Main Logo

Monday 13 May 2019

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට


මංගල සමරවීර කියල මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියල ඔහු කියාවි ද එංගලන්තය ඉංගිරිසි ක්‍රිස්තියානි රටක් නොවෙයි කියල. එහෙම කියද්දි ඔහු තවදුරටත් කිව්වොත් රටේ බහුතරය ඉංගිරිසි ක්‍රිස්තියානි වුණත් තවත් ජනවර්ග ඉන්නවයි කියල කිසිවකු මොකුත් කියන එකක් නැහැ. ඒ මොකද එහි කිසිවකු, ලංකාවෙන් එහි ගිය කිහිප දෙනකු හැරෙන්න, මංගල සමරවීර දන්නෙ නැති නිසා, කිසිවකු ඔහු පැන්සයකට ගණන් ගන්නෙ නැති නිසා. මා හිතන්නෙ නැහැ ඇඳුම් විලාසිතා ගැන කටයුතු කරන අයවත් ඔහු පැන්සයකට ගණන් ගන්නවා කියල. එංගලන්තෙ ජනමාධ්‍යයට මංගල කියන්නෙ මොකක්ද කියන එක දැන ගන්න වුවමනාවක් නැහැ. අර බීීබීසියෙ සංදේශය නම් සමහරවිට ඔහු සමග සාකච්ඡාවක් පවත්වාවි. බීබීසි සංදේශය පාස්කු ප්‍රහාරයටත් සිංහල බෞද්ධයන් වරදකරුවන් කියල කිව්වෙ. එංගලන්තෙ දි මංගලගෙ වටිනාකම එහෙමයි. 


ඒ වුණාට ලංකාවෙ ඔහු ඇමතියෙක්. ඔහු කොහොම පාර්ලිමෙන්තුවට ආවත්  ඇමතියෙක්.  මේ රටේ දේශපාලන පක්‍ෂ කිසි දිනෙක පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන එක නවත්තන එකක් නැහැ.මංගල මුදල් ඇමති විතරක් නොවෙයි ප්‍රායෝගික ව ගතහොත් විදේශ ඇමතිත්. මේ රටට තිත්තවෙලා ඉන්න අය ජෙනීවාහි නියෝජිතයාට විද්‍යුත් තැපෑලෙන් උපදෙස් දෙන්නෙ මංගලගෙ මුදල් අමාත්‍යංශෙ ඉඳන්.  ලංකාවෙ දි ඔහු කියන දේට වැදගත් තැනක් ලැබෙනවා. ජනමාධ්‍යයෙ ඒවට ප්‍රචාරයක් ලැබෙනවා. ඒ මදිවට යම් පිරිසක් ඔහු කියන දේ විශ්වාස කරනවා. 

අපට අමතක කරන්න බැරි කරුණකුත් තියෙනවා. 1994 දි චම්පකයි රතන හාමුදුරුවොයි මාතර ගිිහින් පැල් බැඳගෙන වැඩ කෙරුවෙ මංගලට.  මංගල ඒ කාලෙත් රටවැසි පෙරමුණක් අටව ගෙන සංධීය රාජ්‍යයක් කරන්න කතා කෙරුව. මා ඒ කාරණය කිව්වෙ චම්පකලගෙ අවස්ථාවාදය පෙන්නන්න. ඔවුන් ජාතිකත්වයක් ගැන කතා කෙරුවෙ ඡන්ද ලබා ගන්න පමණයි. රනිල් වික්‍රමසිංහ බලයට පත් කරන්න වැඩ කරල අද නැවතත් ජාතිකත්වය වෙනුවෙන් කතා කරන්න එනව. ඔවුන්ගෙ අනුගාමිකයො 2015 දි කිව්වෙ චම්පකයි රතන හාමුුදුරුවොයි ඉන්නකන් බය වෙන්න එපා කියල. දැන් නම් කිසිවකු බයෙන් නැතුව ඇති. ජාතික ව්‍යාපාරය මරා දැමූ ප්‍රධාන ම පුද්ගලයා චම්පක. රතන හාමුදුරුවො අඩු තරමෙන් කියනව 2015 දි වැරදුණා කියල. ඒත් එයත් ප්‍රමාණවත් නැහැ.

මංගලට කියන්න ඕන කාරණයක් තියෙනවා. මේ රටේ දැන් තියෙන්නෙ ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙහි බෞද්ධ සංකේත ටිකක් තියෙනවා. එ නිසා තමයි දේශපාලනඥයො මල්වට්ටි අටපිරිකර අරගෙන නුවර දුවන්නෙ. මේ රටේ වැඩිපුර ඉන්නෙ අටපිරිකර බෞද්ධයො. අපට අවශ්‍ය මේ රට නැවත සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනවා දකින්න. මේ රටේ කිසිම බෞද්ධ නීතියක් නැහැ. තියෙන්නෙ රෝම ලන්දේසි නීතිය. දශරාජ ධර්මය කියන එක ගැන උනන්දුවක් දක්වන දේශපාලනඥයො ඉන්නවා ද? ඔය අටපිරිකර උස්ස ගෙන නුවර ගිය වෙලාවකදිවත් දශරාජ ධර්මය ගැන අහල බලනවා ද?

සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ සිංහල බෞද්ධයන්ට විතරක් අයිති රටක් නො වෙයි. එය සිංහල බෞද්ධයන් විතරක් ජීවත් වෙන රටකුත් නො වෙයි. මුස්ලිම් මිනිසුන් මේ රට ඇවිත් තියෙන්නෙ අටවැනි සියවසේ පමණ. ඒ වෙළෙන්දන් ලෙස එ දවස්වල මේ රටට රෝමයෙනුත් වෙනත් රටවලිනුත් වෙළෙඳුන් ඇවිත් චීනය වගේ රටවලින් සංචාරකයන් පැමිණ තියෙනවා. මේ ආපු සමහරු මෙරට පදිංචි වුණා. ඒ සිංහල කාන්තාවන් සරණ පාවාගෙන. ඔවුන්ගෙ දරුවන් කතා කරන්න ඇත්තෙ සිංහල. එහෙත් සමහරු ඉස්ලාම් ආගම අදහන්න ඇති.

එහෙත් අද ලංකාවෙ ඉන්න මුස්ලිම් ජනයා නම් ඇවිත් තියෙන්නෙ දහහතරවැනි සියවසේ පමණ වත්මන් දකුණු ඉන්දියාවෙන්. ඔවුන් කතා කෙළෙ දෙමළ. මැතක් වන තුරුම මුස්ලිම් ජනයාගෙ මවුබස වුණෙ දෙමළ. යම්කිසි අයුරකින් අරාබියෙන් පැමිණි අයගෙන් පැවත එන සිංහල කතා කළ මුස්ලිමුන් ඒ වන විටත් හිටිය නම් ඔවුන් දෙමළ මුස්ලිම් සංස්කෘතියට අවශෝෂණය වන්න ඇති. පසුව පැමිණි මැලේ ආදී ජනවර්ග නම් මේ වන විට සිංහල මුස්ලිම් වෙලා. 

එංගලන්තෙ විවිධ සංස්කෘතීන්වල මිනිසුන් හිටියත් එහි ප්‍රධාන සංස්කෘතිය ඉංගිරිසි ක්‍රිස්තියානි. අවශ්‍ය නම් ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි. හෙට අනිද්දා වෙසක් දිනයට එංගලන්තෙ නිවාඩු නැහැ. මේ වසරෙ නම් වෙසක් පෝය ඉරිදා හින්ද නිවාඩුවක් ලැබේවි. ඒ වෙසක් නිවාඩුවක් නො වෙයි. ක්‍රිස්තියානි ඉරිදා නිවාඩුවක්. එක්සත් රාජ්‍යවල කතෝලික බහුතරයක් හිටියත් එහි සංස්කෘතිය ක්‍රිස්තියානි. එරටෙන් අද බෝන් අගේන් ආදී සංස්කෘතින් අපනයනය කෙරෙනවා. මෙරටත් එය ප්‍රශ්නයක් වෙලා තියෙන බව කාදිනල්තුමාත් දන්නවා.

බටහිරයන්ගෙ බහු සංස්කෘතික කතාව ඒ රටවල ක්‍රියාත්මක වන්නෙ නැහැ. එය නිකම් වචනයක්. සංස්කෘතීන් තියෙනවා. ඒත් අධිපතිවාදී සංස්කෘතියක් තියෙනවා. ඒ ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒත් බටහිරයන් අපට කියන්නෙ සියලු සංස්කෘතීන් සමාන ලෙස සලකන්න. ඔවුන් බහුසංස්කෘතික කතාව යොදා ගන්නෙ දෙවිධියකට. ඔවුන්ගෙ රටවල එක විධියකට අනෙක් රටවල තවත් විධියකට. එංගලන්තෙ රාමළාන් දිනයට නිවාඩු ද? වැඩිය සංස්කෘතික නිදහසක් තියෙන්නෙ මොන රටේ ද? 

ලංකාව සිංහල බෞද්ධ රටක් වෙන්න ඕන මෙහි විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ විය යුතු ය යන අර්ථයෙන්. කාදිනල්තුමා එයට එකඟ වේවි   කියා හිතනවා.   අද එහෙම නැහැ. මේ රටෙත් අධිපතිවාදී සංස්කෘතිය ඉංගිරිසි ක්‍රිස්තියානි. මංගලට අවශ්‍ය ඊනියා ලාංකික කියන වචනයට මුවාවෙලා මෙහි ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය දිගට ම පවත්වාගෙන යන්න. මංගල දැන් කියන්න බැරි නැහැ ඔහු ක්‍රිස්තියානි නොවෙයි කියල. මට ඛෙමගෙ කොලුවගෙ ආගමෙන් වැඩක් නැහැ. ඛෙමගෙ කොලුවයි එස්මන්ඩ්ගෙ කොලුවයි දෙන්න ම සංස්කෘතියෙන් ඉංගිරිසි ක්‍රිස්තියානි. රනිල්ගෙ ආණ්ඩුව ඉංගිරිසි ක්‍රිස්තියානි. ඔක්තෝම්බර් විසිහය රනිල්ගෙ ආණ්ඩුව පෙරළුණු විට බටහිර ක්‍රිස්තියානි රටවල තානාපතිවරු කලබල වුණු හැටි මතක් කර ගන්න.