Main Logo

Friday 3 May 2019

ඇමරිකාව බබාලන්තයක්ද ?



මේ ලිපිය තේෂාන් ප්‍රියදර්ශනගෙනි



ඇමරිකාව බබාලන්තයක්ද ?
========================
මෙහි කියැවෙන අදහස සියල්ලන් විසින් පිළිගතයුතු නොවන බව පළමුව කිව යුත්තේ මූණු පොත යනු පඳුරකට පයින් ඇන්න විට පඬියන් හැට හැත්තෑවක් විසිවන ස්ථානයක් බැවිනි...තිබෙන තොරතුරු අනුව ගොඩනැගිය හැකි එක් වඩාත් සංගත අදහසකි මෙහි කියැවෙන්නේ...වියුක්තව මෙම කතාව කිවහැකි වුවත් බොහෝ දෙනා තේරුම්ගනුයේ සංයුක්ත කතාවලින් බැවින්, මෙහි සංයුක්ත නිදසුන් ද සඳහන් වෙයි. දැනට තිබෙන තොරතුරු සමඟ පමණක් මෙම කතාව තේරුම්ගැනීමට උත්සාහ නොකොට, ඉදිරියේදී ලැබෙන තොරතුරු ඒ සමඟ සංගත වන්නේදැයි මේ පිළිබඳ උනන්දු වන යමෙකුට සොයා බැලිය හැකි ය.


|| පසුබිම >>

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය ඇමරිකා එක්සත් ජනපද නිර්මාණයක් බව කවුරුත් දන්නා කරුණකි. එහි නායකයා වූ ඔසාමා බින් ලාඩ්න් ටෝරා බෝරා කඳු අතර සැඟව සිටි බවට පැහැදිලි තොරතුරු ඇ.එ.ජනපද සතුව තිබියදීත්, එම ප්‍රදේශවලට පහරදීමට ප්‍රමුඛතාව නොදී, ඇෆ්ගනිස්තානියේ වෙනත් ප්‍රදේශවලින් ප්‍රහාර ආරම්භ කරන ලදී. එසේ සිදුකොට, බින් ලාඩ්න්ට පැන යාමට අවකාශය ලබාදෙමින් මුළුමහත් ඇෆ්ගනිස්තානියම විනාශ කළේ අහිංසක ජනයා දස දහස් ගණනින් මරා දමමිනි. අදවනවිට ඇෆ්ගනිස්තානියට සිදුකර ඇති විනාශයේ වැඩි වගකීම ඇ.එ.ජනපද සතු ය.

පසුව ඇ.එ ජනපද ඇතුළු බටහිර රටවල පූර්ණ ආශීර්වාදය සහිතව ඇෆ්ගන් ජනපති ලෙස හමීඩ් කර්සායි පත්විණි. එහෙත්, පසුකාලීනව ඔහු ඇමරිකා එක්සත් ජනපදත් සමඟ විරසකයන් ඇතිකරගන්නා ලදී. එහි උච්චතම අවස්ථාවක් ලෙස තලේබාන් සංවිධානය විසින් හමීඩ් කර්සායි ඝාතනය කිරීම සඳහා ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහෙත් ඒ ආසන්න කාලයේ ඇෆ්ගනිස්තානියේ ඇ.එ.ජනපද කාර්‍යාලය දෙසට වෙඩි උන්ඩයක් හෝ පිට කිරීමට තලේබාන්වරු ක්‍රියාකළේ නැත. කෙසේ නමුත්, තලේබාන් ප්‍රහාරයෙන් කර්සායි දිවි ගලවාගැනීමට සමත් විය. ඇ.එ.ජනපද සමඟ විරසක වූ ඇෆ්ගන් නායකයාට තලේබාන් සංවිධානය පහරදෙනුයේ කුමකටදැයි යමෙකු කල්පනා කරනු ඇත. ඇත්ත වශයෙන්ම යමෙකු කල්පනාකර තේරුම්ගත යුත්තේ ද එයයි…

ඇෆ්ගනිස්තානියට එරෙහි යුද්ධයට ඇ.එ.ජනපද පදනම් කරගත්තේ 9/11 නමින් කතාබහ වන ප්‍රහාරයයි. නමුත්, ඒ සම්බන්ධයෙන් ඉරානයේ හිටපු ජනාධිපති මාහ්මුද් අහමෙදිනිජාඩ් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී, රටවල් සිය ගණනක රාජ්‍ය නායකයන් ඉදිරියේ ඇ.එ.ජනපදවලට අභියෝගයක් කරන ලදී. එනම්, හැකිනම් 9/11 ප්‍රහාරය සම්බන්ධ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුකර පෙන්වන ලෙස තමන් අභියෝගකරන බවත්, එවිට 9/11 ප්‍රහාරය ඇ.එ.ජනපද අනුදැනුම මත සිදුවූ බව හෙලිවනු ඇති බවත් ය. එම අභියෝගයට සුදුසු ප්‍රතිචාරයක් එම අවස්ථාවේ මතු නොව, පසු අවස්ථාවක හෝ ඇ.එ.ජනපද නොදැක්වී ය. එම අවස්ථාවේ පවා ඇ.එ.ජනපද නියෝජිතයන් සිදුකරන ලද්දේ ඊශ්‍රායලය සමඟ ඉරාන ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සභාගැබෙන් ඉවත්ව යාමයි..!

