Main Logo

Friday 9 September 2022

චාල්ස් හා අපි

 

චාල්ස් හා අපි

 

සිිංහල බෞද්ධ කී ගමන් භූමිතෙල් වැදුණු ගැරඬින් සේ අවුරුදු දෙදහස් පන්සීයක රෙද්දක් ගැන කියවන පඬි නැට්ටන්ට එංගලන්තයේ ඇත්තේ මොන වගේ රාජ්‍යයක් ද කියා දැන ගැනීමට එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය උපකාර විය යුතු නමුත් එසේ වන්නේ නැහැ. ධනපති ක්‍රමයේ සියලු අවැඩ සිංහල බෞද්ධ සංස්කෘතියට ලඝු කර වීරයන් වීමට දඟලන පුස්සන්ට පුහු වීරකම පවත්වා ගන්න පුළුවන් රෙද්ද ගැන කතා කිරීමෙන් පමණයි. බුද්ධිමය දරිද්‍රතාවෙන් පෙළෙන මොවුන්ට මාක්ස්ගේ පංතිය සංකල්පය කිසි දා වලංගු නොවූ බව වටහා ගන්න බැහැ. මා හිතන්නෙ නැහැ ඔවුන් චින්තනය හැරෙන්න වෙනත් සංකල්පයක් ඇති වූයේ කෙසේ ද යන ප්‍රශ්නය අසා ඇති ය කියා. අපි ඒ කතාව ආගිය තොරතුරු සමග කියමු.

 

වික්ටෝරියා රජ කර තියෙන්නෙ අවුරුදු හැටහතරයි. ඇගේ රජ වීමේ ස්වර්ණ ජුබිලිය (අවුරුදු පනහ) සිහි කිරීමට නුගේගොඩ මිරිහානේ ජුබිලි කණූවක් හිටවල තියෙනවා. මා දන්නෙ නැහැ එය මිරිහානෙ හිටෙවුවෙ මොකද කියලා. ඒ කාලෙ (1887) ඒ පැත්ත ඊනියා වැදගත් ප්‍රදේශයක් වුණා ද? ස්ටැන්ලි තිලකරත්න මාවතට එදා කියල තියෙන්නෙ ජෝර්ජ් රාජ මාවත කියල. ස්ටැන්ලිත් පොඩි මිනිහෙක් නො වෙයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිරිහාන ගැන හොඳින් දන්නවා. සමහර විට ඇය දන්නවා ඇති ජුබිලි කණුව මිරිහානෙ හිටෙවුවෙ මොකද කියල. කවුරුන්වත් එලිසබෙත් වෙනුවෙන් කණු හිටවල නැහැ. දකුණු ඕස්ත්‍රේලියාවෙ එලිසබෙත් කියලා නගරයක් තියෙනවා. ලංකාවෙ එහෙම එකක්වත් නැහැ. හරිම අසාධාරණයි.

 

ඒ කොහොම වෙතත් දෑන් අවමංගල්‍යයක් හා මෞලි මංගල්‍යයක් පැවැත්වෙන්න තියෙනවා. චාල්ස් තුන්වැනි චාල්ස් ලෙස රජ වෙලා. ඔහුගෙ මෞලි මංගල්‍යය අද හෙට කෙරේවි. පළමුවැනි චාල්ස් හා ඔහුගෙ පුතා දෙවැනි චාල්ස්ගෙ කාලෙ එංගලන්තෙ ස්කොට්ලන්තෙ මහා කලබල කාල. සිවිල් යුද්ධ ඇවිලුණා. ඔලිවර් ක්‍රොම්වෙල් හිටියෙත් ඒ දවස්වල. ඒ විතරක් නොවෙයි අර සුප්‍රසිද්ධ වසංගතය ඇති වුණෙත් දෙවැනි චාල්ස්ගෙ කාලෙ. ඒ කාලෙ තමයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වහල තිබිල නිවුටන් ගෙදර ගිය වෙලාවක ඇපල් ගෙඩියක් ඔළුවට වැටිල තියෙන්නෙ.  ඇපල් ගෙඩිය කෑවෙ කවුද කියල දැනගන්න බැරි වුණා. තුන්වැනි චාල්ස්ගෙ කාලෙ නම් එහෙම කලබල තියෙන එකක් නැහැ. මාක්ස්වාදී විප්ලවයක් වෙන පාටකුත් නැහැ. හතරවැනි ජාත්‍යන්තරයෙ හිටපු අයර්ලන්තෙ උපන් ජෙරී හීලිත් මැරිලා ටිකක් කල්. හීලි කලක් ටෙඩ් ග්‍රාන්ට්ගෙ නායකත්වය යටතෙත් වැඩ කළා.

