මා තවමත් ගොඩයෙක්
රාජකීය විදුහල ගැන බොහෝ දේ ලියන්න තිබුණත් කරුණක් දෙකක් පමණක් සඳහන් කරනවා. එය ලංකාවේ ඉහළ ම අනුකාරක පාසල. ඒ පාසල 1835 දී අරඹා ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින් එංගලන්තයේ ඊට්න් පාසල අනුකරණය කරමින්. ඉංගිරිසින් යටතේ ම ටික කලකින් එය රජයේ පාසලක් බවට පත් වී තියෙනවා. එහි කලක් ඉගෙන ගත්තේ මෙරට ඉහළ ම කොළඹ ආශ්‍රිත ඉංගිරිසි අනුකාරකයන්ගේ දරුවන් පමණයි. පසු කලෙක 1851 දී ශාන්ත තෝමස් විදුහල අරඹා ඇත්තේ මා හිතන විධියට ප්‍රධාන වශයෙන් ම ප්‍රාදේශීය ඉංගිරිසි අනුකාරක ප්‍රභූන්ගේ දරුවන් සඳහා. ඒත් ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින් ඇති කරන ලද අනෙක් ප්‍රධාන පිරිමි පාසල මහනුවර ත්‍රිත්ව විදුහල. අදත් රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව යන විදුහල් ත්‍රිත්වය උසස් පාසල් ලෙස සැලකෙනවා. අනුරූප ගැහැණු පාසල කාන්තා විද්‍යාලය. මෙරට අනෙක් පාසල් කරන්නේ තමන්ට හැකි විධියට ඒ පාසල් අනුකරණය කිරීමයි. බොහෝ පාසල් දෙවැනි තුන්වැනි හතරවැනි nවැනි ගණවල අනුකාරක පාසල්.
දිනක් මා යම් කටයුත්තකට පාණදුරේ ප්‍රභූ අයකු
හමුවීමට පියා සමග ගියා. ඔහු මා යන්නේ මොන පාසලට ද කියා ඇහුවා. මා රාජකීය විද්‍යාලයට
බව කී විට ඔහු පැවසුවේ තමා ටික කලක් රාජකීය විදුහලේ ඉගෙන ගත් බවත් එහෙත් එහි
සිසුන්ගේ අහංකාරකම නිසා පසුව ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වූ බවත්. පාණදුරේ ප්‍රභූන්ගේ
දරුවන් ගියේ ශාන්ත තෝමස් විදුහලට. රාජකීය විදුහලට ගියේ අප වැනි සාමාන්‍ය පවුල්වල
අය. මා හිතන්නේ ජයවර්ධනලා රාජකීය විදුහලේ ඉගෙන ගන්නත් මීරිගම බෝතලේ සේනානායකලා
ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගන්නත් මේ කොළඹ ප්‍රාදේශීය භේදය එකල බලපාන්න ඇති කියා.
බණ්ඩාරනායක සුවිශේෂ චරිතයක්. හොරගොල්ලේ ඔහු පළමුව ගෙදර විශේෂ අධ්‍යාපනයක් ලබා පසුව
ශාන්ත තෝමස් විදුහලේ වෝඩ්න්ගෙන් (විදුහල්පති) ම ඔහුගේ ගෙදර නැවතී ඉගෙන ගත්තා.
1835 සිට 1956 දක්වා වන විට රාජකීය විදුහලේ සංයුතිය
වෙනස් වෙලා. කොළඹ ඉහළ ම පෙළේ අනුකාරකයන්ගේ දරුවන් මෙන් ම අප වැනි සාමාන්‍ය පවුල්වල
ටික දෙනකු ද එහි ඉගෙන ගත්තා. තම පුතා රාජකීය විදුහලට ඇතුළත් කිරීමට අද බොහෝ
දෙමවුපියන් උත්සාහ ගන්නවා. එය වරදක් හැටියට මා දකින්නේ නැහැ. අද නම් පහේ ශිෂ්‍යත්ව
පරීක්‍ෂණයෙන් සිසුන් විශාල පිරිසක් හයවැනි ශ්‍රේණියට ඇතුල් කර ගන්නවා. 1956 දී මා ඇතුල්වන විට ශිෂ්‍යත්වයෙන්
ළමුන් ඇතුල් කර ගත්තේ නැහැ. අපට විශේෂ ප්‍රවේශ පරීක්‍ෂණයකට පෙනී සිටීමට සිදුවුණා.
ඒ පරික්‍ෂණයට රාජකීය ප්‍රාථමික පාසලේ සිසුන් ද පෙනී සිටියා. කෙසේ වෙතත් අති විශාල බහුතරය ඇතුල් වුණේ රාජකීය
ප්‍රාථමික පාසලෙන්.
මා රාජකීය විදුහලට ඇතුල් වුණේ අල්ලපු වැටේ
තර්ස්ටන් විදුහලේ අවුරුදු හතරක් ඉගෙනීමෙන් පසුව. ඒත් රාජකීය විදුහලට ගිය මට වෙනසක්
දැනුණා. එහි ඇතැම් සිසුන් කතා කෙළේ ඉංගිරිසියෙන්. තර්ස්ටන් විදුහලේ සිසුන්ට
ඉංගිරිසියෙන් කතා කෙළේ බර්ගර් ජනවර්ගයට අයත් විදුහල්පතිතුමා පමණයි. එහෙත් රාජකීය
විදුහලේ පංති භාර ගුරුවරයාත් සිසුන් ඇමතුවේ ඉංගිරිසියෙන්. පංතියේ සිංහල දෙමළ
මුස්ලිම් බර්ගර් සිසුන් හිටියා. පොදු භාෂාව වුණේ ඉංගිරිසි. එකල මගේ ඉංගිරිසි දැනුම
දුර්වලයි. අදත් එතරම් උසස් නැහැ. මට හිතෙන්නෙ සිංහලෙන්. මා හිතන්නෙ සිංහලෙන්. ඒ 1952
සිට ඉංගිරිසි ඉගෙනීමෙන් පසුව. අවුරුදු හැත්තෑවක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. මේ
දිනවලත් මා පට්ටපල් බොරු වුණත් ඔය බටහිර විද්‍යාවෙ තියෙන මන්දාකිණි ඉවත්වීම හා
විශ්වය ගැන හිතනවා. ඒ සිංහලෙන්.