පසුව, ඇමරිකානු CIA නියෝජිතයකු ප්‍රකාශයක් සිදුකරමින් හෙලිකර සිටියේ 9/11 ප්‍රහාරය දිනයේ නිවුන් කුළුණු(Twin Towers) දෙකෙන් එකක් බිඳ දැමුවේ ඔහු නායකත්කය දුන් පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ ඔවුන් කුළුණේ පාදමේ පුපුරන ද්‍රව්‍ය තැන්පත්කර පුපුරුවාහැරිය නමුත්, එය ඔවුන් සැලසුම්කළ අයුරින්ම සිදු නොවූ බවයි. එම පිපිරීමට අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කළේනම්, එම පිපුරුම කෘත්‍රිමව සිදුකරන ලද්දක් බව පිපිරීම් සම්බන්ධ විශේෂඥ දැනුම ඇති අයකු පහසුවෙන්ම තේරුම්ගනු ඇතැයි තමා බිය වූ බව ද ඔහු කියා සිටියේ ය. එහෙත්, ඇ.එ.ජනපද ආණ්ඩුව ජනතාවගේ අවධානය එයින් ඉවත්කිරීමට සමත්වූ බව ද ඔහු කියා සිටියේ ය. ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇ.එ.ජනපදය එම නිලධාරියාට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ද ඉදිරිපත් නොවිණි.

ඉරාකයේ සදාම් හුසේන් පාලන සමයේ එරට රසායනික අවි ඇතැයි පවසමින් එරට ආක්‍රමණය කර, විනාශ කළේ ද ඇ.එ.ජනපදයි. ඉරාක ආක්‍රමණයට ඇ.එ.ජනපද යොදාගත් චෝදනවල සඳහන්කළ ආකාරයේ රසායනික අවි සොයා නොගත්ත ද, සදාම් හුසේන් සහ ඔහුගේ පුතුන් ඝාතනය කරන ලදී. සදාම් හුසේන්ව ඇ.එ.ජනපද වලට ගෙනගොස්, ඔවුන්ගේම උසාවියක් හදා, ඔවුන්ගේම නීතිඥයන් නඩු අසා මරණ දඬුවම් දෙන ලදී. සදාම් හුසේන්ගේ යට කලිසමේ ඇ.එ.ජනපද ධජය ගසා ඇදගෙන යන ඡායාරූප මුළු ලොවම දුටුව ද ඊනියා මානවහිමිකම් ක්‍රියාකාරීන් සදාම්ගේ මානව අයිතීන් සම්බන්ධයෙන් හීන් කෙඳිරිල්ලකුදු නොනගන ලදී.
පදනම් කරගත් ISIS ත්‍රස්ත සංවිධානය නිර්මාණය කරන ලද්දේ ද ඇ.එ.ජනපදයි.

යටත් වූ ගඩාෆි අමු අමුවේ මරා දමා, ඔහුගේ පාලනයේ තිබූ ලිබියාව විනාශ කර දැමුවේ ද ඇ.එ.ජනපදයි. එහිදී මුහුණු පොත ද යොදාගත් බව අදවන විට කවුරුත් දන්නා කරුණකි. ලංකාවේ මුහුණු පොතේ තාවකාලික අවහිරයෙන් තමන්ගේ කීර්තිනාමයට හානි වෙතැයි සකර්බර්ග්ලා සිතන බව මෙරට කවුරුන් හෝ සිතන්නේ නම්, ගඩාෆි අමු අමුවේ මරාදැමූ අවස්ථාවේ සකර්බර්ග්ලාට ගෙල වැලලාගැනීමට නොසිතුනේ මන්දැයි විමසිය යුතු ය. එහෙත්, CIA අරමුදල් ලබන මුහුණු පොත කරනුයේ කුමක්දැයි අපි දනිමු. වරක් ජුලියන් අසාන්ජ් ප්‍රකාශකර තිබුනේ මුහුණු පොත යනු ඇ.එ.ජනපදයේ ඔත්තු බලන උපකරණයක්(Spy Machine) බවත්, වර්තමානයේදී තම ඔත්තුකරුවන් වෙනත් රටවල්වලට නොයවා වුව ද මුහුණු පොත හරහා ඔත්තු බැලීමට ඇ.එ.ජනපවලට හැකි බවයි. ජුලියන් අසාන්ජ්ගේ එම ප්‍රකාශය අඩංගු වෙබ් පිටුව මුහුණු පොතේම පලකිරීමට මා උත්සාහකළ හැම වාරයකම, එය ඉබේම මුහුණු පොතින් ඉවත්විය. ඔවුන් ඒ සඳහා ඇල්ගොරිදමයක් නිර්මාණය කර තිබුණා විය යුතු ය.

