Main Logo

Tuesday 21 May 2019

කෝ මේ දේශපාලන නායකත්වය

කෝ මේ දේශපාලන නායකත්වය



අද ආණ්ඩු පක්‍ෂය මෙන් ම විපක්‍ෂය ද කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම දැයි ප්‍රශ්න කරන්න වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුව පරීක්‍ෂණ පවත්වන එක නවත්වල ද කියන ප්‍රශ්නය අහන්න සිද්ධ වෙනවා. අද වඩාත් කතාබහට ලක්වන්නේ මිනුවන්ගොඩ නැත්නම් වෙනත් තැන ප්‍රහාර. ඒ ගැනත් පරීක්‍ෂණ පවත්වන්න ඕන. එහෙත් එයත් නිසි පරීක්‍ෂණයකට ලක්වන බවක් පෙනෙන්න නැහැ. අද සිද්ධ  වන්නේ ඒ ප්‍රහාර පිළිබඳ ව විපක්‍ෂයට වරද පැටවීමට කරන උත්සාහයක් පමණයි. මේ ආණ්ඩුව තියෙනතාක් මේ එක පරීක්‍ෂණයක්වත් නිසි අයුරෙන් සිද්ධ වෙන එකක් නැහැ. පරීක්‍ෂණ නිසි අයුරෙන් කරන්නත් ආණ්ඩුව වෙනස් කරන්න ඕන. 


පාස්කු ප්‍රහාරය කියන්නේ මෙරට අරාබි වසන්තය උදාකර ගැනීමට දැරූ තවත් උත්සාහයක්. මෙය 2015 ජනවාරි අටවැනි දා සමග සම්බන්ධයි. 2015 ජනවාරි අටවැනි දා කෙරුණේ බටහිරයන්ට අවශ්‍ය රූකඩයක් බලයට පත්කර ගැනීමයි. එයටත් වඩා ඔවුන් බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්‍ෂ සම්පූර්ණයෙන් ම දේශපාලනයෙන් අතුගා දාන්න. විවිධ යුද්ධාපරාධ චෝදනා මගින් හමුදාවට දේශපාලන නායකත්වය දුන් මහින්දත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභයත් රණවිරුවනුත් හිරේ විලංගුවේ දැමීම බටහිරයන්ගේ අපේක්‍ෂාව වුණා. එහෙත් ඔවුන්ට ඒ කරගත හැකි වූයේ නැහැ. 

ඔවුන් කෙළේ රනිල්ගේ ආණ්ඩුව ලවා බූද්ධි අංශ දුර්වල කිරීමත් රණවිරුවන්ට විරුද්ධව චෝදනා ගෙන ඒම මගින් ඔවුන් සිරකර තැබීමත්. දැන් ජනාධිපතිවරණයක් අත ළඟ. ජනාධිපතිවරණයකින් තුන්කොන් සටනක් නොවුණහොත් රනිල් පරදින බවට සැකයක් නැහැ. අද බටහිරයන්ට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරණය කල් දමා ගැනීම. ඒ බැරි නම් තුන්කොන් සටනක් ඇති කිරීම. 

පාස්කු ප්‍රහාරයේ විවිධ අරමුණු අතර ජනාධිපතිවරණය කල්දාමා ගැනීමත් එකක් වුණා. ජනතා කැළඹීමක් හරහා රනිල්ට පූර්ණ බලතල දීමත් මෛත්‍රිපාල නාමික ජනාධිපති කෙනකු කිරීම හෝ ඔහුට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙන ඒම හෝ මගින් ජනාධිපතිවරණය කල්දැමීම බටහිරයන්ගේ අපේක්‍ෂාව වුණා. බටහිරයන් අයිසිස් සංවිධානය තම අරමුණ වෙනුවෙන් යොදා ගත්තා. ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්‍ෂණ කළහොත් මෙරට මුස්ලිම් නායකයන් කිහිප දෙනකු ම ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කිරීමේ චෝදනාවට ලක් වෙනවා. ඒ වගේ ම ව්‍යාජ යුද්ධ විශේෂඥයන් පැත්තකට දැමුවොත් බටහිර ක්‍රියාකාරීත්වයත් හෙළි දරවු වෙන්න ඕන. 

