Main Logo

Thursday 2 May 2019

වෙච්ච දේ වෙන දේ

වෙච්ච දේ වෙන දේ


පසුගිය පාස්කු ඉරිදා සිදුවූයේ එක ගලින් කුරුල්ලන් කිහිප නෙකු මැරීමයි. ලංකාව ඇතුළත කරන මෙහෙයුම් තවදුරටත් වඩාත් ශක්තිමත් ව කරගෙන යන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. හමුදාව හා පොලීසිය දැනට කර ඇති මෙහෙයුම් ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒත් මා හිතන්නේ අපට ඇති නීති ප්‍රමාණවත් නොවන බවයි. මේ මෙහෙයුම් තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා කාලයෙන් පස්සට බලපාන නීති අවශ්‍යයි. අත්අඩංගුවට ගත් හා ගැනීමට සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් නීති අවශ්‍යයි. 


අත්අඩංගුවට ගන්නා අයට සිදුවන දේ ප්‍රසිද්ධ කරන්නත් ඕන. අපි දන්නෙම නැතිව ඔවුන් නිදහස් වෙලා යන්නත් පුළුවන්. ඒ එක් පැත්තකින් නීතිවල තියෙන අඩුපාඩු නිසා. විශේෂ නීති අවශ්‍යයි. මෙය විශේෂ කාරණයක්. ඒ නිසා සාමාන්‍ය කරුණුවලදි යොදා ගන්නා නීති ප්‍රමාණවත් නැහැ. මෙවැනි නීති 1971 දී ජ වි පෙ ත්‍රස්තවාදයට එරෙහිව පරීක්‍ෂණ පවත්වන විට පැනෙව්ව. නඩු විභාග කළෙත් විශේෂ අධිකරණයක. මේ එක් එක් මානව හිමිකම් අයිතිකරුවන්ට කන් දෙන අවස්ථාවක් නො වෙයි. මා මෙහෙම කියන්නෙ ගල් ගහන්නෙ කවුද කියන එක ගැන මට වැටහීමක් තියෙන නිසයි.

එහෙත් එවැනි නීති මේ ආණ්ඩුවෙන්, ඒ කියන්නෙ රනිල්ගෙ ආණ්ඩුවෙන් පනවාවි යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් අහන්න එපා මෛත්‍රිපාල මොකද කරන්නෙ කියලා. දහනවවැනි සංශෝධනය විතරක් නොවෙයි එ ජා පෙරමුණ ම ජනාධිපතිට හරස් වෙනවා. ඔක්තෝම්බර් 26 ආණ්ඩුව ආරක්‍ෂා කර ගත්තෙ නැති එකේ ප්‍රතිඵලය දැන් තේරෙන්න ඕන. එහෙත් අප තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට මේ වෙන්නෙ මොකක් ද කියන එක ගැන තේරුමක් නැති වීම. 

පාස්කු සිද්ධිය හා දෙමළ ජාතිවාදය අතර සම්බන්ධයක් නැතැයි හිතන්න එපා. ඒ දෙක ම පිටිපස්සෙ ඉන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපනය. එහෙම කියන එක ටිකක් දිග වැඩි නිසා අපි බටහිර නූතනත්වය කියා කියමු. දෙමළ ජාතිවාදය ඇති වුණෙ 1956 රාජ්‍ය භාෂා පනත නිසා යැයි තවමත් හිතන අය ජාතිකවාදීන් අතරත් ඉන්නව නම් අපට කරන්න දෙයක් නැහැ. ඔවුන්ට අඩු තරමෙන් හිතන්න බැහැ 1949 ඉලංකෙයි තමිල් අරසු කච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය) රාජ්‍ය භාෂා පනතට පෙර  පිහිටුවා ගත්තෙ ඇයි කියලා. 

