මැකෝලිගේ දරුවෝ හා ධම්මපදයට අත තියා දිවුරුම්
දීම
මැකෝලිට අවශ්‍ය වුණේ හමින් හා ලේවලින් ඉන්දීය එහෙත් ඉංගිරිසින් මෙන් රුචිකත්වයක් අදහස් ආචාර ධර්ම බුද්ධිය ඇති පුද්ගලයන් පිරිසක් බිහි කිරීමට (a class of persons, Indian in blood and color, but English in taste, in opinions, in morals, and in intellect) මැකෝලි ඉන්දියාවේ යම් පමණකට සාර්ථක වුණා. නේරුලා හා රජයේ නිලධාරීන් උගතුන් විශාල ප්‍රමාණයක් මැකෝලිගේ බාග තුන්කාල් දරුවන් වුණා. එහෙත් ඔවුන් මුළුමනින් ම මැකෝලිගේ දරුවන් වුණේ නැහැ. භාරතයේ තිබූ බමුණන්ගේ බුද්ධිමය සම්ප්‍රදාය විසින් ඔවුන් මෙල්ල කෙරුණා. බමුණු සම්ප්‍රදාය විසින් තමයි අවසාන වශයෙන් භාරතයෙන් බුදුදහම ඉවත් කෙරුණේ.
එලිසබෙත් වින්ඩ්සර්ගේ අභාවය නිමිත්තෙන්
ඉන්දියාවේ ජාතික කොඩිය අඩ කුඹු කරාද කියා දැනගැනීමට බැරි වුණා. එහෙත් ඉන්දියාව
ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කර තියෙනවා. ඒ අතර සමහර ඉන්දියානුවන් අභාවය ගැන උත්සව
පවත්වනවා. තවත් සමහරු අර සුප්‍රසිද්ධ කොහිනුර් දියමන්තිය ඉන්දියාවට භාර දෙන ලෙස
ඉල්ලනවා. එලිසබෙත් වින්ඩ්සර් තුන්වරක්
ඉන්දියාවට පැමිණ ඇති බව කියනවා. තුන්වැනි වතාවෙ 1997 දී ඉන්දියාව නිදහස ලැබීමේ පනස්වැනි
සංවත්සරය නිමිත්තෙන්. එහෙත් ඒ ගමන ගැන ප්‍රශ්න ඇති වී තිබෙනවා. එකල අගමැති
ගුජ්රාල්. ඔහු වැඩි කලක් ඒ පදවිය දැරුවේ නැහැ. ඒ අවසන් ගමන රාජ්‍යතාන්ත්‍රික
වශයෙන් අසාර්ථක වූවක් ලෙස සැලකෙනවා. ඒ තමයි බාග තුන්කාල් මැකෝලි දරුවන්ගේ ප්‍රතික්‍රියාව.
අප එසේ නොවෙයි. අප පූර්ණ මැකෝලි දරුවන්. අපේ
නිදහසේ පනස්වැනි සංවත්සරය සමරන්න අද රජ වී සිටින එදා වේල්ස් කුමරු චාල්ස්
පැමිණියා. එකල ජනාධිපතිනිය චන්ද්‍රිකා. ඇයට දැන් ලංකාව ගැන ලැජ්ජයිලු. එදා අප
කිහිප දෙනකු පමණක් වෙල්ලස්සට ගිහින් වෙල්ලස්සේ කුමරු සැමරුවා. එයට අකුල් හෙලන්න
එදා චන්ද්‍රිකාගේ නියෝජීිත විජිතමුණි සොයියා පැමිණියා. අප ඔහු හලා දැම්මා.
මා කියන්නේ නැහැ අප අද එලිසබෙත් වින්ඩ්සර්ගේ
අභාවය වෙනුවෙන් උත්සව පවත්වන්න ඕන කියා. ඒත් ජාතික කොඩිය අඩ කුඹු කරන්නේ අහවල්
දේකට ද? එලිසබෙත් වින්ඩ්සර් අපට පෞද්ගලික ව වරදක් කර
නැතුව ඇති. ඒත් ඇය පැවතෙන්නේ තුන්වැනි ජෝර්ජ්ගේ පරපුරෙන්. වෙල්ලස්ස නිිදහස් සටන
කෘර ලෙස මර්දනය කෙළේ තුන්වැනි ජොර්ගෙ ලංකාවේ නියෝජිතයා බ්‍රවුන්රිග්.
තුන්වැනි ජෝර්ජ් නාමික ව රජු වුණත් ඔහු අවසාන
කාලයේ දරුණු ලෙස රෝගාතුරව සිටියා. ඒ නිසා රජු වෙනුවෙන් කටයුතු කෙළේ පසුව හතරවැනි
ජෝර්ජ් ලෙස රජ වූ ඔහුගේ පුතා. 1815 වන විට රජු ලෙස වැඩ කර ඇත්තේ හතරවැනි
ජෝර්ජ්. තුන්වැනි ජෝර්ජ්ගේ කාලයේ තමයි ඇමරිකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වී
තියෙන්නෙ. ඒ 1786 දී. ප්‍රංශ විප්ලවය ඇති වුණෙ 1789
දී. අපි ගිවිසුමකින් රට ඉංගිරිසින්ට භාරදුන්නේ 1815 දී. ඒ වන විට තුන්වැනි ජෝර්ජ්
අසනීපයෙන්.
