Main Logo

Sunday 26 May 2019

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වැඩ කරන අයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳල නැති බව රනිල් හැරෙන්න අනෙක් අය පිළිගනු ඇති බව හිතනවා. අද එසේ නොකියන එ ජා පාක්‍ෂිකයන් පවා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයක එසේ කින බවට සැකයක් තියෙන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ධුරය ආදී ආයතන එකක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.


රනිල් ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කෙළේ කාගෙන්වත් අහල නොවෙයි. එය රාජද්‍රෝහී ක්‍රියාවක්. ඔහු ජෙනීවා හි මංගල ලවා ලංකාවට විරුද්ධ යෝජනාවලට දායකත්වය අනුග්‍රහකත්වය සපයන්නේ කාගෙන්වත් අහල නොවෙයි.  ඔහු සමහරවිට ඔහුගේ මිතුරන් කිහිප දෙනකුට ඒ බව දන්වනවා ඇති. අද ඔහු එක්සත් රාජ්‍ය සමග ගිවිසුම් අත්සන් කරන්නේ කාගෙන්වත් අහල නො වෙයි. 

මේ රාජද්‍රෝහී ක්‍රියාවන්ට විරුද්ධ ව කිසිවක් කරන්නට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නැද්ද? එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ රාජද්‍රෝහී ක්‍රියාවන්ට පහසුකම් සලකන එකක්. අප කළ යුත්තේ එවැනි රාජද්‍රෝහී ක්‍රියාවන්ට මග සලසන ප්‍රතිපාදන නැති කරන එකයි. එහෙමත් නැත්නම් රාජද්‍රෝහී ක්‍රියා වළක්වන්න අවශ්‍ය සංශෝධන සම්මත කර ගන්නා එකයි.

එහෙත් ඒ එකක්වත් රනිල් අගමැති ව සිටිනතාක් කරන්න බැහැ. පළමුවෙන් කළ යුත්තේ රනිල් ඉවත් කිරීමයි. ඥානසාර හාමුදුරුවන් බණ භාවනා කර ඇත්තේ එක දවසක් පමණක් බවයි පේන්න තියෙන්නෙ. උන්වහන්සේ දැන් බුර්කා ඉවත් කරන්න කතා කරනවා. බුර්කාව ඉස්ලාම් ආගමෙන් නියමිත ඇඳුමක් නොවෙයි. එය මූලධර්මවාදීන් මහමත්තුමාගේ අණක් වැරදි ආකාරයකින් අර්ථකථනය කර සකස් කරගත් ඇඳුමක් බවයි පේන්න තියෙන්නෙ. එහෙත් අප බුර්කාව ඉවත් කිරීමට මෞලවිවරුන්ට ම ඉඩ දෙමු. අපි බුර්කාව නොව රනිල් ඉවත් කිරීමට කටයුතු කරමු. 

පසුගිය ඔක්තෝම්බර් විසිහයවැනි දා ව්‍යවස්ථානුකූල ව රනිල් ඉවත් කෙරුණා. එහෙත් ආණ්ඩු පක්‍ෂයේ මෙන් ම විපක්‍ෂයේ ද ඇතැමුන්ගේ කෙරුවාවල් නිසා රනිල් නැවතත් බලයට පත් කෙරුණා. ජාතික හෙළ උරුමයේ නායකයන් හා අනුගාමිකයන් 2015 ජනාධිපතිවරණයේ දී කියා සිටියේ රතන හිමියන් හා චම්පක සිටිනාතාක් රනිල්ට ඕන විධියට කටයුතු කරන්න බැරි බව. එහෙත් අවසානයේ දී කාට කාටත් තේරුණේ  රතන හිමියන්ට හා චම්පකට ඕන විධියට රනිල් කටයුතු නොකරන බවත් රනිල්ට ඕන විධියට ඉන්න බැරි අයට යන්න පුළුවන් බවත්. 