දෙමළ ජාතිවාදයට බටහිරයන් සහායෝගය දුන්නේ පිටින් ඉඳගෙන. දෙමළ ජාතිවාදය ඇති කරනු ලැබුයෙත් බටහිරයන් විසින්. මුස්ලිම් අන්තවාදය (ඒ දෙක ම ත්‍රස්තවාද වෙලා) ඇති වුණෙ බටහිර ආසියාවෙ. මේ සටන් ඒබූහමික ආගම් හා සංස්කෘතීන් අතර තියෙන සටනක්. එහෙත් අද වඩාත් ම බලවත් වන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය. බොහෝ අය කීියනවා අද ලෝකයෙ තියෙන්නෙ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කියලා. එහි තව කොටසක් තියෙනවා අද මුළු ලෝකය ම දුවන්නෙ දැනුම මත. ත්‍රස්තවාද ඇති කරන්නෙත් දැනුම මත. උපාය උපක්‍රම සියල්ල අවසාන වශයෙන් රඳා පවතින්නෙ දැනුම මත.

යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් අතර අරගලය නිම වෙලා නැහැ. එහෙත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ දැනුම යුදෙව් චින්තනයට ණය ගැතියි. එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය බවට අද පත්වෙලා. ක්‍රිස්තියානින් යුදෙව්වන් කෙතරම් අප්‍රිය කළත් ඔවුන්ට ග්‍රීකයන් පමණට ම යුදෙව්වන් ද අවශ්‍යයි. මා පසුගිය දා Levy නම් අයකුගේ The Genius of Judaism  නම් පොතක් කියෙව්වා. ප්‍රංශය හා ප්‍රංශ භාෂාවත් යුදෙව්වන්ට හා හීබ්‍රෑ භාෂාවට කෙතරම් ණය ගැති ද කියාත් එහි සඳහන් වුණා. අර ඊනියා මහා චින්තක  ඇලෙන් බදියු ගෙද කාගෙද (ප්‍රංශ උච්චාරණ ගැන මට දැනුමක් නැහැ) තිබුණාය කියන යුදෙව් විරෝධය ගැන නම් එහි සඳහන් සඳහන් වුණේ නැහැ. 

මුස්ලිමුන් බටහිර නූතනත්වය විසින් යොදාගනු ලැබෙනවා. ඔවුන්ගේ ෂියා සුන්නි අරගලය බටහිරයන්ට වාසියක් වෙලා. මුස්ලිමුන් කවදා හරි ලෝකයේ වැඩිම ජනගහණය වුණත් ඔවුන්ට ලෝකය පාලනය කරන්න බැහැ. චීනයටත් ඉන්දියාවටත් මේ ප්‍රශ්නය තියෙනවා. ඔවුන් කෙතරම් ආර්ථික බලවතුන් වුණත් ආර්ථික හා මූල්‍ය කලමනාකරණය සිදුවන්නේ බටහිර නූතනත්වයෙන්. මා එතරම් බටහිර පොත් තබා බෞද්ධ පොතවත් කියවා නැහැ. එහෙත් මට මේ චින්තනවල හරය තේරෙනවා. අද බටහිර නූතනත්වය බය ඉන්දියාවටවත් චීනයටවත් මුස්ලිම් රටවලටවත් නොව බෞද්ධ චින්තනයට. 

බටහිර නූතනත්වයට ලංකාව අස්ථාවර කරන්න එතරම් දෙයක් කරන්න අවශ්‍ය නැහැ. දෙමළ ජාතිවාදය යොදා ගැනුණේ රට අස්ථාවර කරන්න හා සිංහල බෞද්ධයන් ලෝකයේ අගෞරවයට පත් කරන්න. සිංහල බෞද්ධයන් අගෞරවයට පත්වුණා ම සිංහල බෞද්ධ චින්තනයක් ගැන උනන්දුවන්නේ කවු ද? බටහිරයන් දැන ගෙන ඉන්න ඇති 2007 පමණ වන විට දෙමළ ත්‍රස්තවාදය පරාජය වන බව. මගේ තක්සේරුව ඒ දිනවල සිට බටහිරයන් මෙරට මුස්ලිම් අන්තවාදය පෝෂණය කළා කියා. එයින් කියන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදයක් කලින් නොතිබුණා නො වෙයි. බටහිර නූතනත්වයට අවශ්‍ය වුණෙ බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇති කරන්න. 

