Main Logo

Wednesday 21 September 2022

මගේ ප්‍රශ්නය හා රටේ ප්‍රශ්නය

 

මගේ ප්‍රශ්නය හා රටේ ප්‍රශ්නය

 

මා ආගිය තොරතුරු ලියන්නේ මගේ ප්‍රශ්නය නිරවුල් කර ගැනීමටයි. පඬි නැට්ටන් නම් කියන්නේ තමන් නිරවුල් බැවින් නිරවුල් වීමට අවශ්‍ය නැති බවත් මා අවුල් නිසා නිරවුල් වීමට තැත් කරන බවත්. ඔවුන්ට නිරවුල් බව තබා ගැනීමට කියා ප්‍රාර්ථනා කිරීමට හැකි නමුත් එය රටට අහිතකරයි. මගේ ප්‍රශ්නය මට බටහිර විිද්‍යාඥයකු වීමට නොහැකි වූයේ ඇයි ද යන්නයි. මෙරට ජාතික විද්‍යා ශාස්ත්‍රීය සංගමයක් (National Academy of Sciences) තියෙනවා. එහි අධිසාමාජිකයන් (Fellows) එකසිය පනස් දෙනකු පමණ ඉන්නවා කියලයි මා හිතන්නෙ. මා ඔවුන් අතරවත් නැහැ. මා අවුරුදු විසිහයක් වීමට කලින් ආචාර්ය උපාධියක් ලබා ගත්තත් මහාචාර්යවරයකු වුණේ හැට පැන්නටත් පස්සෙ. මා දන්නා අනෙක් හැම මහාචාර්යවරයකු ම වගේ හැට පනින්න කලින් මහාචාර්යවරුන් වුණු අය. අවුරුදු තිහෙන් තිස්පහෙන් මහාචාර්යවරු වෙච්ච විද්වතුනුත් ඉන්නවා. ඔවුන් උගතුන් වෙන්න ඕන. ඒත් ඒ අය විිද්‍යාඥයන් නම් නොවන බව මා කියන්නේ ඊර්ෂ්‍යාවකින් නම් නො වෙයි.

 

අපට විද්‍යාඥයන් වෙන්න බැහැ. පඬි නැට්ටන් නම් කියන්නෙ මට බැරි නිසා මා අනෙක් අයටත් බැහැ කියල කියන බවයි. ඒත් පඬි නැට්ටකුට පුළුවන් නම් අලුත් සංකල්පයක් ප්‍රවාදයක් සංස්කරණය (නිර්මාණය) කළ අයකු පෙන්වන්න. අපට බටහිරයන් සමහර දෙනකුට වගේ වැදගත් අදහස් එන්නෙ නැහැ. අපට අදහසක් දුන්නොත් ඒක මත ඉඳලා යමක් කරන්න පුළුවන්. ආචාර්ය උපාධි සඳහා යන අයට එතරම් වැදගත් අදහසක් දෙන්නෙත් නැහැ. ඔවුන්ට ලැබෙන්නෙ ඉතා සාමාන්‍ය අදහස්.

 

අපේ රටේ ප්‍රශ්නය අපට දියුණු වෙන්න බැරිකම. අප 1948 සීමිත නිදහසක් ලබන විට හිටපු තත්වයවත් අපට පවත්වගෙන යන්න බැරි වෙලා. අප ආදායමට වඩා වියදම් කරලා. අපේ ප්‍රශ්නය ආදායමක් ලබා ගැනීමට අපට අදහස් නැති වීම. මා කලින් නොයෙකුත් වතාවල කියා ඇති අප ලොකුවට හිතන්න ඕන කියා. ඒත් අපේ ඊනියා ව්‍යවසායකයන්ට ලොකුවට හිතන්න බැහැ. අර අපේ උගතුන්ට ලොකු අදහස් එන්නෙ නැතුව වගේ.

 

අප බටහිර විද්‍යාව කරන්නෙත් දියුණු වෙන්න හදන්නෙත් බටහිර රාමුවෙ. විස්තරාත්මක ව කියනව නම් බටහිට ක්‍රිස්තියානි නූතනත්ව රාමුවෙ. ඒ සඳහා අපට වැදගත් අදහස් තියෙන්න ඕන. වැදගත් කියන එකෙන් අදහස් කරන්නෙ මධ්‍යයේ ඇති ඉතා ප්‍රධාන අදහස්. අප ලොකුවට හිතන්න ඕනෙ. අපට එසේ කිරීම තබා පිළිවෙළකට හිතන්නවත් බැහැ. අප ඉතා පොඩි වැඩ ලොකුවට ගන්නවා.

