Main Logo

Thursday 30 May 2019

සිංහල බෞද්ධ රාජ්‍යයකට විරුද්ධ ජාතිවාදියෝ

සිංහල බෞද්ධ රාජ්‍යයකට විරුද්ධ ජාතිවාදියෝ

ජාතිවාදය යන්න සිංහලයන් අතර තිබූ සංකල්පයක් නො වෙයි. එය සුද්දන්ගේ රේසිසම් (racism)  කියන වචනයට සිංහලෙන් දෙන ලද පරිවර්තනය. රේස් යන්නට ජාතිය කියන එකත් පස්සෙ හදාගත්ත දෙයක්. නේෂන් කියන එකටත් අද ජාතිය කියල කියනවා. රේසිසම් කියන එකට විවිධ අර්ථකථන තියෙනවා. අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. ඕන නම්  බටහිර දේශපාලන විද්‍යා පඩංගුත් කියවන්න.  සිංහලයන්ට ජාතිවාදය කියන සංකල්පය නොතිබීම මගින් කියන්නේ සිංහලයන් ජාතිවාදී නොවන බවයි. ඇතැම් පඬියන් රේස් කියන එකට වර්ගය කියා කියනවා. ඒ අනුව ඔවුන් වර්ගවාදය කියා වචනයකුත් හදා ගෙන. 


ප්‍රවර්ගය කියා වචනයකුත් තියෙනවා. එය ගණිතයේ යෙදෙන්නේ කැටිගරි (category) යන්නට. කැටිගරි යන්න කුලකය එහෙම නැත්නම් සෙට් කියන සංකල්පය විසංවාදවලින් සමන්විත නිසා එය ඉක්මවා තනා ගත් සංකල්පයක්. එහෙත් ඊනියා ප්‍රංශ දාර්ශනිකයන් කුලක මත රැඳෙමින් යුරෝවක් නොවටිනා සංකල්ප ගොඩ නගනවා. කුලක නොදන්නා අය ප්‍රවර්ග ගැන කතා නොකරණ එක හොඳයි. මා පොඩි ප්‍රශ්නයක් අහනවා. මේක මා අහන ප්‍රශ්නයක් නො වෙයි. එක් ගමක කරණැවෑමියෙක් ඉන්නවා. ඔහු ඒ ගමේ තමන් ම රැවුල කපා නොගන්නා අයගේ රැවුල් කපනවා. ප්‍රශ්නය කරණැවෑමියාගේ රැවුල කපන් කවු ද යන්නයි. පිළිතුර කරණැවෑමියාගේ භාර්යාව නො වෙයි. මෙය ඊනියා රසල් විරුද්ධාභාසය (paradox) සමගත් බැඳී තියෙනවා. මෙහි මූලික ප්‍රශ්නය ගලා එන්නේ යම් අවයවයක් එක්කෝ කුලකයක සමාජිකයකු විය යුතුයි, නැත්නම් නොවිය යුතුයි නිසා. මේ රේඛීය චින්තනයේ හා ද්විකෝටික න්‍යායේ ප්‍රශ්න. චතුස්කෝටිකය ප්‍රවර්ගවාදයේ යෙදෙනවා.   

ජාතිය කියන වචනය උපත ඇතිවීම වර්ගය ආදී දහසකුත් එකක් සමග සිංහලයේ සම්බන්ධයි. සපත්තු ජාතිය කියලත් කියනවා. පඬියන්ට සංදර්භය අවශ්‍ය නැහැ. ඇත්තට ම අප පඬියන් කියන දේ ගැන කතා කිරීමේ අවශ්‍යතාවකුත් නැහැ. ඔවුන් අද අභාවයට යන පිරිසක්. ඔවුන්ට තර්ක නැහැ. ඇත්තේ තුට්ටු දෙකේ විහිළු පමණයි. 

අද මෙරට ජාතිවාදීන්, අවශ්‍ය නම් වර්ගවාදීන්, ඉන්නේ සිංහල බෞද්ධයන්ට  විරුද්ධ ව. ජාතිවාදය යනු යම් ජාතියකට, ජනවර්ගයකට, ජන කොටසකට හිමි විය යුතු තැන අහිමි කිරීමයි. අප රට එකල සිංහල බෞද්ධ රාජ්‍යයක්. අද එසේ නැහැ. අද ලංකාව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට අධ්‍යාපනය, නීතිය, ආණ්ඩු ක්‍රමය, ව්‍යවස්ථාව, අධිකරණය, හිරගෙවල්, සෞඛ්‍යය, රෝහල්, ජනමාධ්‍ය ආදී සියල්ල ඇංග්ලිකන් ක්‍රිස්තියානි. නැත්නම් සමහර තැන්වල මුස්ලිම්. මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනයක් දුන් පිරිවෙන් කසිකබල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි විශ්වවිද්‍යාල බවට පත් කෙරුණා.

