Main Logo

Tuesday 7 May 2019

නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය

නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය


මගේ ලෝකය පළ වූ කාලයේ මට පශ්චාත්නූතනවාදී අදහස් ඇති බව හා ඒ් බෞද්ධ විරෝධී යැයි සිතූ නිසයි ඇතැමුන්ට ඒ දවස්වල මා සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය වූයේ. එහෙත් මට ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ අයට පසුව තේරුම් ගියා මා බෞද්ධ විරෝධියකු නොවන බව. ඉන්පසු ඔවුන් ඉවත් වූවා. ඉවත් වූවා පමණක් නො වෙයි මට වෛර කරන්න ද පටන් ගත්තා. ඒ බව ඔවුන්ගේ ලිපි ලේඛනවලින් පැහැදිලි වෙනවා. ඔවුන් අද මා සලකන්නේ තම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයට විරුද්ධ ව සිටින ප්‍රධාන ම තැනැත්තා ලෙසයි. ජාතික චින්තනය යන අදහස මුලින් ම සිංහලෙන් කී ගුණදාස අමරසේකරට ඔවුන්ගේ විරුද්ධත්වයක් දකින්න නැහැ. ජාතික චින්තනය සමග මගේ නම කියැවුණු බව පිළිගන්නවා.


පඬියන්ට පඬිපෝතකයන්ට හා පඬි නැට්ටන්ට මා පශ්චාත්නූතනවාදියකු ලෙස පෙනී යෑම ගැන මා පුදුමයට පත් වන්නේ නැහැ. එයට හේතුව ඊනියා පශ්චාත්නූතනවාදීන්ට (පඬියන්ට නොවෙයි) තිබූ බෞද්ධ හා චීන බලපෑම. දහනවවැනි සියවසේ ඇතැම් යුරෝපීය (ඊනියා මහාද්වීපික) දාර්ශනිකයන්ට බෞද්ධ හා චීන අදහස් බලපා තිබෙනවා. විසිවැනි සියවසේ පශ්චාත්නූතනවාදීන්ට ඒ අදහස් මෙන්  ම බෝර්ගේ කෝපන්හේගන් ක්වොන්ටම් අර්ථනිරූපණය ද බලපා ඇති බව පේනවා. මා කිහිප විටක් ම කියා ඇති බෝර්ට චීන යින් යැන් දර්ශනය බලපා ඇති බව. ඒ බව කියා ඇත්තේ ඔහු ම වීම වැදගත්. කෝපන්හේගන් නගරය හා සම්බන්ධ දාර්ශනිකයකු වූයේ කර්ක්ගාඩ්. හයිඩැගර්ට කරක්ගාඩ්ගේ බලපෑමක් තිබුණා. 

දහනවවැනි සියවසේ සිටි වැදගත් දාර්ශනිකයකු වූයේ අර්නස්ට් මාක්. ඔහුට බෞද්ධ බලපෑමක් තිබුණා. ඔහු ගාල්ලේ හාමුදුරුනමක් සමග ලිපි හුවමාරු කරගෙන තිබෙන බව කියනවා. ඔහු වියනා කවයේ පුරෝගාමියෙක්. වියනා කවයෙන් බටහිර දර්ශනයට වූ බලපෑම විශාලයි. අයින්ස්ටයින්ට ද මේ අදහස් බලපෑවා. කාල් පොපර්ගේ නමත් වියනා කවය සම්බන්ධයෙන් කියැවෙනවා. 

මා දාර්ශනිකයකු නම් නො වෙයි. මා විද්‍යාඥයකුවත් නො වෙයි. මට ඒ දෙක ම බැහැ. මට වඩා මේ දේ ගැන දන්නා අය සිය ගණනක් ලංකාවේ ඇති. මට වඩා බුදුදහම දන්නා අය නම් ඇත්තේ දහස් ගණනින්. එහෙත් මට තේරෙනවා දර්ශනයක් නොවූ බුදුදහම බටහිර දර්ශනයට බලපා ඇති ආකාරය. සුපුරුදු පරිදි බටහිරයන් චීන හා බෞද්ධ දැනුම තමන්ගේ සභ්‍යත්වයට අවශෝෂණය කරගෙන ඇත්තේ ඔවුන්ට ම ආවේණික ආකාරයකට. 