ඇ.එ.ජනපද යනු යම් රටක් තමන්‍ට අවනත නොවනවිට දිගුකාලීන සහ කෙටිකාලීන විවිධ උපක්‍රම මඟින් එම රටවල් තම ග්‍රහණයට ගැනීමට කටයුතු කරන රටකි. ඉහත දැක්වූ ආකාරයට රටවල් තුල ත්‍රස්තවාදී සංවිධාන නිර්මාණය කර එම රටවල් විනාශ කිරීම ද ඒ අතරින් එක් උපක්‍රමයක් පමණි. එයට අමතරව ඔවුන් සිදුකරන තවත් ජඩ වැඩ, මැර වැඩ "ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය" වැනි කෘතිවල සඳහන් වෙයි…


මේ ව්න විට ඇ.එ.ජනපදවලට අයිති දූපතක් වන පුවර්ටෝ රිකෝවට සිදුකර ඇති දේ සහ වෙනුසුවේලාවට එරෙහිව ඇ.එ.ජනපද කුමක් කරන්නේද යන්න අධ්‍යයනය කරන්නෙකුට සජීවී තොරතුරු මඟින් ඇ.එ.ජනපද යනු කුමන ආකාරයේ රාජ්‍යයක්ද යන්න පිළිබඳ තම අවබෝධය වර්ධනය කරගැනීමට හැකිවනු ඇත…

එමෙන්ම, ජුලියන් අසාන්ජ් සහ එඩ්වර්ඩ් ස්නෝව්ඩන් වැනි ඇ.එ.ජනපද ජඩ වැඩ හෙළි කල පුදගලයන්ට සිදු වූ දේ අද වනවිට කවුරුත් දනිති.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කළ ඇ.එ.ජනපද ක්‍රියාකාරිත්වයේ යම් ආකාරයක වෙනස්කම් දක්නට ලැබෙයි. එහිදී ඔවුන් එක්සත් රාජධානියේ ප්‍රධාන උදව්කාර රටවලින් එකක් ලෙස ක්‍රියාකරයි. 

කොටි ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුකළ මෙහෙයුම්වලදී ඇ.එ.ජනපද කොටින්ට උපකාර කළ ආකාරය තේරුම්ගතහැකි නිදසුන් කිහිපයක්ම වෙයි. 


කොටි ත්‍රස්තයන්ගෙන් අල්ලාගනු ලැබූ අවි ආයුධ අතර ඇ.එ.ජනපද "සීල් බලකායට" අයත් ගිනි අවි කිහිපයක් සොයාගන්නා ලදී. ඒවා එම ආයුධවල අනුක්‍රමික අංක අනුව හඳුනාගන්නා ලදී. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඇ.එ.ජනපද සීල් බලකා ආයුධ එම රටේම වෙනත් බලකායකට පවා භාවිතා කිරීමට නොලැබෙනවිට ලංකාවේ කොටි ත්‍රස්‍තයන්ට එම ආයුධ කෙසේ ලැබුණේද යන කාරණයයි. මාගේ මතකය අනුව මේ පිළිබඳව වැඩි විස්තර දිවයින ඉරිදා සංග්‍රහයෙහි කීර්ති වර්ණකුලසූරියගේ ලිපියක එම දිනවල සඳහන්වී තිබිණි. නමුත් එයට ලැබිය යුතුව තිබූ ප්‍රමාණවත් ප්‍රසිද්ධයක් නොලැබීම කණගාටුවට කරුණකි.(මෙයට අමතරව එක්සත් රාජධානිය විසින් කොටින්ට දිය යට ගමන් කළ හැකි diving scooters සහ ඒ සම්බන්ධ පුහුණුවක් ද ලබා දී තිබූ බව හෙළි විය. එමෙන්ම, නෝර්වේ රටේ විශේෂ බලකායක් මඟින් කොටින්ට පුහුණුවීම් ලැබුණු බව ද හෙළි විය. මේ කිසිවකට ලැබිය යුතුව පැවති ප්‍රමාණවත් ප්‍රසිද්ධිය නොලැබීම කණගාටුවට කරුණකි. එකල කොටින්ගෙන් අල්ලාගත් අවි ආයුධ අතර විදේශීය රටවලින් ලැබුණු ඒවා බොහොමයක් තිබූ බව කියැවෙයි.) 

එමෙන්ම, කොටින්ගේ එක්තරා ප්‍රහාරයකදී අපගේ හමුදා 400ක් හෝ වැඩි ගණනක් මිය ගියහ. එය කොටින්ට එරෙහි අවසන් මෙහෙයුම්වලදී අප හමුදා සාමාජිකයින් එකවර වැඩිම ගණනක් මියගිය අවස්ථාවයි. එහිදී, කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල සකස්කර තිබුයේ වෙනස් ආකාරයකට වූ අතර, එය ඇ.එ.ජනපදවල පුහුණුව ලැබූ කොටි ත්‍රස්තවාදීන් සිදුකරන ලද බව ද කියැවිණි. පසුව, මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ මෙහෙයැවීමෙන් කොටින්ගේ එම ඉදිරි ආරක්ෂක වළල්ල විනාශ කිරීමට අප හමුදා සමත් විය.(කොටි විනාශ කිරීමෙන් අනතුරුව කමල් ගුණරත්න මහතාට ඇ.එ.ජනපදවල පුහුණුවකට ආරාධනා කර තිබූ අතර, ඔහු විසින් එය ප්‍රතික්ෂේපකරන ලදී...) 