එහෙත් මංගල සමරවීර මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බව කීවේ ඒ අර්ථයෙන් නො වෙයි. සංකල්පීය ව හිතන්න ඔහුට බැහැ. ඛෙමාගේ කොලුවා සුදුසු මෙරට අංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයේ ඇමති කමකට පමණයි. අපට අවශ්‍ය මෙරට නැවත සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. එය එක් රැයකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. වසර පන්සියයක පමණ වැරදි නිවැරදි කරන්න සෑහෙන කාලයක් ගත වේවි. එහෙත් අප එය ආරම්භ කළ යුතුයි. 

මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුත්තේ මෙරට සංස්කෘතිය ගොඩ නගනු ලැබුවේ සිංහල බෞද්ධයන් නිසා. මෙරට ඉතිහාසය සිංහල බෞද්ධ නිසා. පසුගිය කාලයේ ජේ ආර් ජයවර්ධනගේ විකෘති සංස්කෘතික වෙනස් කිරීම්වලින් පසුව ද තවමත් සංස්කෘතියේ සිංහල බෞද්ධ අංග තියෙන නිසා. අප සියළු දෙනා ම සිතන්නේ සිංහල බෞද්ධ චින්තනයක් පදනම් කර ගනිමින් නිසා. මෙරටින් එක ම විිද්‍යාඥයකුවත් ඊනියා මානව විිද්‍යාඥයකුවත් බිහි වී නැත්තේ මොන කයිවාරු ගැහුවත් ඊනියා විද්වතුන්ට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව හිතන්න බැරි නිසා, ඒ බොහෝ දෙනාට කොහොමටවත් හිතන්න බැරි නිසා. ඔවුන් ඩ්‍රීම් ස්ටාර්ලා නැතිනම් පිටපත් අලවන්නන් (copy paste) නිසා.

මිසරයේ පාරාවෝ සංස්කෘතිය ගොඩ නැගූවන් අද එරට නැහැ. අද එහි ඇත්තේ ඊජිප්තු මුස්ලිම් සංස්කෘතියක්. මායා ශිෂ්ඨාචාරය ගොඩ නැගුවන් අද මෙක්සිකෝව් හෝ දකුණු ඇමරිකාවේ හෝ නැහැ.  අපිකානු සංස්කෘතීන් වෙනස්  කෙරිලා. නැත්නම් වෙනස් කෙරෙමින් පැවතෙනවා. අදත් ලෝකයේ පැරණි ම සංස්කෘතීන් ලෙස පැවතෙන්නේ සිංහල හා චීන සංස්කෘතීන්. ඒ අතර යුදෙව් චින්තනය පවතිනවා. 

අප අංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට යට වෙනවා ද? සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂ තැන ඊනියා බහු සංස්කෘතික බිය වැද්දීම් හරහා නොදීමට ජාතිවාදීන්ට ඉඩ දෙනවා ද? සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නොදීමට කටයුතු කරන හැම එකකු ම ජාතිවාදියකු වෙනවා. මෙරට සිංහල දේශපාලනඥයන් නිවටයන් පිරිසක්. ඔවුන් අද මුදලට ඡන්දවලට යටවෙලා. ඔවුන් එකකුවත් මෙරට සිංහල බෞද්ධ රටක් ය යන කරුණ අතට ගන්න බවක් පේන්න නැහැ. 

ඔවුන් අඩු තරෙමන් මෝදිගෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන. මෝදි බෞද්ධ විරෝධියෙක්. එහෙත් ඔහු ජාතිකවාදියෙක්. අප අනෙක් සංස්කෘතීන්ට විරුද්ධ විය යුතු නැහැ.  මෙරට දේශපාලනඥයන් කිසිම සංස්කෘතියකට විරුද්ධ විය යුතු නැහැ. ඒ අප සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඉගෙන ගත් දෙයක්. පෘතුගීසි කතෝලිකයන් මුස්ලිමුන්ට හිරිහැර කරන විට ඔවුන් නැගෙනහිර පළාතේ පදිංචි කෙරුවේ සිංහල රජවරුන්. ලන්දේසි රෙපරමාදුන් කතෝලිකයන්ට හිරිහැර කරන විට කතෝලිකයන් වහකෝට්ටේ වැනි ප්‍රදේශවල පදිංචි කෙරුවෙ සිංහල බෞද්ධ රජවරු. ජුසේ ද වාස් පියතුමාට ආගම ප්‍රචාරය කිරීමට සිංහල බෞද්ධ රජවරු පහසුකම් සැපයුවා. ඊනියා සිවල් සාමාජිකයන් මානව හිමිකම් අයිතිකරුවන්ට බය වෙලා සිංහල බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයන් මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීම අතට ගන්නේ නැත්නම් වෙන අතක් බලන්න සිද්ධ වේවි.