බටහිරයන්ට අවශ්‍ය වුණා මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න. ඒ මහින්ද ජාතිකත්වය නියෝජනය කරන්නේ ය යන මතය අනුව. අර හොරා කතාව රටේ පැතිරෙව්වා. මංගලලා වැන්නන් එයට රුකුල් දුන්නා. බටහිර නූතනත්වයට අවශ්‍ය වුණෙ තම නියෝජිතයා වූ රනිල් බලයට පත් කරන්න. ඒ සඳහා ඔවුන් ඉන්දියාවේ සහායෙන් මෛත්‍රිපාල යොදා ගත්තා. බටහිරයන් රනිල් බලයට පත් කිරීම සැලසුම් කරන්න ඇත්තේ කලක සිට. ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස ආදී එ ජා ප නායකයන්ගේ ඝාතන කොටින්ට බැර වුණා. 

අද ඔවුන් කුමාර් සංගක්කාර ගැන ඇහැ ගහගෙන ඉන්නවා. අප ඒ බව කියන්නේ කලක සිට. කොලින් කවුඩ්රි දේශනය පැවැත්වීමට ඉඩ දීමෙන් පසු ඔවුන් 2020 දි සංගක්කාර එම්සීසී (MCC) හි සභාපති කරන්න යනවා. ඒ තනතුරට පත්වෙන ප්‍රථම බිරිතානි නොවන ජාතිකයා ඔහු. අඩු තරමෙන් ඕස්ට්රේලියාවෙ අයකුටවත් එ තනතුර දීල නැහැ.  

රනිල්ට අවශ්‍ය දේ සියල්ල කර ගන්න බැරි වුණා. මෙරට ජතිකත්වයට  හැකි වුණා රනිල් මෛත්‍රිපාල දීගය කඩන්න. ලිපිය දැනටමත් දික් වෙලා. ඉතා කෙටියෙන් කියනවා නම් බටහිරයන්ට අවශ්‍ය වුණෙ මෛත්‍රිපාල ආණ්ඩුවෙන් ඉවත් කරන්න. රනිල්ට සම්පූර්ණ බලය ලබා දෙන්න. පාස්කු ඝාතනයෙන් පසු රටේ කැරළි ඇති වුණා නම් මෛත්‍රිපාලට යන්න වෙනවා. සිංහල බෞද්ධයන් මුස්ලිමුනට විරුද්ධ ව අතක් ඉස්සුවේ නැහැ. ඒ සිංහල මුස්ලිම් වෛරයක් වපුරා තියෙද්දී. පල්ලිවල කඩු තියෙන්නෙ තණකොල කපන්න වගේ කතා මා හිතන්නෙ අනාගතයෙ දි සිංහල ව්‍යවහාරයට එකතු වේවි. තණකොල කපන්න ගහට ගිය අය ගැනත් සිංහල ව්‍යවහාරයෙ තියෙනවා. 

පාස්කු ඝාතනය ගැන සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිර ජනමාධ්‍යවල ප්‍රචාර ගෙන ගියා. මා හිතන්නේ ඔවුන් බලාපොරොත්තු වුණා  බෞද්ධයන්ගෙන් ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක්. එහෙත් එය වැරදුණා. පාස්කු ඝාතනය බටහිර නූතනත්වය අයිසිස් සංවිධානය යොදා ගෙන කරපුු එකක්. ඔවුන්ට අවශ්‍ය වුණෙ සිංහල බෞද්ධයන් අපකීර්තියට පත් කරල රනිල්ට පූර්ණ බලතල අරන් දෙන්න. ඔක්තෝම්බර් 26 න් පස්සෙ පාර්ලිමේන්තුවට පැමිණි බටහිර තානාපතිවරුන් හැසිරුණු ආකාරය අමතක කරන්න එපා. ඔවුන්ට අවශ්‍ය වුණෙ රනිල් කෙසේ නමුත් නැවත අගමැති කරන්න. 