එංගලන්තයේ රජවරු අද ප්‍රසිද්ධියේ දේශපාලනය
කරන්නේ නැහැ. එහෙත් රජු හරි රැජන හරි තමයි රාජ්‍ය නායකයා හරි නායිකාව හරි. අපට 1948න්
පසුවත් එංගලන්තයේ බලපෑම්වලට යටත් වෙන්න සිදු වුණා. 1956 වන තුරුත් ත්‍රිකුණාමලය හා කටුනායක
කඳවුරු පාලනය කෙළේ ඉංගිරිසින්. ඔවුන් දිගට ම දෙමළ ජාතිවාදයට අනුග්‍රහ දැක්වුවා
ආශිර්වාද කළා. අදත් ඔවුන් තමයි රණවිරුවන්ට සමූලඝාතකයන් ලෙස චෝදනා කරන්නේ. ගෝඨාභය
හා මහින්ද පන්නා රනිල් ජනාධිපති කිරීමට සැලසුම් කෙළෙත් ඔවුන්. රාජ්‍ය නායිකාව ලෙස
එලිසබෙත් වින්ඩ්සර් ඒ සියල්ලට ම වග කියන්න ඕන. සමහර විට රනිල්ට වුවමනාවක් ඇති කළ
ගුණ සිහිකරන්නත්.
ඒ කුමක් වුවත් අපේ අධ්‍යාපනය විසින් අප
ඉංගිරිසි ගැත්තන් කෙරෙනවා. ඉංගිරිසින් තම සංස්කෘතික ආධිපත්‍යය අප මත (අනෙක්
රටවලටත්) පටවන බව අපට තේරෙන්නේ නැහැ. එංගලන්තයේ හරි බටහිර රටවල හරි බහුසංස්කෘතික
සමානත්වයක් නැහැ. එංගලන්තයේ ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.
අපට, විශේෂයෙන් ම එංගලන්තයේ වාසය කරන සිංහල
බෞද්ධයන්ට ලැබෙන සුළු සහනයක් වුවත් ලොකුවට පේනවා.
එංගලන්තයේ ස්ට්‍රස් අමාත්‍ය මණ්ඩලයේ ස්වදේශීය
කටයුතු භාර ඇමතිනිය සුවෙලා බ්‍රෙවර්මන්. ඇයට ඉන්දීය සම්භවයක් තියෙනවා. ඇය දිවුරුම්
දී ඇත්තේ ධම්මපදයේ අත තබා. එයින් බෞද්ධ සංස්කෘතියට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය
යටතේ සමානත්වයක් ලැබෙන්නේ නැහැ.
අද ලෝකයේ බොහෝ රටවල් බහුසංස්කෘතික රටවල්. එ
විවිධ සංස්කෘතිවල ජනයා ඒ රටවල වාසය කරන බැවින්. ලංකාවත් ඒ අර්ථයෙන් නම් බහු
සංස්කෘතික රටක්. එහෙත් මේ බහුසංස්කෘතික කතාව ඉංගිරිසින් ඒ ඒ රටවල යොදා ගන්නේ විවිධ
තේරූම්වලින්. අපේ රටවල ඔවුන්ට ඕන සියලු සංස්කෘතීන් සමාන කියන දැඩි කොන්දේසියත්
පනවන්න. එහෙත් ඔවුන්ගේ රටේ හා වෙනත් යුරෝපීය රටවල
බහුසංස්කෘතික කියන්නෙ විවිධ සංස්කෘතීන් ඇත යන අර්ථයෙන් පමණයි.
පසුගිය දා අප සඳහන් කළා යුරේපයේ රටවල්
විසිහයකින් විසිහතරක් ම හින්දු ආගම නොපිළිගන්නා බව. ඒත් ඒ රටවල හින්දු භක්තිකයන් ද
ඉන්නවා. යුරෝපයේ හැම රටක ම යම්කිසි ක්‍රිස්තියානි
සංස්කෘතික ආධිපත්‍යයක් තියෙනවා. එංගලන්තයෙත් එහෙමයි. හෙට අනිද්දා පැවැත්වෙන අවමංගල
උත්සවයේ හා මෞලි මංගල උත්සවයේ ඒ ආධිපත්‍යය නග්න ව දැක ගන්න පුළුවන්.
අර ඇමතිනිය ධම්මපදයේ අත තබා දිවුරුම් දීම අපට
ලොකුවට පෙනෙන්නේ එහි ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය නිසා.
එංගලන්තය බහු සංස්කෘතික රටක්. ඒ ඉතා සීමිත අර්ථයකින් පමණයි. එහෙත් ඉංගිරිසින්ට
අවශ්‍ය ලංකාව සියලු සංස්කෘතීන් සමාන බහු සංස්කෘතික රටක් කරන්න. අප මේ සියල්ල ලිපි රාශියක
ම පෙන්වා දී ඇති. එහෙත් මැකෝලි දරුවන්ට ඒ කිසිවක් තේරෙන්නෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය
ලංකාව ඉංගිරිසින්ට අවශ්‍ය පරිදි සියලු සංස්කෘතීන් සමාන රටක් කිරීමටයි. අප එයට
විරුද්ධයි.
මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති විශේෂත්වය, ආධිපත්‍යය
නොවෙයි, නැති කිරීමට ඉංගිරිසින්ටත් මැකෝලි දරුවන්ටත්
අවශ්‍යයයි. මෙරට උසාවිවල ඒ ඒ අය තම සංස්කෘතිය අනුව දිවුරුම් දෙනවා නැත්නම් ප්‍රතිඥා
දෙනවා. හරියට ම කියනවා නම් දිවුරුම් දීම බෞද්ධ ක්‍රමයට පටහැණියි. බෞද්ධයන්
දිවුරුම් දෙන්නේ නැහැ. මොකේ අත තිබ්බත් දිවුරුම බෞද්ධ ක්‍රමයට පටහැණියි. එය ක්‍රිස්තියානි
සංස්කෘතියට අයත් දෙයක්. අර ඇමතිනිය තම නොදැනුම නිසා ම බෞද්ධ ක්‍රමයෙන් පිට පැන
තියෙනවා.