Main Logo

Wednesday 8 May 2019

බෞද්ධයනට බිංදුවවත් නැහැ

බෞද්ධයනට බිංදුවවත් නැහැ

එංගලන්තෙ විදේශ ඇමති මෛත්‍රිපාලට කියල පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් කියල. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපට දැනගන්න ඕන එංගලන්තෙ ඒකට සම්බන්ධ ද කියන එක විතරයි. ඒක ඉතින් එංගලන්තෙන් දැනට දැනගන්න හම්බවෙන එකක් නැහැ. අසාන්ජ් කෙනෙක් කාලෙකට එන එකක් නැහැ. කොහොමත් ඒක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් කියල දන්නෙ නැති පිරිසක් ඉන්නවා. ඒ පඬියො, පඬි පෝතකයො හා පඬි නැට්ටො. ඔවුන් ඒ තරම් පිරිසක් නැහැ. ඒත් ඔවුන් ගැන  ලියල ටිකක් විනෝද වුණාට කමක් නැහැ. පාස්කු ප්‍රහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතු බව කියා ගන්න බැරි පඬියන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවන්ගෙ තත්වයට පත්වෙලා. කාට හරී ඒකට මූලාශ්‍ර ඕන ද?


මේ පඬියන්ට චින්තනය කියන එක නම් තේරෙන්නෙ නැහැ. ඊයෙ පාර්ලිමේන්තුවේ දි ජනාධිපතිත් චින්තනය ගැන කියලා. පාස්කු ප්‍රහාරය බටහිර චින්තනයට විරුද්ධ එකක් බව කියලා. ඒ මා කියන අර්ථයෙන් ම නොවෙන්න පුළුවන්. ඒ වුණත් චින්තනය කියන එක අද සමාජයෙ තියෙනවා. ඒත් පඬියන්ට තේරෙන්නෙ නැති දේ තියෙනවා. එක් පඬියකු කියනවා මුස්ලිම් චින්තනය බටහිර ක්‍රිස්තියානි චින්තනය පෝෂණය කරල කියලා.  මේවා එකතුවන්නේ එක් චින්තනයකින් තවත් චින්තනයකට කෙරෙන අවශෝෂණ හැටියට. එවිට එකතුවෙන්නෙ තිබුණු එක ම නොවෙයි. මේ ගැන බොහෝ දේ කියල තියෙනවා. ඒත් පඬියන් හිතන්නෙ ඒවා ඕපදූප කියලා. 

දැන් මා කිව්වොත් බිංදුව බටහිර ගණිතයට එකතු කළෙ බෞද්ධයන් කියල පඬියන් ඒක පිළිගන්නෙ නැහැ. පඬියන් ටීක කාලෙකට ඉස්සෙල්ල දැන හිටිය නම් ඒ දැන හිිටියෙ ඊනියා අරාබි සංඛ්‍යා පද්ධති ගැන. ඒ අරාබින්ගෙන් ඒ පද්ධතිය බටහිරට ගිය නිසා. ඒත් දැන් බටහිරයන් දන්නවා අරාබීන්ට ඒ පද්ධතිය ගියෙ වෛදිකයන්ගෙන් කියලා. ඔවුන් දැන් කියන්නෙ හින්දු අරාබි සංඛ්‍යා කියල. ඒත් ඒකත් වැරදියි. සංකරාචාර්යයන් හින්දු ආගම සකස් කෙළෙ අටවැනි සියවසේ. එතුමාත් නිෂේධාත්මක දේවධර්මයක් දේශනා කළා. අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් එයත් නොවෙයි මෙයත් නොවෙයි කියලයි කිව්වෙ. එතුමාට බෞද්ධ බලපෑමක් තිබුණා. එතුමා ඒ ගැන කියලා නැහැ. ඒත් එතුමාට සමහර බමුණන් කිව්වෙ වෙස්වළාගත් බෞද්ධයෙක් කියල. ආ මූලශ්‍ර ඕන ද? ඔය පොත්වල තියෙන්නෙ. පොත් කියවන්න වෙලා නැත්නම් අන්තර්ජාලයෙ තියෙනවා. 

