ක්‍රිකට් හා අපි
ක්‍රිකට් හා දැල් පන්දු ගැන අප කතා කළත් අපේ වැඩි උනන්දුව ක්‍රිකට් වෙතටයි. යම් අයුරකින් වෙනත් දවසක දැල් පන්දු ආසියානු ශූරතාව දිනා ඒ කණ්ඩායම පැමිණියා නම් අද මෙන් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වොලිබෝල් ගැන එතරම් කතාවක් නැහැ. අප කුමක් කීවත් මෙරට ජාතික ක්‍රීඩාව බවට ක්‍රිකට් පත් වෙලා. මා හිතන්නේ අද බොහෝ පාසල්වල ක්‍රිකට් කණ්ඩායම් තියෙනවා. සමහර විට දෙවැනි කණ්ඩායම් ඒ කණ්ඩායම් අවුරුදු දහසයෙන් පහළ කණ්ඩායම් ආදී වශයෙන් ද කණ්ඩායම් තියෙනවා වෙන්න පුළුවන්.
රට තොට දිහා බලන විට මට අනාවැකියක් කියන්න
පුළුවන්. වැඩි කල් යන්න මත්තෙන් රගර් ක්‍රීඩාවට ද ජනප්‍රියබවක් ලැබෙනවා. අප පාසල්
යන අවධියේ රගර් ක්‍රීඩා කෙළේ පාසල් කිහිපයක පමණයි. එහෙත් අද එය තරමක් පැතිරිලා.
අනාගතයේ දී එය තව තවත් වැඩි වේවි.
ලංකාවත් පකිස්ථානයත් ආසියා කුසලාන අවසන් තරගයට
ඉදිරිපත් වුණේ ඒ ඒ රටවල අමාරුකම් මධ්‍යයේ. දෙරටේ ම ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ
මදිවාට පකිස්ථානයේ ගංවතුරක්. එහෙත් දෙරටට ම ඒ සියල්ල අමතක වුණා. පකිස්ථානය ජය ගත්ත
නම් ඒ කණ්ඩායමට එරට විශාල පිළිගැනීමක් අත් වීමට තිබුණා. ඉන්දියාව බංග්ලාදේශයත්
එහෙමයි. ඉන්දියාවේ ක්‍රීඩකයන්ට පරාජයෙන් පසු එතරම් ඇබැද්දියක් වූ බවක් මෙවර ආරංචි
වන්නේ නැහැ.
අප ඉන්නේ දකුණු ආසියාවේ. ඇෆ්ගනිස්ථානයත් දකුණු
ආසියාවේ අසල්වැසි රටක්. මේ කලාපයේ ප්‍රධාන රට ඉන්දියාව. සාර්ක් කලාපයට ඉහත කී
රටවලට අමතර ව තවත් රටවල් අයිති වෙනවා. එහෙත් ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය හා
ලංකාව අතර අනෙක් රටවල් සමග ඇති සමීපත්වයට වැඩි සමීප බවක් තියෙනවා. අද පකිස්ථානය හා
බංග්ලාදේශය මුස්ලිම්. ලංකාව බෞද්ධ. ඉන්දියාව හින්දු.
ලෝකයේ ඇති බෞද්ධ රටවල් අතරෙන් හීනයාන, මහායාන, තන්ත්‍රයාන, වේවා
ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ ලංකාවේ පමණයි. මුස්ලිම් රටවල් අතරෙන් ද ක්‍රිකට් ක්‍රීඩාව
කරන්නේ පකිස්ථානයේ බංග්ලාදේශයේ හා ඇෆ්ගනිස්ථානයේ. අග්නිදිග ආසියා රටවල් මුස්ලිම්
වුවත් බෞද්ධ වුවත් ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ නැහැ. කතෝලික පිලිපීනයේත් ක්‍රිකට්
නැහැ. මේ සමහර රටවල් බිරිතානි යටත්විජිත වෙලත් තිබුණා.
නේපාලය හින්දු රටක්. එහි ඉන්දියාවේ බලපෑම ඉතා
දැඩියි. එහෙත් ඔවුන්ගේ සංස්කෘතිය වඩාත් සමීප වන්නේ අග්නිදිග ආසියාතික රටවලට. එහි
ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ නැහැ. නේපාලය හා ඉන්දියාව අතර ඇති සංස්කෘතික සම්බන්ධය
කුමක් ද?
අද බොහෝ දෙනා විශ්වාස කරන්නේ නේපාලයේ
ලුම්බිනිය සිදුහත් කුමරු උපන් ප්‍රදේශය කියා. එහෙත් බුදුන් වහන්සේ වැඩි කලක් වැඩ විසුවේ
අද ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය කියන බිමේ. විශේෂයෙන් මගධය කියන හරියේ.
එහෙත් ඉන්දියාවට බුදුදහම රැකගන්න බැරි වුණා.