තව ද, එක්තරා අවස්ථාවක අපගේ ගුවන් හමුදා ප්‍රහාරයකින් කඩා වැටුනු කොටින්ගේ ගුවන් යානාවක්(කුරුම්බැට්ටි යානා ලෙස එකල ප්‍රසිද්ධව තිබූ) කැලෑබද දෙමළ ගම්මානයකට කඩා වැටුනි. අප හමුදා එම ස්ථානයට ලඟාවනවිටත් එම යානාවේ තිබූ මළ සිරුරු කොටි ත්‍රස්තවාදීන් විසින් රැගෙන ගොස් තිබිණි. එම ගම්මානයේ ජනතාව ප්‍රකාශ කර තිබූයේ එහි විදේශිකයෙකුගේ මළ සිරුරක් ද තිබූ බවයි. පසුව, කියැවුනේ එය ඇ.එ.ජනපද කුලී හේවායෙකුගේ බවයි. ඇ.එ.ජනපද තමන්ට සෘජුවම මැදිහත් විය නොහැකි ස්ථානවලට තම රටේ කුලී හේවායන් යොදා අවශ්‍ය දේ සිදුකරවා ගැනීමට ක්‍රියාකරන ආකාරය ප්‍රසිද්ධ කරුණකි. මෑත කාලයේදී සිරියාවේදී එය බෙහෙවින්ම සිදු වෙයි…

පසුව, ප්‍රභාකරන් බේරාගෙන යාමට ඇ.එ.ජනපද විසින් ලංකාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදට නෞකාවක් ද එවන ලද බව කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වල අවසාන භාගයේදී කියැවිනි. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ DFCC දැනුම මිනුම තරඟයක ආරාධිතයෙක් ලෙස සහභාගි වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ රවින්ද්‍ර රණ්දෙනිය අතර සිදු වූ කෙටි කතා බහෙන් ද එය සනාථ විය...
2009 වසරේ මෙහෙයුම්වල අවසන් කාලයේ ඇ.එ.ජනපදය විසින් ඔත්තු බලන චන්ද්‍රිකා මගින් අපගේ හමුදා මෙහෙයුම් නිරීක්ෂණය කෙරිණි. ඒ අපට සහයෝගයක් ලෙස නොව, අපගේ හමුදාවන්ට එරෙහිව මානවහිමිකම් කඩකිරීම් චෝදනා නැගීමට අවශ්‍ය සාක්ෂි එකතුකරගැනීමට ය. එහෙත්, සටනේ අවසන් මොහොතේ සටන් බිමෙන් අහසට නැගුණු මහා කළු දුම් වළාව ඇ.එ.ජනපදවල එම උත්සාහය ද ව්‍යර්ථ කරවීය. 

ඇ.එ.ජනපදවල ඉහත සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීමට ද ඇ.එ.ජනපද මැදිහත් විය. ඒ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැහැදිලිව සටහන් කර තිබූයේ ලංකාවේ ධජයේ සිංහයා මත නැගගත් ඇමරිකානු ධජය අතින්ගත් පුද්ගලයෙකුගේ කාටූනයක් සහිත ලිපියකිනි. එය තවදුරටත් තහවුරු කරමින් පසුව බැරැක් ඔබාමා ඉන්දියාවේදී ප්‍රකාශ කරනු ලැබූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව ඇ.එ.ජනපදවලට ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වන බවයි. එමෙන්ම, එවකට ඇ.එ.ජනපද ආරක්ෂක ලේකම් ද ලංකාව ඇතුළු රටවල් ගණනාවක් සම්බන්යෙන් ඔවුන් වියදම්කළ අති විශාල මුදල් ප්‍රමාණයන් පිළිබඳ සඳහන් කළේ ය.

පසුව, එක්සත් රාජධානියේ අවශ්‍යතාවයට අනුව අප රටට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන ලද්දේ ද ඇ.එ.ජනපදයි. එය එක්සත්‍ රාජධානියේ අවශ්‍යතාවය අනුව සිදු වූ බව පැහැදිලිවම තහවුරු වූයේ මෑතකදී ඇ.එ.ජනපද මානවහිමිකම් කවුන්සිලයෙන් ඉවත්වූ විට එක්සත් රාජධානිය විසින්ම අප රටට එරෙහි යෝජනාව නැවත ගෙන ඒමෙනි. 

ලංකාව යනු සිංහලයන්ගේ රට යැයි වරක් ජෙනරල් සරත් ෆොන්සේකා විදේශයකදී ප්‍රකාශකර තිබිණි. පසුව, ඇ.එ.ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් සකස්කරමින්(මාගේ මතකය අනුව පිටු පන්සිය ගණනකින් සමන්විත) මහින්ද රාජපක්ෂ, ජෙනරල් සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව මානවහිමිකම් කඩකිරීමේ චෝදනා එල්ල කළේ ය. මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා ඇ.එ.ජනපදවල සති දෙකක පමණ සංචාරයක නිරත විය. එම සංචාරය නිමාකර පැමිණි විගස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී ජෙනරල් ෆොන්සේකා තම කුප්‍රකට "සුදුකොඩි කතාව" ප්‍රකාශ කරන ලදී. ඉන්පසු, ඇ.එ.ජනපද දෙපාර්තමේන්තුව ඉහත සඳහන්කළ ඔවුන්ගේ වාර්තාව සංශෝධනයකර නැවත නිකුත් කරන ලදී. එම වාර්තාවෙහි මානවහිමිකම් කඩකිරීමේ චෝදනා නගන ලද පුද්ගලයන් අතරින් ජෙනරල් සරත් ෆොන්සේකාගේ නම ඉවත්කර තිබිණි. පසුව ඔහු රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනාධිපතිවරණ පොදු අපේක්ශකයා බවට පත්විය. සති දෙකක ඇ.එ.ජනපද සංචාරයෙන් අනතුරුව ජෙනරල් සරත් ෆොන්සේකාගේ ස්ථාවරයන් උඩු යටිකුරු වීම අහම්බයක්ද ?

