Main Logo

Saturday 4 May 2019

පළිගැනීම පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම

පළිගැනීම  පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම



බටහිර නූතනත්ව සංස්ථාපනය විවිධ සංවිධාන අටවා ගැනීම ඇති වී තිබෙන සංවිධාන තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම නොදන්නා කෙනකු ඉන්නවා නම් ඒ පඬියකු ම වෙන්න ඕන. පාස්කු ප්‍රහාරය කෙළෙ ජාතික තව්හීඩ් ජමාද් සංවිධානය බව දැන් තහවුරු වෙලා. නඩු   විභාගයක් නැතිව ඒක දැන ගත්තෙ කොහොමද වගේ පඬි කතා අහන්න පුළුවන්. අපටත් අවශ්‍ය කාලයෙන් පස්සට බලපාන නීති සම්මත කරල ඉක්මනට නඩුව විභාග කරල මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙදි මුලිනුපුටා දාන්න. ඒත් රනිල්ගෙ ආණ්ඩුව තියෙනකන් ඒක වෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. රනිල් බොරු කතා කිය කිය හිටියෙ ඊනියා විදේශීය සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගන්න නීති නැහැයි කියල. දැන් ඒ අමන කතාව කියන්න බැහැ. 


පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි අය කවුද? ප්‍රධාන වශයෙන්ම එය සංවිධානය කළ අය. බටහිර නූතනත්ව සංස්ථාපනය එය දැන ඉන්න ඕන. ඔවුන් අපේ බුද්ධි අංශවලට තොරතුරු දුන්න ද, දුන්න නම් ඒ මොනව ද කියන එක අපි හරියට දන්නෙ නැහැ. අමාත්‍ය හර්ෂ ද සිල්ව කියන විධියට නම් එක්සත් රාජ්‍ය තොරතුරු ලබා දීල. එහෙත් එක්සත් රාජ්‍යවල මෙරට තානාපතිනිය වහාම ප්‍රකාශයක් නිකුත් කළා එහෙම තොරතුරු ලබා දුන්නෙ නැහැ කියල.

මෙය තේරුම් ගන්න අමාරුයි. ඇමති කෙනෙක් කියන දෙයක් තානාපතිනිය ක්‍ෂණික ව ප්‍රතික්‍ෂෙප කිරීම. එක්සත් රාජ්‍ය මේ ප්‍රහාර ගැන දැන නොසිටියා යැයි කියන්න බැහැ. ඒ ඔවුන් සංවිධානය කළ නිසා යැයි මා කියන්නේ නැහැ. ඔවුන්ට තරම් බුද්ධි අංශ වෙන කාටවත් තියෙනවයි කියල හිතන්න බැරි නිසා. තානාපතිනිය කියන විධියට ඔවුන් අපට තමන් දන්න තොරතුරු ලබා දීල නැත්නම් ඒ මොකද කියල අහන්න වෙනවා. අනෙක් අතට ඇමති කියන විධියට තොරතුරු දීල නම් ඒ තොරතුරු අනුව කටයුතු කෙළෙ නැද්ද එහෙමත් නැත්නම් දුන් තොරතුරු වැරදි ද වගේ ප්‍රශ්න කිහිපයක් අහන්න වෙනවා. 

මා හිතන්නෙ අපේ විවිධ පරීක්‍ෂණ හුදෙක් ලංකාවේ සිදු වූ දේට පමණක් සීමා කළ යුතු නැහැ. මෙයට මුහුදෙන් එතෙර සම්බන්ධකම් ද හොයන්න ඕන. ප්‍රහාරයෙන් පස්සෙ අයිසිස් නායකයා යැයි කියන්නා අවුරුදු පහකට පස්සෙ රූහඬ පටයක් නිකුත් කරලා. එහි ලංකාවේ ප්‍රහාරය ගැන ද සඳහන් වන බව කියනවා. එහෙත් ලංකාව ගැන කර ඇති ප්‍රකාශය හඬට පමණක් සීමා වෙන බවත් කියනවා. ඒ කියන්නෙ ඒ ටික රූහඬ පටයට පස්සෙ එකතු කරපු එකක්. මේ පටය කෙතරම් විශ්වාස දැයි දන්නේ නැහැ. එහි තිබෙනවා යැයි කියන කරුණු අනුව නම් ලංකාවෙ ප්‍රහාරය අයිසිස් තම පරාජය නිසා පළිගැනීමට කරන ලද්දක්. 

මේ පළිගැනීම් කතාව ආණඩුවත් කිව්ව. ඒත් ඒ නවසීලන්ත ඝාතනවලට පළිගැනීමක් කියල. එහෙත් නවසීලන්ත අගමැතිනිය ඒ කතාව ප්‍රතික්‍ෂෙප කළා. ඒ ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පස්සෙයි අයිසිස් නායකයා යැයි කියන්නාගේ රූහඬ පටය නිකුත් වුණෙ. මේ කතාවලින් අපට ස්ථිර නිගමනයකට එන්න බැහැ. එහෙත් ආණ්ඩුව යමක් දැන සිටි බවක් මේ කතාවලින් හෙළි වෙනවා. ඊනියා පළිගැනීමක් ගැන ආණ්ඩුව දැන ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් පාස්කු ඝාතන පළිගැනීමකට කරපු එකක් බවට සංවිධායකයන්ට ලෝකෙට කියන්න වුවමනාවක් තිබිල තියෙනවා. ආණ්ඩුව දන්නෙ සංවිධායකයන් කී දේ. ප්‍රහාර පළිගැනීමක් සඳහා කළා වුණත් අපේ බුද්ධි අංශ ක්‍ෂණයකින්  ඒ දැන ගන්න ඉඩක් නැහැ. 