එතකොට ශූන්‍යය. ඒක කොහෙවත් කියැවෙන්නෙ නැහැ. බෞද්ධ කියලා. ඒත් වෛදිකයන්ට ශූන්‍ය කියන සංකල්පය තිබණෙ නැහැ. ශූන්‍ය තිබුණෙ බෞද්ධයනට. බිංදුව සංඛ්‍යා පද්ධතියට එකතු වුණෙ බෞද්ධයන්ගෙන්. ඒත් ඒක බටහිරයන් කියන්නෙ නැහැ. හරියට බිංදුව ඕපපාතික ව වැටුණ වගේ. බිංදුව බෞද්ධයන්ගෙ කියන්න මූලාශ්‍ර නැහැ. ඒත් බිංදුව බටහිරට ගියා ම ඒක ඔවුන්ගෙ සංස්කෘතියට අවශෝෂණය කෙරුණා. ඔවුන්ගෙ බිංදුව යි බෞද්ධයන්ගෙ බිිංදුවයි එකමයි කියල මා කියන්නෙ නැහැ. 

ඒ වගේ තමයි කර්ක්ගාඩ්ට තිබුණු බෞද්ධ බලපෑම. ඔහු කෝපන්හේගන් නගරයට සම්බන්ධ නිසා ඔහුට පෙරදිග බලපෑමක් වුණා කියල මා කියා නැහැ. සිංහල තේරුම් ගන්න බැරි තර්ක කරන්න බැරි පඬියන් එවැනි නිගමනවලට පැමිණීම ගැන අප කුමක් කරන්න ද? කර්ක්ගාඩ් ඉපදුණෙ ෂෝපන්හෝවර්ට පස්සෙ. ෂෝපන්හෝවර්ට බෞද්ධ ආභාසය තිබුණා. නීට්ෂෙට ඔහුගෙ බලපෑම තිබුණ. නීට්ෂෙට තිබුණු බෞද්ධ බලපෑම ගැන ලියැවිලා තියෙනවා. ෂෝපන්හෝවර්ගෙ බලපෑම දර්ශනය ගැන උනන්දුවක් තිබුණ අයින්ස්ටයින්ටත් ෂ්රොඩිංගර්ටත් තිබුණ.

කර්ක්ගාඩ්ට තිබුණු බලපෑමක් ගැන බටහිරයන් කියන්නෙ නැහැ. ඒත් ඔහු ඊනියා තනි පුද්ගලයා ගැන කතා කළා. ඒක හයිඩැගර්ට බලපෑවා. ඒක නම් ලියැවිලා තියෙනවා. සාන්දෘෂ්ටිකවාදය මේ අයගෙ ආභාසයෙන් බිහි වුණෙ. සාන්දෘෂ්ටිකවාදය හා බුදුදහම විශේෂයෙන් ම සෙන් බුදුදහම අතර සම්බන්ධය ගැන ලියැවිලා තියෙනවා. කර්ක්ගාඩ්ට බෞද්ධ බලපෑමක් තිබුණ කියන්නෙ ඔහුට ෂෝපන්හෝවර් කියවන්න ලැබුණ නිසා හා ඔහු නිසා බිහිවුණු සාංදෘෂ්ටිකවාදය බුදුදහම සමග සම්බන්ධ නිසා. බටහිරයන්ට අනුව නම් බිංදුවටවත් බෞද්ධ බලපෑමක් නැහැ. බෞද්ධයන්ට බිංදුවවත් නැහැ. 

කාට හරි මේවා ඕපාදූප කියල කියන්න පුළුවන්. එතකොට බටහිර විද්‍යාඥයන් කියල තියෙන ඒව මොනව ද? ඇපල් වැටෙන්නෙ ඊනියා ගුරුත්වාකර්ෂණයක් නිසා කියන්න නිව්ටන්ට තිබුණු මූලාශ්‍ර මොනව ද? ගුරුත්වාකර්ෂණය ගැන නිව්ටන්ට ඉස්සෙල්ල ලියල තිබුණෙ මොනව ද? ඔහුට බොයිල්ගෙන් යම් අදහසක් ලැබුණ ද? ගුරුත්වාකර්ෂණය ඕපදූපයක් ද? නිව්ටන්ට ඒක කිව්වෙ කවුද? නිව්ටන් වැඩිය මිනිසුන් ඇසුරු කළ අයෙක් නොවෙයි. පඬියන්ට දැනුම නිර්මාණය කිරීම ගැන කිසිම අවබෝධයක් නැහැ. 