2015 ජනවාරි 8 ඇ.එ.ජනපද ද මැදිහත්වී මෙරට සිදු වූ ඊනියා වෙනසින් අනතුරුව මෙරට බුද්ධි අංශ ඇතුළු සමස්ථ ආරක්ෂක සංවිධානයම දුර්වල කිරීමට ඇ.එ.ජනපද ද විශාල මැදිහත් වීමක් සිදුකරන ලදී. පසුගියදා එ.ජා.පක්ෂ මහ ලේකම් අකිල විරාජ් ප්‍රකාශ කර තිබුනේ බුද්ධි අංශ නිලධාරීන් සිරගතකර ඇත්තේ ඔවුන් සිදුකර ඇති වැරදි සඳහා බවයි. එය එසේ නොවන බව ඔප්පු කළහොත් ඔහුත් සිටින මෙම පජාත ආණ්ඩුව හකුලාගෙන ගෙදර යන්නේනම්, කිසිදු චෝදනාවක් නොමැතිව, තමුන්ගේ මාසික වේතන පවා ලබා නොදී, වසර ගණන් සිරගතකර සිටි බුද්ධි අංශ නිලධාරීන් කවුරුන්දැයි නම් ගම් සහිතවම කිව හැකි ය. ඔවුන් සිරගතව සිටි වසර ගණනාවේම මෙම ආණ්ඩුව බලකර තිබුනේ ගෝඨාභය රාජපක්ෂව ඔවුන් සඳහන් කළ වරදකට පටලවන ලෙසත්, එසේ කළහොත් ඔවුන්ව නිදහස් කරන බවත් ය. නමුත්, එම නිර්භීත සහ අවංක නිලධාරීහු එයට එකඟ නොවී සිරබත් කෑම තෝරාගත්හ. මෙම අත්දැකීම් ලැබූ එක් පුද්ගලයෙකු මෙම ලිපිය අනිවාර්යයෙන්ම කියවනු ඇතිබව මාගේ විශ්වාසයයි. එසේ කියවනවිට එම නිලධාරීන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුව ඉවත් කරවීමට යහපාලන ආණ්ඩුව ක්‍රියාකළ තක්කඩි ආකාරය ද සිහිපත්වනු ඇත…

මේ අතර වත්මන් ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය ආරක්ෂක අමාත්‍යංශය පාලනය සිදුකරන සමයේ ඇ.එ.ජනපද යුධ නෞකාවක් ලංකාව ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදේ ස්ථානගත විය. එයට ඇතැම් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට මෙරට ගුවන් තොටුපල භාවිතා කරනු ලැබූයේ, එම භාණ්ඩ ලැයිස්තු මෙරට බලධාරීන්ට පවා ලබානොදෙමිනි. පසුව වත්මන් ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය නැවත පවරා ගැනීමෙන් අනතුරුව ද ඇ.එ.ජනපද ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් යානයක් කටුනායක ගුවන් තොටුපලට ගොඩ බැස්වී ය. නමුත් මෙවර එම යානයේ මගී ලැයිස්තුව බලධාරීහු ඉල්ලා සිටියහ. එහෙත් යානාවේ කාර්‍යමණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියේ ය. එබැවින්, අදාළ මගී ලැයිස්තුව ලබාදෙන තෙක් එම ගුවන් යානය ගුවන්තොටුපලෙහි පැය ගණනාවක්ම රඳවා ගැනීමට මෙරට බලධාරීහු ක්‍රියා කළහ. එවිට, මගී ලැයිස්තුවක් ලබාදීමට ඔවුන් ක්‍රියාකරන ලදී.

කෙසේ වුව ද මෙහිදී වඩාත්ම අවධාරණය කරගත යුතු කරුණ වන්නේ ඇමරිකානු යුධ නෞකාවක් ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතව තිබීම පිළිබඳවයි…


|| පාස්කු ඉරු දින ප්‍රහාරය >>
ඉන්දියාව විසින්ම ප්‍රකාශ කෙරී ඇති ආකාරයට ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධ බුද්ධි තොරතුරු ඇ.එ.ජනපද ඉන්දියාව සමඟ හුවමාරු කරගනු ලබයි. එමෙන්ම, ඇ.එ.ජනපද ප්‍රකාශ කරන ආකාරයට ISIS ත්‍රස්තයන්ගෙන් ඉහළම අවධානමක් එම රටට තිබෙයි. ඒ අතරම ඔවුන් ප්‍රකාශ කරනුයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් නොදන්නා බවයි. එය ලෝක විහිළුවක් වන්නේ ලෝකයේ වඩාත්ම පැතිරුනු බුද්ධි තොරතුරු ජාලය සතු ඇ.එ.ජනපද පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කිසිත් නොදැන සිටි බව ප්‍රකාශ කිරීම හේතුවෙනි

