තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ
මා පසුගිය කාලයේ දිනපතා ම මෙන් කාලයට ලිව්වා. එයට එක් හේතුවක් වූයේ ජනමාධ්‍ය මගේ ලිපි පළ නොකිරීමයි. එමෙන් ම විද්‍යුත් මාධ්‍ය ද මා නොසලකා හැරීමයි. ඊනියා ජාතිකවාදී යැයි කියා ගන්නා ජනමාධ්‍යට ද මා නොවැදගත් අනම් මනම් කියවන්නකු පමණක් වුණා. මේ සති දෙකේ නම් මට දිනපතා ලියන්න ලැබෙන එකක් නැහැ. ඒ මා තැනින් තැන යන සංචාරක ජීවිතයක් ගත කරන නිසා.
එසේ වන නමුත් මා දිනපතා මෙන් ලියන එක චම්පකවාදීන්ට හා හිටපු චම්පකවාදීන්ට ප්‍රශ්නයක් වෙලා. මොවුන් විවිධ තැන්වල ලැගුම් ගත් අය. ඇතැමුන් පශ්චාත්නූතනවාදී අදහසුත් තම අදහස් බවට පත් කර ගත්තා. ඒ අදහස්වල අසාර්ථකබවත් ඒවාට රටේ කිසිම තැනක් නැති වීමත් හේතුකොටගෙන ඔවුන්ට පමණක් නොව ඒ අදහස් පසුපස ගිය සුවාදීනයන්ටත් අද ඒ අදහස් අත් හරින්න වෙලා. ඔවුන් අද ඒ සාහිත්‍යයෙන් ලබා ගත් කියැවීම, අනෙකා වැනි සතපහකට වැඩක් නැති වචන නම් කියවනවා.
මට ශාස්ත්‍ර පීඨයකින් හරි සමාජ විද්‍යා පීඨයකින් හරි සහතිකයක්වත් නොතිබීම ඇතැමුන්ට ප්‍රශ්නයක්. මා නැවත නැවතත් කියනවා ඒ පීඨවල කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යැම පමණක් කියා. එහෙම කිව්ව ම බොහෝ අයට තරහ යනවා තම විෂයට අගෞරව කරනවා කියා. එහෙත් බටහිර භෞතික විිද්‍යාවත් පට්ටපල් බොරු. බොහෝ දෙනකු හිතනවා බටහිර දැනුමේ අනාවැකි පළ කරනවා කියා. එහෙම වන්නේ නැහැ. යම් සංසිද්ධියක් විස්තර කිරීමට ප්‍රවාදයක් (කතන්දරයක්) හදාගත් පසු ඒ ප්‍රවාදය ඇසුරෙන් යම් යම් අවශ්‍යතා යටතේ අනාවැකි පළ කරන්න පුළුවන්.
මා දැන් යම් සංසිද්ධියක් තේරුම් ගැනීම කියන වචන යොදන්නේ නැහැ. කිසිවකු කිසි දෙයක් කිසි දා තේරුම් ගන්නේ නැහැ. කරන්නේ යම් සංකල්පයක් තනාගෙන සංසිද්ධිය විස්තර කිරීමක් පමණයි. එය විස්තර කිරීම නොව විස්තර කිරීමක්. අප ඊනියා හේතු දෙන්නේ නැහැ. අප හේතුඵල ගැන නම් කියනවා.
පොල් (ඇපල්) ගෙඩි වැටෙන සංසිද්ධිය විස්තර කිරීමට නිව්ටන් ගුරුත්වාකර්ෂණය කියන සංකල්පය නිර්මාණය කළා. එය තේරුම් ගැනීමක් නො වෙයි. ගුරුත්වාකර්ෂණය කියන්නෙ මොකක් ද කියල ඇහුවොත් දෙන උත්තරේ මොකක් ද? ගුරුත්වාකර්ෂණය යොදා ගෙන අවකල සමීකරණ විසඳා ප්ලූටෝ තව අවුරුදු සියයකින් තියෙන්නේ කොතන ද කියා අනාවැකියක් කියන්න පුළුවන්. ඒත් ඒ අනාවැකිය යම් යම් අවශ්‍යතා මත රඳා පවතිනවා. තව අවුරුදු පනහකින් ප්ලූටෝ බ්ලූටෝ නම් ග්‍රහකයක් සමග ගැටේවිද කියා අප දන්නේ නැහැ. බ්ලූටෝ තිබෙනවා ද නැත් ද කියාවත් කිසිවකු දන්නේ නැහැ. බ්ලූටෝ නොපැමිණියහොත් ප්ලූටෝ තව අවුරුදු සියයකින් තිබෙන්නේ කොහේ ද කියා ලයිබ්නීට්ස්ගෙන් ඇහුවා නම් ඔහුටත් කියන්න පුළුවන් කම තිබුණා. එහෙත් කිසිවකු දැන සිටියේ නැහැ අයින්ස්ටයින් පොල් වැටෙන එක වෙනත් ආකාරයකින් විස්තර කිරීමට වෙන ම කතාවක් හදාවි කියා.