 

අවමංගල්‍යයෙනුත් මෞලි මංගල්‍යයෙනුත් බලාගන්න පුළුවන් එංගලන්තය ස්කොට්ලන්තය වගේ රටවල්වල රෙද්ද මොකක් ද කියන එක. ඔය මොන රෙද්දක්වත් අවුරුදු දෙදහස් පන්සීයක් පරණ නැහැ. පඬි නැට්ටන්ට ඒක පේන්නෙ නැත්තෙ ඒ හින්ද වෙන්න ඇති. 1066 හේස්ටිංග්ස් යුද්ධ ඇතිවෙලත් තාම අවුරුදු දාහක් සම්පූර්ණ වුණෙ නැහැ. ඒ තමයි නෝමන් ආක්‍රමණය. මට තබා පඬි නැට්ටන්ටවත් 2066 බලන්න බැරි වේවි. ඒත් සසෙක්ස් ප්‍රාන්තයෙ නැගෙනහිරට වෙන්න තියෙන හේස්ටිංග්ස් බලන්න මා ඒ දවස්වල (1066 නොවෙයි 1988) එංගලන්තෙ ඉගෙන ගත්ත පුතාල දෙන්නත් එක්ක ගියා. මගේ පුතාල පිටරට ඉගෙන ගත්තා කියන දෙරණට හා අනෙක් අයට  ඒක වැදගත් වේවි. අර මගේ ව්‍යාජ ගිණුමෙත් ඒක කියන්න පුළුවන්.

 

එංගලන්තය තමයි ප්‍රධාන ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යය. තවමත් ඒක එහෙමමයි. අද ඇමරිකා එක්සත් ජනපද ඒ සංස්කෘතික ආධිපත්‍යය පවත්වාගෙන යනවා. ඒත් ප්‍රධාන රට එංගලන්තය. තුන්වැනි චාල්ස්ට ඒ සංස්කෘතිය සමග සෙල්ලම් කරන්න හම්බවෙන එකක් නැහැ. ඔහුට ඔටුණු පළඳවනු ඇත්තෙ කැන්ටබරියේ ආච්බිෂොප්තුමා. චාල්ස් තමයි ප්‍රොතෙස්තන්ත ආගමේ ආරක්‍ෂකයා. ඔහුට ඒ ඇදහීම ආරක්‍ෂා කිරීමේ කාර්යභාරය පැවරෙනවා. 

 

චාල්ස් ඒ ආගමේ නායකයත් වෙනවා. චාල්ස් එන විට කැන්ටබරියෙ ආච්බිෂොප්තුමාත් නැගිටින්න ඕන. ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලිය කතෝලික පල්ලිය වගේ නොවෙයි. කතෝලික පල්ලියෙ නම් පාප්වහන්සේ ලෝකය ස්පාඤ්ඤයට හා පෘතුගාලයට බෙදල දුන්න. පෘතුගීසින් ලංකාවට ආවෙ එහෙමයි. ඒත් ඉංගිරිසින් ආවෙ එහෙම නො වෙයි. ආච්බිෂොප් ඔවුන් එවුවෙ නැහැ. එදා ඔවුන් ඇවිල්ල ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන බොරු කතා කිවුව. ඊයෙ පෙරේදා රාජපක්‍ෂලා ගැන බොරු කතා කිවුව. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් ආපසු ආවෙ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ නම් ආපසු ආවා.

 

ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධ ව මේ රටේ මිනිසුන් එදා හිටන් සටන් කරනවා. පඬි නැට්ටන් ඉන්නෙ ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයත් එක්ක. ඔවුන්ට අර රෙද්ද පේන්නෙ ඒ නිසයි. දහනවවැනි සියවසේ අග ඇති වුණු සිංහල බෞද්ධ පුනර්ජීවනය (එයට බෞද්ධ පුනර්ජීවනය කියන එක වැරදියි) 1817 ඌව වෙල්ලස්සෙ කැප්පෙට්ටිපොළ 1848 විර පුරන් අප්පු ආදීන්ගෙන් පසුව ඇති වු නිදහස් සටනක්.  එකල භික්‍ෂු නායකත්වයක් තිබුණ. ඕල්කට්තුමා පැමිණ භික්‍ෂු නායකත්වය නැති කරා. ධර්මපාලතුමාට අර ගිහි නායකයන් රටින් යන්න සැලැස්සුවා. 1952 දි සිංහල බෞද්ධයන් ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කර ගත්තා. අවුරුදු හැත්තෑවකට පස්සෙ ඉංගිරිසින් සැලසුම් සහගත ව කරපු වැඩවලින් ජාතිකත්වයේ පක්‍ෂ නැති වෙලා.  එයට මෙරට විවිධ අයත් වග කියන්න ඕන.

 

තුන්වැනි චාල්ස් රජ වෙන විට අපට ජාතිකත්වයේ පක්‍ෂයක් නැහැ. ඊයෙ පෙරේදා හදා ගත්තු පක්‍ෂ ජාතිකත්වය අහළකටවත් එන්නෙ නැහැ. අද සිංහල බෞද්ධයන් ඉන්නෙ 1951 ට කලින් හිටි අන්දමට පක්‍ෂයක් නැතුව. නැවත ජාතිකත්ව පක්‍ෂයක් හැදීමේ වගකීම අද තියෙනවා. ඒකට චාල්ස්ගෙ පුතා විලියම් (කේම්බ්‍රිජ්හි ආදිපාද - දැන් වේල්ස් කුමාරයා) රජ වෙනකම් ඉන්න වෙන්නෙ නැහැ.