආණ්ඩුව පවතින්නෙ රෝම ලන්දේසි නීතියෙ පිහිටෙන්. රෝම ලන්දේසි නීතිය සිංහල බෞද්ධයනට පක්‍ෂපාත වන නීතියක් නොවෙයි. එය කටයුතු කරන්නෙ ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක. කිසිම දෙයක නැති ඊනියා වාස්තවිකත්වයක් නීතියෙත් නැහැ.



ලෝකයේ බොර තෙල් මිල අඩුවන්න පටන් ගත්තෙ පහුගිය 2017 නොවැම්බරයෙ ඉඳලා.  ඒත් 2018 ඔක්තෝම්බරයෙ අග මහින්ද නීත්‍යානුකූල ව අගමැති වන තුරු (එය එරාන් වික්‍රමරත්න වැනි හිටපු පූජකයන් කිව්වට දේශපාලන කුමන්ත්‍රණයක් නො වෙයි. එරාන්ට පුළුවන් ද පෙන්වන්න එය කුමන්ත්‍රණයක් වෙන්නෙ කොහොම ද කියලා) මංගලවත් රනිල්වත් තෙල් මිල අඩු කළේ නැහැ. ඔවුන් කළේ බොර තෙල් මිල අඩු වෙද්දි මෙරට තෙල් මිල වැඩි කරන එක. මහින්ද තමයි පෙන්නුවෙ තෙල් මිල අඩු කරන්න පුළුවන් කියලා. මංගලලා කළෙ මහාබැංකු මංකොල්ලයෙ පාඩුව පියව ගන්න මිනිසුන් මත බදු බර පැටවීම. ඊයේ මංගල පාර්ලිමේන්තුවෙ කිව්ව ඒ දවස්වල තෙල් මිල අඩුකරන්න බැරි වුණත් දැන් පුළුවන් කියලා. ලැජ්ජ නැති කම මුදල් ඇමතිකමකටත් වඩා ලොකුයි.



අධිකරණ ආණ්ඩුව නැවතත් අධිකරණයට යන්න සූදානම් වෙනවා වගේ. ඒ මහින්දගෙ විපක්‍ෂ නායකකමට විරුද්ධ ව. විපක්‍ෂ නායකකම පිළිබඳ ව සුමන්තිරන් හා කිරිඇල්ල කලින් දින පාර්ලිමේන්තුවෙ මතු කළ ප්‍රශ්නයට කරුණාරත්න ඊයේ පාර්ලිමේන්තුවෙ උත්තරයක් දුන්නෙ නැහැ. විවිධ පාර්ශ්ව තුනකින් නගා ඇති කරුණු සම්බන්ධයෙන් තීරණයක් දීම පසු දිනකට කල් දාලා. කරුණාරත්න තීරණය දෙන දවස දන්නලත් නැහැ.



මේ සුද්දන් අනුව යමින් දෙන නත්තල් නිවාඩු සමය. බෙත්ලෙහෙමෙ උපන් ක්‍රිස්තුස් වහන්සෙ සමරන්න පිනිමුවන් එන සමය. සුද්දන් ක්‍රිස්තුස් වහන්සෙ තමන්ගෙ සංස්කෘතියට ඇදල ගත්තෙ තුන්වැනි සියවසේ පමණ සිට. ඊට ඉස්සර කාන්තාරෙ පිනිමුවන් හිටියෙ නැහැ හිම දිගේ කරත්ත අදින්න. වැඩි කල් යන්න ඉස්සර ඔවුන් මහායාන බුද්ධාගමත් ඔවුන්ගෙ කර ගනීවි. ඒ කොහොම වුණත් බටහිර මෙතෝදිස්ත සුමන්තිරන් නිවාඩුවෙන් පස්සෙ මහින්දට විරුද්ධව අධිකරණයට යෑමට බලාපොරොත්තුවෙන් ඉන්නව කියල හිතන්න පුළුවන්. සුමන්තිරන්ට අවශ්‍ය වන්නෙ සම්බන්ධන් තවදුරටත් විපක්‍ෂ නායක කමේ තියා ගන්න. ඒ සඳහා මහින්ද ඇතුළු පිරිසගෙ මන්ත්‍රීකම් නැති කරන්න තීන්දුවක් දෙන්න කියල අධිකරණයෙන් ඉල්ලන්න පුළුවන්. අධිකරණය මොන තීන්දුවක් වුණත් දෙන්න ඉස්සෙල්ල රැඳවීම් නියෝගයක් දීල මහින්ද ඇතුළු පිරිසට මන්ත්‍රී ධුරවල කටයුතු කිරීම තාවකාලික ඇණහිටෙව්වොත් මොකද කරන්නෙ. තාවකාලික කියන එකට කාලසීමාවක් නැහැ.



රනිල් සුමන්තිරන් අනුර දාසනායක විජාතික සැලැස්මකට අනුව කටයුතු කරන්නෙ. ඔවුන් විස්ස මාර්ගයෙන් හරි නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න උත්සාහ කරනවා. දාසනායක අතුරු සම්මත ගිණුමට විරුද්ධ වූණෙ බොරුවට. ඔහු වෙලාවට ව්‍යවස්ථා සංශෝධනයක දී රනිලුයි සුමන්තිරනුයි එක්ක එකට ඉඳීවි. ඔවුන්ට තුනෙන් දෙක නොදී ඉන්නට තමයි උත්සාහ ගන්න ඕනෙ. සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් විතරක් නොවෙයි දෙමළ කතාකරන, මුස්ලිම් ජනයාත් සිදුවන්නෙ මොකක් ද කියන එක තේරුම් ගන්න ඕන. වෙල්ලාලයන් හා හකීම්ලා වැනි ප්‍රභූ මුස්ලිමුන් බටහිරයන්ගේ සැලැස්මක් අනුව රනිල් සමග සහයෝගයෙන් කටයුතු කරනවා.



එහෙත් ඒ අතර නූතන මොල්ලිගොඩලා තව තවත් සිංහලයන් භේද කිරීමට උත්සාහ ගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සංධානය එකතු කරනවා වෙනුවට 113 සොයමින් ව්‍යාජ ලෙස හැසිරුණු නූතන මොල්ලිගොඩ ඒ දුරස් කිරීමට කටයුතු කරනවා. මන්ත්‍රීකම් ගැන මිස රට ගැන  උනන්දුවක් නැති පිරිසක් මොල්ලිගොඩ පසුපස යනවා. මහින්දලා පොහොට්ටුවට එකතු කරගන්න උත්සාහ දැරීම ම තකතීරු වැඩක්. එහි ප්‍රතිඵල ඉදිරියේ දී බලාගත හැකි වේවි. 



මහින්ද අගමැති කිරීම  නිවැරදියි. මේ ආණ්ඩුවටත් තෙල් මිල අඩු කරන්න සිදු වුණෙ මහින්ද අගමැති කළ නිසා. අද ආණ්ඩුවට එතරම් ශක්තියක් නැහැ. අද කළ යුත්තේ මහින්ද මෛත්‍රිපාල (ගෝඨාභය) තව තවත් ශක්තිමත් කර රනිල් සුමන්තිරන් දාසනායක කල්ලිය පළවා හැරීම මිස පොහොට්ටුව හා බුළත් කොළය දුරස් කිරීමට   කටයුතු කිරීම  නො වෙයි.