Main Logo

Monday 6 May 2019

බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


ටික කාලෙකට ඉස්සර, මට හරියට ම මතක නැහැ නිච්චියට ම කියන්න, කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා. ඒ ආවා ගියා නම් නො වෙයි. එක එක දිනක් පමණක් ආවා. ඔවුන් හිතන් හිටියෙ මා සිංහල බෞද්ධ විරෝධී දේ කියනවා කියා. අඩුම තරමෙන් ථෙරවාදයට විරුද්ධ දේ කියනවා කියා. ඔවුන් හිතුවෙ මා ඊනියා පශ්චාත්නූතනවාදියෙක් කියලා. එක් අයකු එක්සත් රාජ්‍යවලට ගොස් මෙරට පුවත්පතකට ලිපියක් ලියා කියා සිටියේ ඔහු එහි ඉගෙන ගත් දේ මුලින් ම දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙදි  මගෙන් කියා. ඒ දවස්වල කාලය සඟරාවට ලිපි සැපයුවන් අතර සිංහල බෞද්ධ විරොධීන් ද සිටියා. මගේ ඇතැම් පොත්වලට පිටකවර ඇන්දේත් කාලය සඟරාවට චිත්‍ර ඇන්දේත් පසුව ලක්මිණ පුවත්පතට චිත්‍ර ඇන්දේත් වත්මන් පුවත්පත් කතුවරයෙක්. එදා ලක්මිණට ලිපි ලියුවන් අතර පසුව මන්ත්‍රීවරුන් ඇමතිවරුන් බවට පත් වූවන් සිටියා. එහෙත් ඔවුන් කල් යන විට තේරුම් ගත්තා මා කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බව.


මෙහි අනෙක් පැත්ත ද සිදු වුණා. ථෙරවාද බෞද්ධයන් සමහරකු මට මාධ්‍යමිකවාදියකු කියා කිව්වා. එතෙර සිංහල වෙබ් අඩවියක් පළ කරන අයකු තම වෙබ් අඩවියේ මගේ ලිපි පළ කිරීම නතර කළා මා පශ්චාත්නූතනවාදියකු කියා. පසුව ඇතැමුන් මා මහාවංශයට පිටින් යන අයකු ලෙස හැඳින්වුවා ඒ මා යක්‍ෂ ජනතාව ප්‍රතික්‍ෂෙප නොකරන නිසා. තවත් අය මා විජය ආක්‍රමණිකයකු ලෙස නොසලකනනේ ය කියා මට විරුද්ධ වුණා. මා විජය හා පිරිස සලකන්නේ කාලිංග වංග දේශවලින් පැමිණි සංක්‍රමණිකයන් ලෙස මිස පෘතුගීසීන් වැනි ආක්‍රමණිකයන් ලෙස නො වෙයි. එහෙත් ආර්ය සංස්කෘතිය මෙරටට හඳුන්වා දුන්නේ ඔවුන් ද කියන එක පිළිබඳ මට ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වෙතත් සිංහබාහු වංගයේ සිටි බවට ඓතිහාසික යැයි කියන සාධක තියෙනවා. 

අද ඇතැම් ජාතිකවාදීන් මට සිරිජාතිකවාදියා කියා කියනවා. ඔවුන්ට අනුව මා සිරිසේන ඔසවා තබන්න කටයුතු කරන ගේම් කාරයෙක්. ඔවුන්ට අනුව මා රනිල් ඉවත් කළ යුතු යැයි කියන්නේ සිරිසේනට තැන දීමට පමණයි. එහෙත් අද මැතිවරණයක් දිනා ගැනීම ම ප්‍රශ්නයක් වෙලා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රයෙන් සිදු වුණු පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයේ මූලික අරමුණ රනිල්ට පූර්ණ බලතල ලබා දී මැතිවරණ ජනාධිපතිවරණ නැතිව රට පාලනය කිරීමයි. අරාබි වසන්තය තවමත් අප හමුවේ තියෙනවා. ජනාධිපතිවරණය මේ අවුරුද්ද අග නොපැවැත්වීමට බටහිරයන් පසුබිම සකස් කරන්න තවමත් අර අඳිනවා. 