පශ්චාත්නූතනවාදීන් තමන්ට කෝපන්හේගන් අර්ථනිරුපණය බලපා ඇති ආකාරය කියා නැතිව ඇති. (නැතිව ඇති යන්නෙහි ද්විකෝටික පරස්පරය යන එන ගමන් රියකට යට නොවී ටිකක් මෙනෙහි කරන්න.) එහෙත් යථාර්ථය ප්‍රශ්න කරන්න භෞතික විද්‍යාඥයන් පෙළඹුණා. ලෝකයේ අදහස් පැතිර යෑමේ දී බලපාන්නේ පොතපත මාධ්‍ය කටකතා ආදිය පමණක් නොවේ ය යනු මගේ අදහසයි. පළමු ස්ඵටිකය ඇති වූවාට පසු ස්ඵටික ඇති වීම පැතිරෙන ආකාරය පිළිබඳ රූපට් ෂෙල්ඩ්රේක් නම් විද්‍යාඥයෙක්  අදහසක් ඉදිරිපත කර තිබෙනවා. මේ පිළිබඳ ව මා ලියා තිබෙනවා. මා හිතන්නේ අදහස් පැතිර යෑම ගැන ද එවැනි අදහසක් නිර්මාණය කරන්න පුළුවන්. ක්වොන්ටම් භෞතිකයෙන්   පසු යථාර්ථය, ඇත්ත, පැවැත්ම ආදිය පමණක් නොව සම්භාවිතාව ද දාර්ශනිකයන් අතර ප්‍රශ්න කෙරුණා.

පශ්චාත්නූතනවාදය අද බෙහෙතකටවත් හොයා ගන්න බැහැ. ඒ අදහස් බටහිර මූලික ප්‍රවාද සමග බටහිර සභ්‍යත්වය සමග එකඟ වුණේ නැහැ. තවමත් ඇත්තේ නූතනත්වයම තමයි. මා ඒ දිනවලත් ඊනියා පශ්වාත්නූතනත්වයක් නැති බව කිව්වා. මෙරට පශ්චාත්නූතනවාදයක් පසුපස ගියේ පඬියන් පමණක් නො වෙයි. ව්‍යාජ ජාතිකවාදීන් ද ගියා. මා නම් ගම් කියන්න යන්නේ නැහැ. මා මේ සියල්ල කිව්වේ පසුගිය දා හිටපු පශ්චාත්නූතනවාදියෙක් නූතනත්වය විචාරාත්මක ව බැලීමටත් එය සාධනීය කිරීමට තමන්ට ද දායක වීමට හැකි බවත් කියා ඇති බැවින්. මා දන්නා එක දෙයක් නම් මෙරට පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට කිසිම දෙයක් අලුතෙන් නිර්මාණය කිරීමට බැරි බව. ඔවුන් ඩ්‍රීම් ස්ටාර් තරග කරුවන් මෙන් කියන්නේ අනුන්ගේ ගීත බයිලා. 