දැන් නැවතත් පාස්කු ප්‍රහාරයට. එය ජාත්‍යන්තර ප්‍රහාරයක්. අයිසිස් ගැන කියනවා. අයිසිස් පිටුපස ඉන්නෙ කවුද? අප කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කියලා. බටහිරයන් අල්කයිඩා අයිසිස් වැනි සංවිධාන යොදා ගන්න බව පඬියන් හැර අනෙක් අය දන්නවා. අයිසිස් ආසියාවට පැතිරෙනවා කියල බටහිර වෙනුවෙන් ඊනියා පර්යේෂණ කරන රොහාන් ගුණරත්න කියනවා. ඔහු ඒ තොරතුරු ලබා ගන්නෙ කාගෙන් ද? අයිසිස් ආසියාවට පැතිරෙන්නෙ මොක ද? ආසියාවෙ ක්‍රිස්තියානීන් එපමණ නැහැ. අප්‍රිකාවෙත් ක්‍රිස්තියානින් ඉන්නවා. අයිසිස් අප්‍රිකාවට පැතිරෙන්නෙ නැත්තෙ මොක ද? අප කියනවා බටහිරයන් චීන සේද මාර්ගය ව්‍යාප්තවීමට විරුද්ධ ව අයිසිස් ආසියාවෙ යොදා ගන්නවා කියලා. මූලාශ්‍ර රොහාන් ගුණරත්නගෙන් ඉල්ල ගන්න. 

ලංකාව චීන සේද මාර්ගයේ වැදගත් තැනක් වෙනවා. මා කියා ඇති පාස්කු ප්‍රහාරය එක ගලින් කුරුල්ලන් කිහිප දෙනකු මරාගැනීමක් බව. මෙරට සිංහලයන් අතර යම් මුස්ලිම් විරෝධයක් තිබුණ. බටහිරයන් හිතුවෙ එය යොදා ගෙන මෙරට ලේ වැගිරීමක් කරල අරාබි වසන්තය අපට ගේන්න. එහෙත් සිංහලයන් ඉවසීමෙන් වැඩ කළා. බටහිරයන් තම බලාපොරොත්තු අත්හැර ගෙන නැහැ. ඔවුන් දැන් අපට උපදෙස් දෙනවා!

සිංහලයන් අතර යම් මුස්ලිම් විරෝධයක් ඇති වුණෙ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තියක් මෙරට  තිබුණු නිසා. මේ ව්‍යාප්තියට සියලු දේශපාලනඥයන් වග කියන්න ඕන. මුස්ලිම් ඡන්ද බලාපොරොත්තුවෙන් සියලු දේශපාලන පක්‍ෂ මුස්ලිම් දේශපාලනඥයන් රැක්කා. මුස්ලිම් දේශපාලනඥයන් අයිසිස් නැත වැනි කතා කියමින් අයිසිස් වක්‍රව හරි රැක්කා. අද ඔවුන් ත්‍රස්ත විරෝධීන් වෙලා. ඒත් ඔවුන් තමයි ත්‍රස්තවාදීන් රැක්කෙ. අදත් ඊනියා පසුපෙළ දේශපාලනඥයන් පමණයි ත්‍රස්තවාදීන් රැකි දේශපාලනඥයන්ට විරුද්ධ ව කතා කරන්නෙ. ප්‍රධාන දේශපාලනඥයන් කිසිවක් කියන්නෙ නැත්තෙ මුස්ලිම් දේශපාලනඥයන් නිවැරදි නිසා ද? 

පොලිස් බී වාර්තා ගැනත් යමක් කියන්න ඕන. අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදීන් අධිකරණයෙන් නිදහස ලබා ගෙන යන්නේ කොහොමද? පොලිසිය අධිකරණයට ගොස් නඩු පවරන්න යන්නෙ මොන නීතිය යටතේ ද කියල දන්නෙ නැහැ කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ආරක්‍ෂක ඇමති ආරක්‍ෂක ලේකම් හා වැඩබලන පොලිස්පති මේ ගැන සොයා බලනවා ද?