අද පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවන්ගේ තත්වයට පත් වෙලා. ඔවුන්ට පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ සිංහල බෞද්ධයන් යැයි කීමට වුවමනා වුණත් ඒ සඳහා කිසිම සාධකයක් නැහැ. ඒ නිසා ඔවුන් පිටරට සිටින මුස්ලිමුන්ගේ හා වෙනත් අයගේ ලිපි පළ කරන්නේ ඒ අය සිංහල බෞද්ධයනට වරද පටවන නිසයි. බටහිර රටක සිට සිංහල බෞද්ධයනට වරද පටවන ලිපි ලියන්න ඕනෑම අයකුට නිදහස තියෙනවා. ඒ ලිපි තබා පිටපත් දසදහස් ගනක් විකිණෙන චොම්ස්කි වැන්නන් ගේ පොත්වත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයට තර්ජනයක් නො වෙයි. 

යුදෙව් විරෝධී වීම ගැන කතා තිබෙන තිබෙන පිටපත් පන්දාහක් පමණක් විකිණෙන බදියුගෙද කාගෙ ද පොත් ලිපි බුර්කාවට පක්‍ෂව ලිව්වත් නැතත් බටහිර සංස්ථානයට ප්‍රශ්නයක් නො වෙයි. සාර්කෝසි තේරුම ගැන ලියූ පොත පමණයි ටිකක් වැඩිපුර විකිණිලා තියෙන්නෙ. මෙයින් අදහස් කරන්නෙ පොත් විකිණෙන ප්‍රමාණයෙන් පොතක අගය මැනිය හැකි ය යන්න නොවෙයි. යම් ආකාරයක පැවැත්මක් ගැන විශ්වාස කරන්නන් සංස්ථානයට කොහොමටවත් තර්ජනයක් නො වෙයි. 

ඊනියා නිෂේධාත්මක දේවධර්ම බටහිරයන්ට ප්‍රශ්නයක් නො වෙයි. ඒ දේවධර්මවලින් කෙරෙන්නේ දෙවියන්ගේ පැවැත්ම නිෂේධානාත්මක ව පෙන්වීමයි. ශංකරාචාර්යයන්ගේ අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් ගැන දන්නා අයට එවැනි දේවධර්ම ප්‍රශ්නයක් නො වෙයි. බ්‍රහ්මන් තේරුම් ගන්නේ නෙති නෙති ආකාරයෙන්. එයත් නො වෙයි. මෙයත් නො වෙයි ආදී වශයෙන්. නිවන යනු ඊනියා පවතින්නක් නො වෙයි. ඒ කෙසේ වුවත්  සංස්ථාපනයට කිසියම් ආකාරයකින් හරි තර්ජනයක් වන ලිපි ලියන්නන්ට තොරතුරු හෙළි කරන්නන්ට සංස්ථානය දෙන නිදහස අසාන්ජ්ගෙන් පැහැදිලි වෙනවා. සංස්ථාපනයට අදේවවාදී, ඊනියා පැවැත්මක් ගැන කතා නොකරන සිංහල බුද්ධාගම ප්‍රශ්නයක්.

බුර්කාවට සිංහල බෞද්ධයන් බහුතරයක් විරුද්ධයි. අහන්න එපා මේ ගැන ඊනියා පරයේෂණයක් හරි ගවේෂණයක් හරි කරල තියෙනව ද කියල. අවශ්‍ය නම් කාට හරි බටහිර රටකින් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගෙන සමීක්‍ෂණයක් කරන්න පුළුවන්. සිංහල බෞද්ධයන් මුස්ලිමුන් ලව්ව ම බුර්කාව තහනම් කර ගන්නව නම් හොඳයි. බුර්කාව කියන්නෙ ඉස්ලාම් ආගමේ නියම කර ඇති ඇඳුමක් නො වෙයි. එය මුස්ලිම් ව්‍යාප්තවාදයේ සංස්කෘතික ආක්‍රමණයේ ඇඳුමක්. ලංකාවෙ නම් එය  ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව. එය බටහිරයන්ගේ අනුදුනුමෙන් සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම සඳහා අන්දනු ලැබූ ඇඳුමක්. බටහිරයන්ට අවශ්‍ය සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කර සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට. 