ඒ අතර මෙහි තවත් පැති රාශියක් තියෙන බවත් කියන්න ඕන. පාස්කු ඝාතනය කතෝලිකයන්ට හා චීනයට ද එල්ල කළ එකක්. මේ ඝාතනවල බටහිර ජනමාධ්‍යයෙහි ලොකු ප්‍රචාරයක් ලබා දුන්න. එහි ප්‍රතිඵලය බටහිර රටවල ක්‍රිස්තියානින් අතර මුස්ලිම් විරෝධය  වැඩි වීම. බටහිර නුතනත්වයට එයත් අවශ්‍යයයි. මෙරට භික්‍ෂූන් වහන්සේගේ බලය අඩු කිරීමත් අවශ්‍යයි. අප රටේ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්‍ෂා කර ගත්තේ භික්‍ෂූන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේ තමන් වහන්සේ ඉතිහාසයේ කර ඇති කාර්යභාරය හෑල්ලු කර ගන්න ඕන නැහැ. 

මෙරට බෞද්ධ නොවන සියල්ලන්ට ම ආරක්‍ෂාව සපයන්න පුළුවන් සිංහල බෞද්ධයන්ට හා භික්‍ෂූන් වහන්සේට. කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් සියල්ලන්ට ම ඒ පොදුයි. ක්‍රිස්තියානි නූතනත්වය කතෝලිකයන්ට විරුද්ධ ව ඇති වූවක් බව කාදිනල්තුමා ද නොදැන හිටින්න හේතුවක් නැහැ. ක්‍රිස්තියානි නූතනත්වය යන්නෙන් ක්‍රිස්තියානි ආගම අදහන්නවුන් සැලකෙන්නෙ නැහැ. මෙරට සියලු දෙනා ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධව කටයුතු කිරීමට දැන්වත් සිතා ගත යුතුයි. ප්‍රශ්නයේ මුල කොතැන ද කියා තේරුම් නොගත්තොත් අපට සිදුවනු ඇත්තේ හැමදාමත් කුළල් කා ගැනීමටයි. 

බටහිර නූතනත්වය චීනයට විරුද්ධවත් ක්‍රියා කරනවා. චීනයට රටේ ආර්ථික මර්මස්ථාන ලබා දිය යුතු නැහැ. වෙනත් කිසිවකුටවත් ලබා දිය යුතුත් නැහැ. ෂැංග්‍රිලා හා කිංස්බර්ග් හෝටල්ටල්වලට පහර දුන්නේ චීනයත් සමග කෝන්තරයක් පිරිමහා ගන්න ද? 

රනිල් සූදානම් වන්නේ බටහිර ඔත්තු සේවා ලබාගන්න. එමගින් අපේ ඔත්තුසේවා පාලනය කිරීම. එයත් බටහිරට අවශ්‍ය  තවත් කුරුල්ලෙක්. රණවිරුවන් මර්දනය, බුද්ධි අංශ අඩපණ කිරීම ආදිය රනිල් කෙළේ බටහිර අවශ්‍යතාවට. රනිල්ට බැරි නම් බටහිරයන් වෙනත් අයකුට රට භාර දෙන්න ලෙහෙසියෙන් කැමති වෙන එකක් නැහැ. අප ජනාධිපතිවරණයට සූදානම් විය යුතුයි. එහි දී අපේ කඳවුරේ (ජාතික/වාම කේන්ද්‍රීය) සමගිය උපරිම වශයෙන් තිබිය යුතුයි. අප සටන් කරන්නේ බටහිර නූතනත්වය සමග බව කිසි විටෙකත් අමතක නොකළ යුතුයි.