ඉන්දියාව ලංකා ආණ්ඩුවට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන්ගේ ලිපිනයන් ඇතුළු සියළු තොරතුරු ලබාදෙනවිට, තමන් සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගනු ලබන්නා වූ ඇ.එ.ජනපද දැනුම්වත් නොකරනු ඇතැයි සිතීමට කිසිදු සාධාරණ හේතුවක් තිබිය නොහැක. විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රාහරයට සම්බන්ධ මෙරට TJ සංවිධානය ISIS සංවිධානය සමඟ සම්බන්ධ කණඩායමක් වනවිට, ඉන්දියාව ඒ සම්බන්ව ඇ.එ.ජනපද දැනුම්වත් නොකරනු ඇතැයි සිතිය නොහැක. විශේෂයෙන්ම ප්‍රහාරය එල්ලවීමට නියමිතව තිබූ මේ රටේ ඇ.එ.ජනපද තානාපති කාර්‍යාලයක් තිබියදී සහ ඇ.එ.ජනපද යනු ISISහි ඉහලම ඉලක්කයක් යැයි නම්කර තිබියදී, ඔවුන්ට බුද්ධි තොරතුරු නොලැබිණි යැයි පැවසීම කිසිසේත්ම පිළිගත නොහැක. මේ අතර හර්ෂ ද සිල්වා ඇමතිවරයා ප්‍රකාශ කර තිබූයේ ඇ.එ.ජනපද ද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට පූර්ව දැනුම් දීමක් කර තිබූ බවයි. එය ප්‍රකාශයකට වඩා කටින් පැනීමක් යැයි සිතිය හැකි ය. ලංකාවේ ඇ.එ.ජනපද තානාපතිනිය පසු දිනම හර්ෂ ඇමතිවරයාගේ උක්ත ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබිණි. හොරාගෙ අම්මාගෙන් පේන අසන්නන් මෙරට නැතැයි තානාපතිනියට පැවසීමට මෙරට දේශපාලකයෙකු නොවීම කණගාටුවට කරුණකි. 

මේ අතර ප්‍රහාරය සිදු වූ දිනයේම නිව්‍ යෝර්ක් ටයිම්ස් පුවත්පත තමන්ගේ "මැක්කාගේ කතාව" ප්‍රකාශයට පත් කරමින් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ඔවුන්ගේ පළමු ලිපිය අවසන් කර තිබූයේ බෞද්ධයන්ට ද පහර ගසමිනි…

ඇ.එ.ජනපද ප්‍රකාශ කරන අයුරින් ISIS සහ එයට සම්බන්ධ අනෙකුත් සංවිධාන සිටිනුයේ ඇ.එ.ජනපද සමඟ නයි වෛරයෙනි. එහෙත්, මෙරට සිටින ISIS පුහුණුව ලැබූ TJ ත්‍රස්තවාදීන් ඇ.එ.ජනපද කාර්‍යාලය දෙසට ගල් කැටයකින් දමා ගැසීමක්වත් සිදු නොකිරීම පුදුම සහගත ය. එම පුදුමය තීව්‍ර වන්නේ TJ ත්‍රස්තයන් නිකරුණේ පවා සියදිවි නසාගන්නා ආකාරය දැකීමෙනි…

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ විගස සුවිශේෂ සිදුවීමක් සිදු විය. එනම්, ඉන්දියානු බුද්ධි අංශ ලංකා ආණ්ඩුවට ලබාදී තිබූ බුද්ධි වාර්තාව මඟින් සකස් කරනු ලැබූ සිංහල ලිපියක් මාධ්‍යට නිකුත් වීමයි. එම ලිපිය නිකුත් කළ පුද්ගලයාට මෙරට ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සැබෑ කැක්කුමක් තිබූයේනම් එම ලිපිය මාධ්‍යයට නිකුත් කිරීමට තිබූයේ ප්‍රහාරයට පෙරයි. නමුත්, ප්‍රහාරය සිදු වූ විගස මුස්ලිම් සංවිධානයක් සම්බන්ධව සඳහන්කරමින් සකස්කර තිබූ එම ලිපිය ප්‍රසිද්ධියට පත් කිරීමේ අරමුණ කුමක්ද ? 