අප අපේ ප්‍රමුඛතා තේරුම් ගන්න ඕන. අපේ පළමු කාර්යය රනිල් ඉවත් කිරීම මිස බුර්කා ඉවත් කිරීම නො වෙයි. අද රිෂාඩ් බද්‍යුද්දීන්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වළක්වන්න හැකි සෑම දෙයක් ම කරන්නේ රනිල්. ඔහු එ ජා පාක්‍ෂිකයන්ට තර්ජනය කරනවා. ඔහුගේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන මිනිහෙක් විසිතිස් වරක් පරාජය වීත් එ ජා පක්‍ෂ නායකත්වයේ රැඳී ඉඳියි ද? ඔහු පක්‍ෂ නායකත්වයේ තබා ගැනීමෙන් එ ජා පක්‍ෂ ව්‍යවස්ථාව පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවක්

බද්‍යුද්දීන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාව හමස් පෙට්ටියට යෑමේ ඉඩකඩක් තියෙනවා. අර පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කෙළේ අහවල් දේකට ද? පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ විශ්වාසය නැති වූ විට මිස වරදකරුවකු බව තීරණය වූ විට නො වෙයි. යමකු වරදකරුවකු ද නැත් ද යන්න තීරණය කිරීමට අධිකරණය තියෙනවා. පාර්ලිමේන්තුවට අධිකරණ බලතල තිබූ පමණින් කියැවෙන්නේ නැහැ පාර්ලිමේන්තුව ඒ කටයුතු තමා වෙත ම පවරාගත යුතු ය කියා. අනෙක් අතට ඊනියා තේරීම් කමිටුව හොඳට හිතා මතා තෝාගත් කමිටුවක්. එහි සාමාජිකයන් දෙස බැලීමෙන් ම තේරෙනවා රනිල්ගේ අවශ්‍යතාව මොකක් ද කියා. 

එක් පැත්තකින් රනිල් මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල අධාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් පවත්වාගෙන යනවා. තව පැත්තකින් මෛත්‍රිපාල අසාද්සාලි හිස්බුල්ලා වැනි මුස්ලිම් අන්තවාදීන්ගේ ආධාරයෙන් ජනාධිපති ධුරයේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. අනෙක් පැත්තෙන් විපක්‍ෂයෙන් ජාතිකත්වය මත පදනම් වූ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් වී නැහැ. මෝදි බලයට පත් වී ඇත්තේ උතුරේ හින්දු සංස්කෘතියට ආමන්ත්‍රණය කිරීමෙන්. ඔහුට දකුණු ඉන්දියාවෙන් ඡන්ද ලැබී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. 

සිංහලයන්ට ජාතිකත්වයක් නැතිවා නොවෙයි. චම්පකලා ඒ ගසා කෑමෙන් පසුවත් සිංහලයන්ට ජාතිකත්වයක් ඉතිරි වී තියෙනවා. අප රට සිංහල බෞද්ධ රටක් බව පැහැදිලි ව සිංහයකු සේ කිව හැකි පුද්ගලයකු ජනාධිපති ලෙස අවශ්‍යයි. අප රටේ සියළු ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සිංහල බෞද්ධ ධජය සෙවණේ සිංහල බෞද්ධ සංස්කෘතියක. ඉන් කියැවෙන්නේ සිංහල බෞද්ධ නොවන්නන් සිංහල බෞද්ධ විය යුතු බව නො වෙයි. රනිල්ට පාකියසෝතිලාට සුමන්තිරන්ලාට ජයම්පතිලාට අවශ්‍ය රට තවදුරටත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයේ තබා ගැනීමට. අද බටහිරයන් අයිසිස් සංවිධානය ලෝකයේ සෙසු රටවලත් ලංකාවෙත් යොදා ගන්නේත් ඒ ආධිපත්‍යය දිගින් දිගට ම පවත්වගෙන යෑමට. 

සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව ප්‍රසිද්ධියේ කිව හැකි අයකු සියළු ජනයාට සිංහල බෞද්ධ  සංස්කෘතික ධජය සෙවණේ නිදහසේ තම අනන්‍ය සංස්කෘතීන් රැක ගනිමින් ජීවත්වීමට හැකි බව සපථ කරන නායකයකු ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් විය යුතුයි. රනිල්ගෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් නිදහස් විය හැක්කේ එවිටයි.