 

අප ඉතා ආසන්න උදාහරණය ගමු. රනිල් මළගෙදර ගිහින්. ඒක අපට මළ කරදරයක් කියා මා කියන්නෙ නැහැ. එහෙත් ජාතික රුපවාහිනිය ඔහු මෘත ශරිරයට අවසන් ගෞරව දැක්වීම විශේෂ ප්‍රවෘත්තියක් (Breaking News) ලෙස ප්‍රචාරය කළා. ඔහු චාල්ස් වින්ඩ්සර් හමුවීම සුහද කතාබහක යෙදීමක් ලෙස ප්‍රචාරය කරනවා. ඔහු චාල්ස් වින්ඩ්සර් සමග කොපමණ වෙලා කතා කළා ද අනෙක් රාජ්‍ය නායකයන්ට වඩා විශේෂ තැනක් ඔහුට හිමි වුණා ද කියා කියන්නෙ නැහැ. රනිල් තවත් රාජ්‍ය නායකයෙක් පමණයි. මෛත්‍රිපාල නම් අඩු තරමෙන් අත්වැසුම් නොමැතිව තම රැජනට අතට අත දුන්නා!

 

බටහිර මොකක් හරි ආයතනයක රැකියාවක් කිරීම අපට ලොකු වැඩක්. අහවලා අහවල් ආයතනයෙ අහවලා කියා අප ලොකුවට කියනවා. එහෙත් එවැන්නන් දසදහස් ගණනින් බටහිර ඉන්නවා. අපට බටහිර ක්‍රමයට ලොකු වැඩ කරන්න බැරි නිසා පොඩි වැඩ ලොකුවට හිතනවා. අප බටහිර ක්‍රමයට වැඩ කරන්න ගියත් අපට අඩු තරමෙන් ඔවුන්ගෙ පිළිවෙළට වැඩ කරන්නවත් බැහැ. ඔවුන්ගෙ ක්‍රමයට සැලසුම් කිරීම කියන එක අප දන්නෙ නැහැ. 

 

අපි හැම තිස්සෙම හදන්නෙ අපේ බටහිර දැනුමෙ පොඩි උගත්කමක් අනෙක් අයට ලොකුවට ප්‍රදර්ශනය කරන්න. අනෙක් අය නොදන්න බටහිර දැනුමක් තමා දන්නවා කියන්න අප උත්සාහ ගන්නවා. අප අපේ දැනුමක් ගැන කියන්න කැමති නැහැ. බටහිරයන්ට අවශ්‍ය අන්දමට අපි අපේ දැනුම ඊනියා මිථ්‍යා ලෙස සලකනවා. මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය අප හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉවත දානවා. ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමක් ගැන හිතන්න බටහිරයන් අපට ඉඩ දෙන්නෙ නැහැ.

 

ජයසුන්දරගෙ කීමට එක පෑන් පහරින් පොහොර ආනයනය නැති කරන්න  කටයුතු කරල ලොකු අමාරුවක වැටුණා. අප බටහිර වෙදකම ලොකුවට අරගෙන අපේ වෙදකම විශාල වශයෙන් නැති කර ගත්තා. ඒත් බටහිර වෙදකමත් දැන් අපට කර ගන්න බැහැ. අර අවුරුදු හැටෙන් විශ්‍රාම යන්න කියන නීතිය සහ තවත් හේතු නිසා ඇතැම් බටහිර වෙදමහතුන් රට අත්හැරල යනවා. අවුරුදු හැටෙන් විශ්‍රාම යවන එක නොවෙයි ප්‍රශ්නය. එය කරන ආකාරයයි ප්‍රශ්නය.  අපට අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ.

 

අප ඉන්නෙ ආර්ථික අර්බුදයක. එය බටහිර ක්‍රමයෙ අදහස් නැතුව බටහිර අනුකරණය කරල බටහිර වගේ නිෂ්පාදනයක් නැතුව නමුත් බටහිර වගේ ජීවත්වෙන්න ගිහින් ඇති කරගත් එකක්. මෙරට උගතුන් ඒ ප්‍රශ්නයවත් හඳුනගන්නෙ නැහැ. සියල්ලන් ම සතුටින් කියන්නෙ රාජපක්‍ෂලා හොරකම් කරපු නිසා වෙච්ච ඇබැද්දියක් කියල. අප දන්න එක දෙයක් තමයි වරද වෙනත් අයකු පිට පැටවීම. ආර්ථික අර්බුදයට අපි හැමෝ ම වැරදි කාරයො.

 

අද තවත් ප්‍රශ්නයක් පටලවා ගෙන. ආගමික සිද්ධස්ථානවලත් විදුලි බිල වැඩි කරලා. ඒ අතර ඊනියා ව්‍යවසායකයන්ට සහන දෙනවා. ආගමික සිද්ධස්ථානවල විදුලි බිල වැඩි කිරීම ගැන මා ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ වන්නෙ නැහැ. එහෙත් එය කළ විධියෙ වැරැද්දක් තියෙනවා. අප අද හැම දෙයක් ම කරන්නෙ ප්‍රදර්ශනය සඳහා. පන්සල්වල  විදුලි බුබුළු දල්වන්නෙ පහන් පූජාව සඳහා නො වෙයි. විදුලිය ලැබීමට පෙරත් අප පහන් පූජා පැවැත්තුවා. ආලෝක පූජාව අපට නුහුරු එකක් නො වෙයි. එහෙත් ආලෝක පූජාව කියල ශක්ති අධිපරිභෝජනය නම් වැඩකට ඇති එකක් නො වෙයි.