සිංහල බෞද්ධයන් නූතනත්වය ප්‍රතික්‍ෂෙප කරන්නේනැහැ. නූතනත්වයේ සංකේත ප්‍රතික්‍ෂෙප කරන්නෙත් නැහැ. සිංහල තරුණියන් කලිසමට හුරු වූයේ ඉතා ඉක්මණින්. සිංහලයන් අනුකරණයෙහි දක්‍ෂයන්. පහතරට සිංහල කාන්තාවන් එකල කබාපොරොත්තු ඇන්දා. අප විරුද්ධ වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට. මේ වෙනස තේරුම් ගන්නට බෑරි පඬියන් සිංහල ජාතිකවාදය මුස්ලිම් ජාතිකවාදය (ආගමිකවාදය) සමග සංසන්දනය කරනවා. එය හුදෙක් සිංහල බෞද්ධයනට එරෙහි ව කරන ප්‍රචාරයක් පමණයි.

සිංහල බෞද්ධයන් විවිධ සංකේත අනුකරණය කළත් ක්‍රිස්තියානි/කතෝලික ආගම් වැළඳ ගත්තේ අඩු ප්‍රමාණයකින්. ප්‍රතිශතයක් ලෙස ගත් කල දෙමළ හින්දුන් සිංහල බෞද්ධයනට වඩා ක්‍රිස්තියානි/කතෝලික වුණා. එහෙත් දැන් බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනයේ යළි උපන් (born again) ක්‍රිස්තියානිය හා විවිධ නිකායන් ඉක්මනින් පැතිරෙනවා. ඇතැම් දේශපාලනඥයන් ද යළි උපන් ක්‍රිස්තියානින් වෙලා. මේ අය මහින්දටත් මෛත්‍රිපාලටත් කිට්ටු වෙලා. එය තරමක ප්‍රශ්නයක්. 

පඬියන්ට සිංහල බෞද්ධ චින්තනය පිටුදකින්න ඕන. බටහිර නූතනත්වය ඇති වුණෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ. ඔවුන් දැන සිටියා දන්නවා අනෙක් චින්තනවල බිහි වූ දැනුම් තම චින්තනයට අවශෝෂණය කරන්න. පැරණි භාරතයේ තිබූ දැනුමත් අරාබින්ගෙ මාර්ගයෙන් බටහිර නූතනත්වයට අවශෝෂණය වෙලා. අද උසස් පෙළට උගන්වන ගණිතය එකල භාරතයේත් තිබුණා හුදු කරුණු වශයෙන් ගත්තම. ඒත් භාරතයෙ ත්‍රිකෝණමිතියත් බටහිර ත්‍රිකෝණමිතියත් එකක් නො වෙයි. 

අද අර ඊනියා පශ්චාත්නූතනවාදීන් නූතනත්වය ගැන මෙතරම් උද්‍යොගයකින් කතා කරන්නෙ ඇයි ද යන් නම් ප්‍රශ්නයක්. පශ්චාත්නූතනත්වය ඉවරවෙලා පශ්චාත් පශ්චාත්නූතනත්වයක් ඇවිල්ල ද? එය නූතනත්වය ම ද? විසංයෝජනයේ විසංයෝජනය සංයෝජනය ද? මට නම් එවැනි ප්‍රශ්නයක් නැහැ. විසංයෝජනය කියන්නෙත් සංයෝජනයක්. සිංහල බෞද්ධයන් බුර්කාව තහනම් කරන්න ඉල්ලන්නෙ මුස්ලිමුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයකට යවන්න නො වෙයි. මුුහුණ සම්පූර්ණයෙන් ම මෙන් වහන බුර්කාව මුස්ලිම් ආගමික ඇඳුමකුත් නො වෙයි. එය මුස්ලිම් අන්තවාදීන්ගෙ ඇඳුමක්. මුස්ලිම් අන්තවාදය මෙහෙයවෙන්නෙ නම් නූතනත්වයෙන්. මා නැවතත් කියනවා අප විරුද්ධ මෙවැනි මෙහෙයවීම්වලට. බටහිර නූතනත්ව ආධිපත්‍යයට. සිංහල බෞද්ධයන්ගෙ බුර්කා විරෝධය සංස්කෘතික ආක්‍රමණයකට එරෙහිව කරන්නක්. මුස්ලිම් වහාබ්වාදය ඉස්ලාම් වර්ෂවලින් දොළොස්වැනි සියවසේ නැත්නම් ක්‍රිස්තියානි වර්ෂවලින් දහඅටවැනි සියවසේ ඇති වුවක්. කතාවක් තියෙනවා වහාබ්වාදයත් ඇති කෙළෙ වහාබ්තුමා මගින් ඉංගිරිසි ජාතිකයෙක් කියලා. පසුව විස්තර කතා කරමු.