බුදුදහම ප්‍රචලිත වුණේ කහ පාට මිනිසුන්ගේ ලෝකයේ. ඉන්දියාව නිසා නේපාලය හින්දු
වුණා. කහපාට නොවන රටවලින් බුදුදහම ඇත්තේ ලංකාවේ පමණයි. අප අමතක නොකළ යුතු කරුණ නම්
අපත් තව ටිකෙන් හින්දු වීමට තිබුණු බවයි. විජයබාහු රජු නොවන්නට අප හින්දු වෙන්න
තිබුණා.
එලිසබෙත් වින්ඩ්සර් මිය ගියාට ශෝක වන්නේ රනිල්
ප්‍රමුඛ අප පමණක් නොවේ. (පඬි නැට්ටකු ඒ වාක්‍යය කියවා හා නලින් ද සිල්වාත් ශෝක
වෙනවා කියන්න බැරි නැහැ, ශෝක
වෙන්නෙ නැත්නම් සතුටු වෙනව ද කියා අහන්නත් බැරි නැහැ). මෝදි ප්‍රමුඛ ඉන්දියාවත්
ශෝක වෙනවා. ඊයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබුණු පිළිගැනීමට වඩා පිළිගැනීමක් 1953 දී
එලිසබෙත් වින්ඩ්සර් ලංකාවට පැමිණි අවස්ථාවේ ඇයට ලැබුණා. ඇය ඉන්දියාවට තෙවරක් ගොස්
තියෙනවා. අවසාන ගමන ඉන්දියාවේ නිදහසේ පනස්වැනි වසර සමරන්න. ඒ අවස්ථාවේ නම් තරමක ප්‍රශ්නයක්
ඇති වී තියෙනවා. අප අපේ පනස්වැනි නිදහස් සමරුව සඳහා චාල්ස්ට ආරාධනය කළා.
මියන්මාහි නම් කිසි දා එවැන්නක් සිදු වන්නේ
නැහැ. ඔවුන් කලින් සඳහන් කළ පරිදි ක්‍රිකට් ක්‍රීඩාව කරන්නෙත් නැහැ. මේ සියල්ල
තේරුම් ගන්නේ කෙසේ ද? ආගම් අතින් වෙනස් වුවත් ඉන්දියාව
බංග්ලාදේශය පකිස්ථානය ලංකාව එක වගේ. ඉන්දියාව හා නේපාලය හින්දු වුණත් තරමක් වෙනස්.
අපත් මියන්මාත් බෞද්ධ වුණත් යම් වෙනසක් තියෙනවා. මියන්මා මට ගෙදර වගේ දැනුණා. ඒත්
ක්‍රිකට් තිබුණේ නැහැ.
උතුරු ඉන්දියාවත් දකුණු ඉන්දියාවත් වෙනස් වුණත්
වෛදික කතාවලින් එකතු වෙනවා. අද ක්‍රිකට් විස්තර විචාරකයන් ඉන්දියාව පකිස්ථානය
බංග්ලාදේශය හා ලංකාව හැඳින්වීමට උපමහාද්වීපය (සබ්කොන්ටිනට්) කියන වචනය යෙදා
ගන්නවා. ඔවුන් කියන විධියට ඒ රටවල තණතිලි ඕස්ත්‍රේලියාවේ හරි එංගලන්තයේ හරි
තණතිලිවලට වෙනස්. අපේ රටවල් විශිෂ්ට දඟ පන්දු යවන්නන් බිහි කර තියෙනවා.
අප හුදෙක් තණතිලිවලින් පමණක් සමීප වූ රටවල්
නොවෙයි. අපට බලපාන යම් වෙනත් කතාවක් තියෙනවා. අප භෞමික උප මහාද්වීපික රටවලට වඩා
වැඩි යමක්. විජයගේ කාලයේ සිට අප මේ සංස්කෘතික උපමහාද්වීපයට අයත් වෙලා තියෙනවා. මා
හිතන්නේ විජයගේ පැමිණීම සංකේතවත් කරන්නේ එසේ අයත්වීම බවයි. එහෙත් අප ඒ සංස්කෘතික
ප්‍රශ්නයේ දී අපේ අනන්‍යතාව රැක ගැනීමට මහත් වෙහෙසක් දරා තියෙනවා. එසේ වෙහෙසක්
දැරුවත් විජයබාහු රජු වෛදික ආක්‍රමණය පරාජය කළත් අපට සඳකඩ පහණේ ගවයා රැක ගැනීමට
බැරි වුණා. අපි ධාතුසේන රාජ කාලයේ සිට මහා පරිමාණයෙන් වැඩ කරන්න පටන් ගත්තා. අපේ
සරල දිවි පැවතුම් ක්‍රමයෙන් වෙනස් වුණා.
ආසියානු ක්‍රිකට් කුසලාන එලිසබෙත් වෙනුවෙන් ශෝක වීම ආදියෙහි දී අප ඉන්දියාව සමගයි. අපත් ඉන්දියාවත් එංගලන්තය සමගයි. මැකෝලි දක්‍ෂයෙක්. කමක් නැහැ. අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පතමු. අර පාද සටහනක් ලියන්නා වගේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ට ද සුබ පතමු. අප කාන්තාවන් ගැන කතා කළ බිනර පොහොය පහු කළා පමණයි.