ඊනියා අනාවැකි කතාව වැරදියට තේරුම් ගෙන ඉතිහාසයේ, සමාජ විකාශයේ අනාවැකි කියන්න ගිහින් ඇනගත් ප්‍රධාන ම පුද්ගලයා කාල් මාක්ස්. අද ඉන්න අරික්කාල් මාක්ස්ලාත් අනාවැකි කියන්න ලැහැස්ති වෙනවා. ඒත් අර සමාජවාදී රාජ්‍යයට මොකද වුණෙ කියන්න කිසිම අරික්කාල් කෙනෙක් ඉදිරිපත් වන්නේ නැහැ. සමාජවාදයට විතරක් නොවෙයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් අද ලෝකයේ තැනක් නැහැ. ඊනියා කම්කරු පංතියක් නැතිවා පමණක් නොව කම්කරුවන් ද අද නැතිවෙනවා. ඒ කියන්නේ ශ්‍රමය විකුණන අය නැති බව නො වෙයි. අද වැඩි දෙනා විකුණන්නේ මානසික ශ්‍රමය. ඔවුන්ට දැන් පරිසර සංරක්‍ෂණය ජාතිකත්වය ආදිය වඩා වැදගත්. පසුගිය දා පැවති ඕස්ට්රේලියානු මැතිවරණයෙනුත් මේ බව විස්තර කෙරුණා. මෝදිගේ ජයග්‍රහණයත් සමග ඉන්දියාවේ හින්දු සභ්‍යත්වය තහවුරු වෙනවා.
ජාතික චින්තනය යන්න ගුණදාස අමරසේකර බටහිරින් ගත් සංකල්පයක්. ජාතික චින්තනයෙහි අනාවැකි කියන්නන් ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. ඒක අමරසේකරගෙන් අහගන්න ඕන. ප්‍රභාකරන්ගේ පැමිණීම ගැන කිසිවකු අනාවැකි කී බවක් මට මතක නැහැ. ප්‍රභාකරන් පැමිණියේ කෙසේ ද කියන එක නම් අප පසුව විස්තර කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනාවැකි පළ කළ අයකු බොදු බල සේනාවෙහි හිටියෙත් නැහැ. මෙරට මුස්ලිම් ව්‍යාප්තවාදයක් සංස්කෘතික ආක්‍රමණයක් තිබූ බව ඒ ඒ අය අඩු වැඩි වශයෙන් කියා තිබුණා. අපත් ඒ බව කියා තිබුණා. එහෙත් අප බලයට පත් වීමට හෝ කිසිවකු බලයට පත් කිරීමට හෝ ඒ යොදා ගත්තේ නැහැ.
චම්පකට නම් ඇත්තේ එකම එක මගයි. ඒ ජාතික මගක් නොව බල තණ්හාවේ මගයි. ඥානසාර හාමුදුරුවන්වත් පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් කියා තිබුණේ නැහැ. එවැනි දේ ගැන තොරතුරු සෙවීම බුද්ධි අංශවල කාර්යයක්. බුද්ධි අංශ දුර්වල කිරීම නිසා පාස්කු ප්‍රහාරයක් ඇති විය හැකි බව කී අයකු නැහැ.
පාස්කු ප්‍රහාරය අපට දැන් විස්තර කරන්න පුළුවන්. පසුගිය මාසයක පමණ කාලයෙහි මා එසේ විස්තර කිරීම ඇතැමුන්ගේ ඇස්වල කටු ඇණීමක් වන බව මා දන්නවා. පාස්කු ප්‍රහාරය අපේ කතන්දරය සමග පෑහෙනවා. මෙය රනිල් ඉවත් කිරීම හෝ පවත්වාගෙන යැම හෝ පිළිබඳ කතන්දරය සමග ගැටගැහෙනවා. ඒ මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම පිළිබඳ කතන්දරය. ඒ ජනවාරි අටවැනි දා පිළිබඳ කතන්දරය. ගෝඨාභය බලයට පත් කිරීම හෝ නොකිරීම හෝ පිළිබඳ කතන්දරය. ඒ කතන්දරයේ මිනුවන්ගොඩ හෙට්ටිපොළ සිද්ධීන් ද විස්තර කෙරෙනවා.
ඥානසාර හාමුදුරුවන් නිදහස් කෙරිලා. අර අපේ කතන්දරයේ උන්වහන්සේගේත් භූමිකාවක් තිබුණා. චම්පකගේ ඇතැම් ගෝලයන් මෙන් අප උන්වහන්සේ සමග අත්වැල් බැඳ ගත්තේ නැහැ. එසේ අත්වැල් බැඳගෙන ඔවුන් කෙළේ රනිල් බලයට පත් කිරීමට දායක වීමයි. අපේ කතන්දරයට අනුව ඥානසාර හාමුදුරුවන්ට කළ හැකි හොඳම කාර්යය ජාතික මෙහෙවරක යෙදෙන භික්‍ෂූන් වහන්සේ සමග එකතු වී කටයුතු කිරීමයි. උන්වහන්සේ බණ භාවනාව සඳහා ඉදිරි කාලය කැප කරන්නේ නම් අපට එයට එරෙහි වන්න බැහැ. ඒ කුමක් වුවත් සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් ව්‍යාජ සටන්කාමීන්ගෙන් බේරා ගැනීමට උන්වහන්සේට දායක වන්න පුළුවන්. එය අනාවැකියක් නොව ඉල්ලීමක් පමණයි.