රාජකීය විදුහලේ මගේ පංතියේ රංජිත් සන්දනායක වගේ
ම ෂෝ විල්සන් හා ටිමති රොජර් ජැන්සන් ද හිටියා. ජැන්සන් ඉංගිරිසි පාඩම් පොත
කියවනවා අහන් ඉන්න ආසයි. මට අදත් බැහැ ඒ විධියට ඉංගිරිසි තබා සිංහල පොතක්වත්
ලතාවකට කියවන්න. ඔහුගේ පියාත් රාජකීය විදුහලේ උගත් බටහිර වෙදමහතෙක්. ඔහු ද පසු
කලෙක බටහිර වෙදමහතකු වෙලා ඕස්ත්‍රේලියාවේ පදිංචියට ගියා. ඔහුගේ කිසිම අහංකාර
ගතියක් තිබුණේ නැහැ. එහෙත් අහංකාරයන් ද සිටියා. අද වන විට නම් ඒ අහංකාර ගති නැති
වෙලා. විල්සන්ගේ පියාත් රාජකීය විදුහලේ
ඉගෙන ගත් අයෙක්. ඔහු ඉගෙන ගත්තේ දෙමළ මාධ්‍යයෙන්. විල්සන් පසුව ත්‍රිත්ව විද්‍යාලයේ
සේවය කළා. ඒ දෙදෙනාත් සුනිල් මෙන්ඩිසුත් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළා.
සුනිල් මෙන්ඩිස් පසු කලෙක මහා බැංකුවේ අධිපති පදවියට පත් කෙරුණා. එකල හයවැනි ශ්‍රේණියේ පන්ති හතරක් තිබුණා.
සිසුන් එකසිය හතළිස් දෙනකු සිටියා. සිංහල හැත්තෑවයි, දෙමළ තිස්පහයි, මුස්ලිම්
හා බර්ගර් තිස්පහයි. මුස්ලිම් හා බර්ගර් සිසුන් ඉගෙන ගත්තේ ඉංගිරිසි මාධ්‍යයෙන්.
රටේ ජන අනුපාතය අනුව නම් ඒ ශිෂ්‍ය සංඛ්‍යා වැරදියි. මා හිතන්නේ අද වන විට ඒ
නිවැරදි කර තියෙනවා කියා.
සියලු සිසුන් පංතිවල හිටියේ මිශ්‍ර ව. ඉංගිරිසි
පාඩම එකට ඉගෙන ගත්තා. එකල වඩුවැඩ ලෝහ වැඩත් ඉගැන්නුවා. ඒවත් ඉගෙන ගත්තෙ
ඉංගිරිසියෙන්. චිත්‍රකර්මය වැනි විෂයන් ද ඉංගිරිසියෙන් ඉගැන්නුවෙ. සිංහල හා සිංහල
මාධ්‍යයෙන් ඉගෙන ගත් ගණිතය විද්‍යාව ඉතිහාසය භූගෝලය වැනි විෂය සඳහා සිංහල සිසුන්
වෙන වෙන ම කාණ්ඩ දෙකකට බෙදා ඉගැන්නුවා. දෙමළ මාධ්‍ය කණ්ඩායමක් ද තිබුණා. ඒ සිසුන් දැන් ලෝකය පුරා විසිරිලා. සෑහෙන
පිරිසක් පරලොව ගිහින්. එක් අයකු කීවේ අප දැන් ඉන්නෙ පිටත්වෙන පර්යන්තයේ කියා.
කොහොම නමුත් මට හයවැනි වසරේ පංති ත්‍යාගය
ලැබුණා. මා තර්ස්ටන් විද්‍යාලයේ දී ද තැගි දිනාගෙන තිබුණා. ඒ ත්‍යාග ප්‍රදානොත්සවවලට
සහභාගි වීමට ටයි පටියක් බඳින්න අවශ්‍ය වුණේ නැහැ. රාජකීය විදුහලේ ත්‍යාග ප්‍රදානොත්සවයට
ද මා සහභාගි වුණේ ටයි පටියක් නැතුව. මා ශාලාවට ගිය විට අනෙක් ත්‍යාගලාභීන් සියලු
දෙනා ම විද්‍යාලයේ ටයි පටිය පැළඳ සිටියා. එහෙත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. ප්‍රශ්නයක්
වුණේ වෙනත් අයට. මගේ පංතියේ මිතුරකු පසුව මට කිවුවා ඔහුගේ සොහොයුරා ගෙදර ගිහින් මා
කවුද කියා ඇසුවාලු. ඔහු අසා ඇත්තේ ඒ ගොඩයා කවුද කියා! රාජකීය විදුහලෙන් මා බොහෝ දේ
ඉගෙන ගත්තා. මට බැරි වුණත් බටහිර විද්‍යාඥයකු වීමට මගේ සිත යොමු වුණේ රාජකීය විද්‍යාලයේ
දී. ඒත් මට පොෂ් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මා තවමත් ගොඩයෙක්.