නූතනත්වයට විරුද්ධව යන අය මුස්ලිම් අන්තවාදීන් මෙන් ම ආස්ථානයකට යනු ඇතැයි පඬියන් කියනවා. මේ පඬියන්ට අනුව බුදුදහම වැරදියි. තවත් පාණදුරාවාදයක් ඕන වෙලා ද?  කොහොමටත් අපේ විරුද්ධත්වය නූතනත්ව ආධිපත්‍යයටයි. මෙරට ඇති සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන කියන්නන්ට ලෝකයේ ඇති බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය නොතේරෙන්නේ තමන් ලබන්නේ ද බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් නිසා. අනිදස්සන, විදස්සන ගැන කතාකරන බුදුදහම බෞද්ධ දර්ශනයක් කරන්නේ ද ඔවුන්මයි. නැහැ පඬියන් නොවෙයි. ඔවුන්ට එවැනි හපන්කමක් කරන්න බැහැ. එහි ඔවුන් කීවේ පඬියන්ගේ බටහිර ස්වාමීන්ට. පඬියන්ට කරන්න පුළුවන් බටහිර බයිලා කියන්න පමණයි. ඉස්සර බල්ලකුගේ රුව රැගත් හිස් මාස්ටර්ස් වොයිස් දකින්න තිබුණා. 

අද මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි ආණ්ඩුවක්. ඒ රනිල්ගේ ආණ්ඩුව. මට මතක නැති වුණා. සසෙක්ස් බබා ඉපදිලා. මාත් ඉගෙන ගත්තෙ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ. මට විද්‍යාඥයෙක් වෙන්න බැරි බව මා එහි දී තේරුම් ගත්තා. මට ඒ ගැන දුකක් කණගාටුවක් නැහැ. මට බැරි බව තේරුම් ගැනීම පඬියන් තමන්ට පුළුවන් කියල හිතනවාට වඩා හොඳයි. මා සසෙක්ස් විශ්වවිද්‍යාලයෙදි   තේරුම් ගත්තා ලංකාවේ බටහිර විද්‍යාඥයන් දාර්ශනිකයන් මානව ශාස්ත්‍රඥයන් කවුරුන්වත් නැහැ කියා. ඔවුන් කිසිවකුටවත් බටහිරයන් හිතන විධියට හිතන්න බැහැ. මෙරට සංස්කෘතියේ හැදුණු වැඩුණු කිසිවකුටවත් බටහිරයන් හිතන විධියට හිතන්න බැහැ. ඔවුන්ට පුළුවන් බටහිරයන්ගෙ බයිල කියන්න පමණයි. ඔවුන්ට මොන නිර්මාණ ද? අපි අපේ විධියට හිතල අපේ නිර්මාණ කරමු. සසෙක්ස්හි ආදිපාදට හා ආදිපාද බිරියට පුතෙක් ඉපදිලා. රනිල්ට හා ආණ්ඩුවට මොන තරම් සතුටක් ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධවීම යනු රනිල්ගෙ ආණ්ඩුවටත් විරුද්ධ වීම. නැහැ සසෙක්ස් බබාට විරුද්ධ නැහැ. 

පාස්කුු ඉරිදා ප්‍රහාරය ගැන බටහිරයන් දැන සිටියා ද? අද මුස්ලිම් අන්තවාදය මෙහෙයවෙන්නෙ බටහිරින් ද? හිරු ප්‍රවෘත්ති සේවයෙන් හා නෙත් පුවත් සේවයෙන් ප්‍රචාරය කෙරුණු කතාවකට අනුව සෞදි අරාබිය මේ ප්‍රහාරය ගැන දැන සිටියේ ද? හිරු පුවත් සේවයේ ලිපිය මෙතැනින් කියවන්න.




සෞදි අරාබි විදේශ ඇමති ලංකාවේ තම තානාපතිට මේ උපදෙස් දුන්නේ ඇයි. සෞදි අරාබිය බටහිරට පක්‍ෂපාත බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. රනිල්ගේ ආණ්ඩුව මේ ගැන සොයා බලයි ද? මේ ප්‍රවෘත්ති අනුව අප තව තවත් සොයා බැලිය යුතු නො වේ ද? පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල බෞද්ධයන්ට දොස් කීමට බලා සිට ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවන් මෙන් පසුවන පඬියන් මෙන් නොව මෙරට ජාතිකවාදීන්ට සිදු වූයේ කුමක් ද යන්න ගැන පැහැදිලි හැඟීමක් තියෙනවා.

නෙත් පුවත් සේවයෙන් මේ ලිපි දෙක.