Main Logo

Wednesday, 22 May 2019

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්


මේ රට සිංහල බෞද්ධ යැයි කීමට දිව නොනැමෙන පිරිස් දෙකොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධ දේශපාලනඥයන් හා සිංහල බෞද්ධ පවුල්වල උපත ලබා යම් යම් හේතූන් නිසා සිංහල බෞද්ධකමට වෛර කරන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. දෙවැනි කොටස ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඔවුන්ගේ කාලය දැන් අවසන්. ඔවුන් බටහිරයන්ගේ ඒජන්තයන්. ඔවුන් බටහිර මතවාද මෙරට ප්‍රචලිත කරන ඩ්‍රීම් ස්ටාර්ලා පමණයි. ඔවුන්ට ඇත්තේ හීනමානයක්. තමන් ඊනියා අඩු කුලයක ඉපදීම, දෙමව්පියන් ඉංගිරිසි නොදැනීම, තාත්තලා කලිසම නොඇඳීම ආදී කරුණු හේතු කොට ගෙන උපන් හීම මානයක් ඔවුන්ට තියෙනවා. ඔවුන්ගේ හීනමානය ඇති කර ඇත්තේත් බටහිරයන්. 


ප්‍රභාහරන් යාපනයෙන් මුස්ලිමුන් පැය විසිහතරෙන් පිට කෙරුණු විට ප්‍රභාකරන්ටවත් දෙමළ කතා කරන ජනයාටවත් දොසක් නොනැගූ බටහිරයන් හා ඔවුන්ගේ කුලීකාර පඬියන් (කුලීකාර යන්නෙන් වැටුපක් ලබන බවක් නොඇඟවෙයි) අද මිනුවන්ගොඩ හෙට්ටිපොළ වැනි ප්‍රදේශවල සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට කරන්නේ යැයි කියන තාඩන පීඩන  ගැන කතා කරනු අහන්න පුළුවන්. ඒ ප්‍රදේශවල මුස්ලිමුන්ට හිරිහැර වී තිබෙන බව පිළිගත යුතුයි. ඒ ප්‍රදේශවල සිංහල කඩත් කඩල තියෙනවා. දැන් ප්‍රශ්නය වෙන්නේ මේ අඩත්තේට්ටම් කෙරුවෙ සිංහල බෞද්ධයන් ද කියන එක. 

යාපනයෙන් මුස්ලිමුන් පමණක් නොව සිංහලයනුත් පන්නා දමනු ලැබුයේ ප්‍රභාකරන් විසින්. ඒ දෙමළ ජාතිවාදය වෙනුවෙන්. එයට සියළු දෙමළ කතා කරන ජනයා වග කියන්න ඕන කියල සිංහල බෞද්ධයන් කිසි දිනෙක කියල නැහැ. එය කොටි ත්‍රස්තවාදීන්ගේ වැඩක් ලෙසයි හඳුනාගෙන තිබුණෙ. දැන් මිනුවන්ගොඩ වැනි ප්‍රදේශවල මුස්ලිම් කඩ මෙන් ම සිංහල කඩ ද කඩන්න ඇත්තේ සිංහල බෞද්ධයන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් එය කෙළේ සිංහල බෞද්ධයන් ලෙස ද නැත්නම් යම් දේශපාලන පක්‍ෂයක හෝ සංවිධානයක හෝ නියෝජිතයන් ලෙස ද යන්න ප්‍රශ්නයක්. 

ඒ දේශපාලන පක්‍ෂය හරි සංවිධානය හරි  සිංහල බෞද්ධ විරෝධී වීමට ඇති ඉඩ ඉතා වැඩියි. ඒ කරුණු හරි හැටි හොයන්නෙ නැතිව සිංහල බෞද්ධයනට වරද පටවන්න බටහිර රටවල් හා ඔවුන්ගේ කුලීකාර පඬියන් ඉක්මන් වන්නේත් යාපනයෙන් මුස්ලිමුන් මෙන් ම සිංහලයන් ද එළවීම ගැන අදත් වචනයක්වත් කතා නොකරන්නේත් ඇයි ද යන්නෙන් ඔවුන්ගේ අරමුණ කුමක් ද යන්න පැහැදිලි වෙනවා. 