එහි අරමුණ කුමක් වුව ද, එමඟින් මුස්ලිම් ජනයාට එරෙහිව සෙසු ජනයාගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් තිබූයේ එම අවස්ථාවේ ජනතාව තුළ වූ මානසික පෙළඹවීම හේතුවෙනි. එසේ වුවත්, එවැන්නක් සිදු නොවුනි. පසුගිය අවස්ථාවක දිගන ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ ගැටුම් වලින් ජනතාව පාඩම් ඉගෙනගෙන තිබීම ද මෙවර ගැටුමක් ඇති නොවීමට බලපෑ එක් හේතුවක් වන්නට ඇත. එමෙන්ම, මුහුණු පොත් අවහිරය ද ක්ෂණික ජනතා පෙළඹවීමක් වැළැක්වීමට හේතුවන්නට ඇත. උක්ත ලිපිය මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයා ප්‍රහාරයට පෙර හෝ ප්‍රහාරය සිදු වී, එහි උණුසුම මදක් පහව යන තෙක් සිට ලිපිය මාධ්‍යට නිකුත් කිරීමක් නොකොට, ජනතාව කුපිතවී සිටීමට වඩාත්ම ඉඩ ඇති මොහොතක මාධ්‍යයට නිකුත් කිරීම දෙස බැලිය යුත්තේ එවන් පසුබිමක ය. 


මේ අතර කඩු, කිනිසි සහ හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් පල්ලි ඇතුළු ස්ථානවල තිබී සොයා ගැණින. තව ද, බේරුවල බුහාරි ඉස්ලාම් පල්ලියට පහරදීමට සූදානම්ව සිටි, සිංහල නමකින් පෙනී සිටි මුස්ලිම් පුද්ගලයෙකු ද ඇතුළු දෙදෙනෙක් කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි. එයට අමතරව, සිංහල කාන්තාවන් අඳින ඇඳුම් කල්මුණේදී සියදිවි නසාගත් ත්‍රස්තයන් සිටි නිවසේ තිබී සොයාගන්නා ලදී. මේ සියල්ල අත්අඩංගුවට පත් නොවූයේනම් සහ පාස්කු ඉරුදින ප්‍රහාරය දිනයේ මේ රටේ ජනතාව කුපිත වී මුස්ලිම් ජනයාට පහරදුන්නේනම් කුමක් සිදුවිය හැකිව තිබූයේද ? එසේනම්, සිංහලයන් වෙසින් සිටිමින් ත්‍රස්තයන්ම මුස්ලිම් ජනතාවට පහර දීමටත්, එයට ප්‍රතිචාර ලෙස සිංහලයන් නැවත මුස්ලිම් ජනයාට පහර දීමටත් ඉඩ තිබිණි. ඒ අතර, හමුදා ඇඳුම් හැඳගත් ත්‍රස්තයන් ද මුස්ලිම් ජනයාට පහර දීමට ඉඩ තිබිණි. එමඟින් බොරදියේ මාළු බෑමට ඇ.එ.ජනපද ඇතුළු ඊනියා ජාත්‍යන්තරයට ද අවස්ථාව හිමිවීමට ඉඩ තිබිණි. ලංකා හමුදා මුස්ලිම් ජනයාට පහර දෙන බැවින්, ඔවුන් ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමින් ඇ.එ.ජනපද ඇතුළු ඊනියා ජාත්‍යන්තරයට මෙරටට පය තැබීමට පොටක් ‍එමඟින් පාදා ගැනීමට ඉඩ තිබිණි. නමුත් ඒ සියල්ලම ප්‍රහාරයෙන් අනතුරුව සන්සුන්ව සිටි මේ රටේ ජනතාව සහ දක්ෂ අයුරින් කටයුතු කළ ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර දමනු ලැබුවා වීමට බොහෝ විට ඉඩ තිබෙයි…

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව, ඇ.එ.ජනපද FBI ( සහ එකසත් රාජධානියේ, ඊශ්‍රායලයේ, ජාත්‍යන්තර පොලිසියේ) බුද්ධි අංශ නිලධාරීහු මෙරටර පැමිණියහ. ඒ සම්බන්ධයෙන් මෙරට ඇතැම් දේශපාලකයන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල විය. ඒ බව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුවේදී පවා ප්‍රකාශ කෙරිණි. ඉන් පසු ඇ.එ.ජනපද තානාපති කාර්‍යලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ගේ නිලධාරීන් ලංකා ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුව පැමිණ, මෙරට ආරක්ෂක අංශවල සම්බධීකරණයෙන්, මෙරට ආරක්ෂක අංශවල පරීක්ෂණ වලට තාක්ෂණික සහයෝගය ලබාදීම පමණක් සිදුකරන බවයි. නමුත්, එය අසත්‍යයක් බව පැහැදිලිවන සිදුවීමක් පසුගියදා සිදු විය. එනම්, කමාන්ඩෝ බලකායේ K-9 ඒකකයේ සුනඛයෙකු විසින් හෝටල් කාමරයක තිබී පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කරන උපකරණයක් සොයාගැනීමයි. පසුව හෝටල් කළමණාකාරීත්වය මඟින් සොයාබැලීමේදී දැනගැනීමට හැකිවී ඇත්තේ එය ඇ.එ.ජනපද නිලධාරියෙකුට අයත් එකක් බවයි. එහෙත් ඔහුව ඇමතීමට ගනු ලැබූ සියළු උත්සාහයන් නිශ්ඵලවී තිබිණි. එහෙත්, ඉන්පසු ඇ.එ.ජනපද තානාපති කාර්‍යාලය හරහා විමසූවිට අදාළ නිලධාරියා වහාම පැමිණ තිබිණි. මෙහිදී පැනනගින ප්‍රධානතම ගැටළු වන්නේ, ඇ.එ.ජනපද බුද්ධි නිලධාරීන් මෙරට කටයුතු කරනුයේ අපගේ ආරක්ෂක අංශවල සම්බන්ධීකරණය ඇතුවනම්, මෙම නිලධාරියා පිළිබඳව හෝ ඔහුගේ උපකරණය සම්බන්ධව කිසිදු තොරතුරක් අපගේ ආරක්ෂක අංශ නොදැන සිටියේ කෙසේද යන්නයි…