 

අප ගෙදරක බණක් කිවුවත් ශබ්ද විකාශන මගින් අනෙක් අයටත් බණ අහන්න සලස්සන අය. මුස්ලිම් පල්ලිවල අපටත් ඇහෙන්න දවසකට පස්වතාවක් යාඥා කරනවා. අප ප්‍රදර්ශනයට තමයි වඩා කැමැත්තක් දක්වන්නෙ. තමා බඩගින්නෙ හිටියත් මාමගෙ පුතා වැඩ කරන්නෙ හිල්ටන් හෝටලයෙ කියල අප අනෙක් අයට කියනවා. ගෙදරදි ඒකගෙන් කිසි උදවුවක් නැහැ කියල බණිනවා.

 

ව්‍යවසායකයන්ට සහන දුන්න කියල සත පහක වැඩක් වෙන්නෙ නැහැ. අර බදු සහන දුන්න කියල වෙච්ච වැඩේ මොකක් ද? ඔවුන්ට අදහස් නැහැ. ලොකුවට හිතන්න බැහැ. ඔවුන් වැඩියෙන් දන්නෙ බයින් ඇන්ඩ් සෙලින්. මිල දී ගෙන විකිණීම. සාමාන්‍ය වෙළෙඳුන් කරන්නෙත් ඒකයි. බටහිර ක්‍රමයට අර බෙල් වක්‍රය පිළියෙළ කළොත් අප සියල්ලන් ම වගේ ඉන්නෙ මැද. අදහස් එන්නෙ අර එක් අන්තයක ඉන්න අයට.

 

අපට ක්‍රමයක් සැලැස්මක් නැතුව නො වෙයි. නුවර පෙරහැර වගේ පෙරහැරක් පැවැත්වීම සැලැස්මක් ක්‍රමයක් නැතුව කරන්න පුළුවන් වැඩක් නො වෙයි. පන්සලේ කෙරෙන විදුලි ආලෝක ප්‍රදර්ශනය කෙසේ වෙතත් අප එහි වැඩ කරන පිළිවෙළක් තියෙනව. ඒ අපේ ක්‍රමයක්. අද අපට වෙලා තියෙන්නෙ අපේ ක්‍රමයක් අපේ සැලැස්මක් ගැන පමණක් නොව අපේ දියුණුවක් ගැන ද අවබෝධයක් නොමැති වීම. බටහිර නොවන රටවලට පොදුවේ මේ ප්‍රශ්නය තියෙනවා. ජපානය බටහිර ක්‍රමය අනුගමනය කරනවා. තමන්ගෙ සිරිත් විරිත් පමණක් තියාගෙන. චීනයට ඇත්තේ වෙනත් ක්‍රමයක්. ඉන්දියාව පොහොසත් බව ප්‍රදරශනය කරන දුප්පත් රටක්.

 

මට විද්‍යාඥයකු වීමට නොහැකි වුණෙ බටහිර ක්‍රමයට ඒ චින්තනයෙ වැදගත් අදහස් එන්නෙ නැති නිසා. මා කැලණියේ දී අපේ අදහස් උඩ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුට පශ්චාත් උපාධි සඳහා මග පෙන්නුවා. එය සාර්ථක වුණා. අපට බටහිර ක්‍රමය අනුකරණය කරලා ඊනියා දියුණුවක් ලබන්න බැහැ. අපට අදහස් නැහැ. අපට ලොකුවට හිතන්නත් බැහැ. අප අද අනුකරණය කරන්නෙ ස්වර්ගය අරමුණු කරගත් දියුණුවක් ලබා ගත් බටහිර රටවල්. අපට එය කරන්න බැහැ. අප නිවන අරමුණු කරගත් ආර්ථිකයක් අනුගමනය කරන්න ඕන. ඒ කියන්නෙ සියල්ලන්ට නිවන් සම්මාබෝධ කිරීම නො වෙයි. බටහිර රටවල නිෂ්ඨාව සමාජයක් ලෙස ස්වර්ගය නො වෙයි. අපේ නිෂ්ඨාවත් සමාජයක් ලෙස නිවන නොවෙයි. අපි අද වැවයි දාගැබයි කියන්නෙ කිසිම තේරුමක් ඇතුව නො වෙයි. 

 

අපේ මූලික ප්‍රශ්නය අප බෞද්ධයන් නොවීමයි. සියලු දැනුම් බොරුය කියන එක මායාවක් කියන එක අපට තේරෙන්නෙ නැහැ. වැඩ කරන හරියන කතා දැනුම හැටියට පිළිගන්න බව අප දන්නෙ නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන එක පඬි නැට්ටන්ට කියා දෙන්න මට වුවමනාවක් නැහැ.