ඒ පඬියන්ට වඩා අපට ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයන්. ඔවුන්ට සිංහල බෞද්ධ ඡන්ද නැතිව දිනන්න බැහැ. ඒ වගේ ම ඔවුන් දන්නවා සිංහල බෞද්ධ ඡන්ද ඔවුන්ට ලැබෙන බවත්. ඔවුන් මෙරට සිංහල බෞද්ධ රටක් බව කියන්න ඉදිරියට එන්නෙ නැත්තෙ ඒ නිසා ඔවුන්ට සිංහල බෞද්ධ නොවන්නන්ගේ ඡන්ද නොලැබේවිය යන අදහසින්. ඔවුන් සිංහල බෞද්ධ නොවන ඡන්දවලට ඇති කෑදරකම නිසා මෙරට සිංහල බෞද්ධ රටක් බව කියන්න පෙරට එන්නෙ නැහැ. 

සිංහල බෞද්ධයන්ටත් කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රූසිද්ධියේ නොකියන කිසිම න්දාපේක්‍ෂකයකුට ඡන්දය නොදී සිටීම. රටේ ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් මෙරට සිංහල බෞද්ධ රටක් බව පිලිගනිද්දී කාදිනල්තුමාත් ඇතැම් මෞලවිවරුනුත් මෙරට සිංහල බෞද්ධ බව පිළිගනිද්දී  සිංහල බෞද්ධ යැයි කියන දේශපාලනඥයන් අද සිංහල බෞද්ධ රට වෙනුවෙන් පෙරට නොඒම ඒ දේශපාලනඥයන්ට ම ප්‍රශ්නයක් කරන්න ඕන.

දැන් ජනාධිපතිවරණය කට ළඟට ඇවිත්. අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සිංහල ජාතිකත්වයේ අපේක්‍ෂකයාගෙන් අප බලාපොරෙත්තු වන්නේ ගැමුණු කුමරු අනුගමනය කිරීමයි. ගැමුණු කුමරු එළාර සමග යුද්ධයට ගියේ මාගේ මේ ව්‍යායාමය බුදු සසුනේ චිරස්ථිතිය සඳහා කියමින්. ජාතිකත්වයේ අපේක්‍ෂකයා (ඔහු සම්මත දේශපාලන පක්‍ෂයක් නොවන පක්‍ෂයකින් ඉදිරිපත් වනවා නම් හොඳයි) කිව යුත්තේ මාගේ මේ ව්‍යායාමය සිංහල බෞද්ධ රාජ්‍යයක චිරස්තිථිය සඳහා යන්නයි. 

එයින් කියැවෙන්නේ මේ රට සිංහල බෞද්ධයන්ගේ පමණක් රටක් කියන එක නො වෙයි. සිංහල බෞද්ධ නොවන ජනයාටත් ජීවත්වීමට සුදූසුුම රාජ්‍යය වනුයේ සිංහල බෞද්ධ රාජ්‍යය බවයි. සිංහල කතෝලික ජනතාව දැන් ඒ බව තේරුම් අරගෙන. ඔවුන් ඒ බව තේරුම්ගත යුතුව තිබුණේ සිංහල රජවරුන් සිංහල කතෝලිකයන් ලන්දේසි රෙපරමාදුන්ගෙන් ආරක්‍ෂා කළ දිනයේ සිට. 

ජාතිකත්වයේ අපේක්‍ෂකයා ඊනියා ස්මාට් ජාතිකවදීන්ගේ මතවාදවලට බියෙන් මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රසිද්ධියේ නොපිළිගන්නේ නම් ඔහු තම දේශපාලන ගමන ඉක්මණින් ම අවසන් කර ගන්නවා පමණක් නොව රනිල්ට පූර්ණ බලතල සහිතව ජනාධිපති වීමට ඉඩ තබා සිංහල ජාතිය ද අගාධයට යොමු කරන්නෙක් ද වෙනවා.