මේ පරස්පර නිසා පළිගැනීම කතාව ප්‍රබන්ධයක් බව කියන්න පුළුවන්. එපමණක් නොවෙයි ප්‍රහාරයේ සංවිධායකයන් ආණ්ඩුවට ඇතැම් ව්‍යාජ තොරතුරු ලබා දීම ද කර තිබෙනවා. මා ව්‍යාජ තොරතුරු කියා කියන්නේ ඒ සිදු වූ දෙයක් නොවන නිසා. සංවිධායකයන් පළිගැනීම් කතාව ගොතා ඇත්තේ ලෝකය නොමග යැවීමටයි. අයිසිස් සංවිධානයට පළිගැනීමට වුවමනාවක් තිබුණ නම් ලංකාව තෝර ගන්නෙ මොකට ද? ලංකාවෙ ආරක්‍ෂක සංවිධාන දුර්වල නිසා එහෙම කෙරුව කියල කියන්න පුළුවන්. එහෙත් එය ප්‍රමාණවත් ද?

ඒත් මේක පළිගැනීමක් වෙන්නෙ නැත්තෙ ලංකාවෙත් ඒ සඳහා සූදානමක් තිබුණු බව දැන් පේන්න තියෙන නිසා. ඇතැම් පල්ලිවල හා වෙනත් තැන්වල කඩු හංගන්න පටන් ගත්තෙ ඊනියා පළිගැනීමේ වුවමනාවකට කලින් බව තේරෙනවා. ඒ සූදානම කාලයක් ගත වෙන එකක්. මේ කඩු කොස් කොටන්න නොවන බව පැහැදිලියි. තණකොළ කපන්න නම් වෙන්න පුළුවන්. ඒත් අර ඇමති ගෙන්නල කඩුවලින් තණකොළ කපන හැටි පෙන්නන්න කිව්ව නම් වටිනවා.

සංවිධායකයන්ට ඒ කියන්නෙ බටහිර නූතනත්ව සංස්ථාපනයට අවශ්‍ය වුණෙ ප්‍රහාරයෙන් පස්සෙ බටහිර රටවල මුස්ලිම් විරෝධයක් ඇති කරන්නත් ලංකාවෙ සිංහලයන් මුස්ලිමුන්ට විරුද්ධ ව ප්‍රචණ්ඩත්වයට තල්ලු කර සිංහලයන් අර කඩුවලින් පිළිගන්නත්. පළිගැනීම කොහොම වුණත් එවැනි පිළිගැනීමක් නම් බලාපොරොත්තු වෙලා තියෙනවා. 

ඒ සියල්ල කරන්නෙ මොකට ද? තමන් කැමති පාලකයෙක් පත්කර ගන්න එහෙමත් නැතිනම් තමන් අකමැති පාලකයෙක් ඉවත් කරන්න. එහෙමත් නැත්නම් තමන් අකමැති පාලකයකු පත්වීම වළක්වන්න. මහින්ද  ඉවත් කළෙත් ඒ අකමැත්ත නිසා. තව ටිකෙන් අරාබි වසන්තයක් උදා කරලා. පඬියන්ට දැන් ඒ සියල්ල අමතකයි.  දැන් ඉවත් කරන්න ඕන කාව ද? මෛත්‍රිපාල ද? අද බටහිර සංස්ථාපනය ඔහුට කැමති නැති බව පැහැදිලියි. එහෙත් ඔහු ඉවත් කිරීමට කඩු ගැමකට යැමට තරම් බටහිර නූතනත්වය මෝඩ වෙන එකක් නැහැ. මෙතන තියෙන්නෙ මෛත්‍රිපාල ඉවත් කිරීමකට වඩා රනිල්ට පූර්ණ බලතල ලබා දීම හා වෙනත් අයකු ජනාධිපති වීම වැළැක්වීම. සිංහල මුස්ලිම් ගැටුමකින් පස්සෙ බටහිර හමුදා ඊනයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා මැදිහත් වෙලා රනිල්ට පූර්ණ බලතල දෙන්න තිබුණා. 

රනිල් බලයට පත් කරන්න තියෙන අවශ්‍යතාව ජනාධිපතිවරණයකින් ඔහු පරදීය කියන බිය. රනිල්ට පූර්ණ  බලතල දෙන්න වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ල. ව්‍යවස්ථාවට පිටින් එන මිනිහෙක් ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්නෙ නැහැ. ජනාධිපතිවරණ පවත්වන්නෙත් නැහැ. එවිට වෙනත් අයකු ජනාධිපතිවීම වළක්වන්න පුළුවන්.  කොහොම හරි සැලැස්ම පරාජය වුණා. මට මතක් වෙන්නෙ ප්‍රහාරයෙන් පස්සෙ රනිල් වැඩ කරපු විධිය, ඔහුගෙ මුහුණ, ඔහුට තරහ යැම ආදිය. හරියට බලාපොරොත්තු කඩවෙච්ච මිනිහෙක් වගේ. අපි ජනාධිපතිවරණය පවත්වා ගැනීම සඳහා කටයුතු කරමු.