මිනුවන්ගොඩ වැනි ප්‍රදේශවල සිද්ධි පිළිබඳවත් නිසි පරීක්‍ෂණ සිදු වන එකක් නැහැ. කෙසේ වෙතත් රටේ තැන තැන කලබල ඇති කර තමන්ට අවශ්‍ය වාතාවරණයක් ඇති කිරීමට ආණ්ඩුව තවමත් අසමත් ව තිබෙනවා. ආණ්ඩුවවත් ඔවුන් මෙහෙයවන බටහිරයන්වත් තම අරමුණු ඉටු කර ගැනීමට තවත් විවිධ දේ කරාවි. ඒ හැම එකක ම මූලික කාර්යයක් වනු ඇත්තේ සිංහලයන් කුපිත කරවීම. මුස්ලිම් වැසියන්ට ඇති වී තිබෙන හිරිහැර පිළිබඳ ව සොයා බලන්න ඕන. ඒ අනතුරට ලක් වී ඇති මුස්ලිමුන්ට ආණ්ඩුව මැදිහත් වී සාධාරණයක් ඉටු කරන්නත් ඕන. එහෙත් එ  අතර ම පාස්කු ඉරිදා ඝාතනවලට ලක්වුණු පහර කැම්වලට ලක් වූ අය ගැනත් සාධාරණයක් ඉටු වන්න ඕන. 

අද කෙරෙන්නේ බටහිර ජනමාධ්‍යවල සහාය ඇති ව රටේ තැන තැන ඇති වූ කලබලවල ගැන සිංහලයන්ට චෝදනා කිරීම  පමණයි. සුපුරුදු පරිදි සිංහල බෞද්ධයනට වරද පටවන්නේ ඉස්ලාම් අන්තවාදීන් අයිසිස් හා බටහිරයන් අමතක කරමින්. විපක්‍ෂය මේ පිළිබඳ සමස්තය කියන්නේ නැහැ. එක්කෝ ඔවුන්ට සමස්තය ගැන වැටහීමක් නැහැ. එසේත් නැත්නම් ඔවුනුත් යම් ගණුදෙනු (ඩීල්)  දේශපාලනයක නියැලී ඉන්නවා. විපක්‍ෂය දිය යුතු නායකත්වය නොදෙන බව පෙනී යනවා. 

අප අලුත්ගම දිගන සිද්ධීන් අමතක කළ යුතු නැහැ. එවැනි සිද්ධි නැවඇති කිරීමට ආණ්ඩුව අර අඳින බවක් පේනවා. සිංහලයන් කුපිත කරවීම උද්වේගකාරී දේශන පැවැත්වීමට සැලැස්වීම මේ ක්‍රියාදාමයේ කොටසක් වේවි. සිංහලයන් හැඟීම්වලට වහල් වුවහොත් එය ඔවුන්ගේ අවසානයට ම හේතු වේවි. එහෙත් අවාසනාවකට සිංහලයන්ට නායකත්වයක් දීමටත් සිංහලයන් වටා ජනවර්ග එකතු කිරීමටත් කිසිවකු උත්සාහ ගන්න බවක් පෙනෙන්නේ නැහැ. 

අද සිංහල බෞද්ධ ධජය වටා සියලු දෙනා එකතු වීමේ ප්‍රවණතාවක් තියෙනවා. අවශ්‍ය වන්නේ නිර්භය නායකත්වයක් පමණයි. නිසි වෙලාවට ඉදිරිපත් නොවන නායකත්වයක් ජනතාව අතින්  ප්‍රතික්‍ෂෙප වේවි. දේශපාලනයෙහි දී නිසි තීරණ නිසි වෙලාවට ගැනීම වැදගත්. තීරණ ගැනීම කල් දැමීමෙන් සිදු වන්නේ සිංහල ජාතිකත්වය තව තවත් දුර්වල වීම පමණයි. අද රටේ ඇත්තේ දේශපාලන නායකත්වය නොදීම පිළිබඳ ප්‍රශ්නයක්.