මේ අතර, 2014දී මියගියේ යැයි විශ්වාස කෙරුණු ISIS නායක අබු බකර් නැවත මතු වී වීඩියෝවක් ද නිකුත් කර ඇත. එහිදී ඔහු ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකාවේදී එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය ඔවුන්ගේ පරාජයන් සඳහා කළ පළිගැනීමක් බවයි. නමුත්, මෙහිදී මතුවන ගැටළුව වන්නේ ISIS පරාජයට පළිගන්නේනම් ISIS සංවිධානයට පරාජය අත්කළ ඇ.එ.ජන්පදයේ මෙරට තානාපති කාර්‍යාලය වැනි ස්ථානයකට ප්‍රහාර එල්ලකිරීමට ඔවුන් කිසිදු උත්සාහයක් නොගත්තේ ඇයිද යන්නයි…

ISIS , Al-Qaeda, Taliban හෝ මෙරට TJ සංවිධාන යනු ඇ.එ.ජනපදවල සංවිධාන බවක් මෙම ලිපියෙන් නොකියැවෙන බව මෙහිදී අවධාරණය කළ යුතු ය. නමුත්, ඇ.එ.ජනපද බුද්ධි මෙහෙයුම් මඟින් ඇ.එ.ජනපදවලට විරුද්ධ රටවල් සහ ඒවායේ ජනතාව/නායකයන් ඉහත සඳහන් සංවිධාන ඇතුළු ත්‍රස්ත සංවිධානවල ඉලක්ක බවට පත් කෙරෙයි. ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි ඝාතන ප්‍රයත්නය එවැන්නක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙයි. සිරියාවේ අද සිදුවන සිදුවීම් දෙස බැලුව ද එය තහවුරු වෙයි…

ඇතමුන් සිතනුයේ එ.රාජධානිය, ඇ.එ.ජනපද ආදී බටහිර අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අප වැනි රටවල් ආක්‍රමණය කරනුයේ අපගේ භෞතික සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා ය යනුවෙනි. එසේ සිතනවාට එම අධිරාජ්‍යවාදී රටවල් ද එක පයින්ම කැමතිවන්නේ, එමඟින් ඔවුන්ගේ සංස්කෘතික ආක්‍රමණය වසා ගැනීමට හැකි බැවිනි. මෙයින් අදහස් කෙරෙනුයේ එම අධිරාජ්‍යවාදී රටවල් විසින් අනෙකුත් රටවල් ආක්‍රමණය කිරීමට භෞතික සම්පත් කිසිසේත්ම සාධකයක් කරනොගන්නා බව නොවෙයි. නමුත්, ලංකාව ඇතුළු සියළුම ථේරවාද රටවල මොවුන් ගැටුම් ඇතිකර ඇත්තේ මූලික වශයෙන්ම සංස්කෘතික ආක්‍රමණ ලෙස ය. බෝර්න් අගේන් කල්ලිය යනු එම සංස්කෘතික ආක්‍රමණයේ මතුපිටින් පෙනෙන, සාපේක්ෂව සුළු ක්‍රියාත්මක වීමක් පමණි. ලෝකයේ අනෙකුත් සියළුම රටවල ආරක්ෂක වියදමට වැඩි වියදමක් ඇ.එ.ජනපද තනි රටක් ලෙස දරයි. අනෙකුත් සියළුම රටවල ඇති, ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන යුධ නෞකා සංඛ්‍යාවට වඩා වැඩි, එම වර්ගයේ යුධ නෞකා සංඛ්‍යාවක් ඇ.එ.ජනපද තනි රටක් ලෙස සතුකරගෙන ඇත. එබැවින්, යුධ කටයුතු සඳහා අප වැනි රටවල වරායවල් අල්ලා ගැනීම ඇ.එ.ජනපද වැනි රටවල ප්‍රමුඛතම අවශ්‍යතාවය නොවෙයි. නමුත්, අප එසේ සිතාගෙන, එවැනි දේ කියවමින් සිටීම පිළිබඳ ඔවුන්ගේ කැමත්තක් වෙයි. එයට හේතුව, එවිට ඔවුන්ගේ සැබෑ ක්‍රියාකාරීත්වය සැඟවෙන බැවිනි...
ඉහත සඳහන් ආකාරයේ රටක් බබාලන්තයක් බවට පෙන්වාදීමට ඇතැම් දේශපාලුවන් සහ වෙනත් ඊනියා උගතුන් ක්‍රියා කරනුයේ නොදැනුවත්කම නිසාද, එසේත් නැත්නම් තක්කඩිකම නිසාද යන්න සිතා බලා කටයුතු කිරීමට කවුරුත් උත්සාහ කළ යුතු ය...