දැක්කොත් පද්මාවතී
අපේ පරම්පරාව ගැන සුළුවෙන් නමුත් සඳහන් කරන්න ඕන. මෙහි පරම්පරාව කියන්නේ මගේ සමකාලීනයන් කියන අරුතෙන් නොව පවුලේ පරම්පරාව කියන අරුතෙන්. පරම්පරාව කී විට එයින් කියැවෙන්නේ පිය පාර්ශ්වයේ පරම්පරාව වීම සමාජය පුරුෂයා මුල් කරගෙන පැවතීම නිසා වන්නක්. එය අද ඊයේ කතාවකුත් නො වෙයි. මාතෘ මූලික සමාජ ඈත අතීතයේ තිබුණා ය කියා සමහරු කියනවා.
අපේ පරම්පරාව ගැන මා දන්නේ කරුණු ටිකයි. මා තොරතුරු සෙවීමෙහි ලා අදක්‍ෂයෙක්. මට වඩා අපේ පරම්පරාව ගැන සුමේධ වීරවර්ධන, තමලු පියදිගම හා සුජිත් අක්කරවත්ත දන්නවා. මා ජාතිකත්වයක් ගැන කතා කරන්න පටන් ගත්තට පස්සෙ පඬි නැට්ටන් අපේ පරම්පරාව ගැන කියන්න පටන් ගත්තා. ඒ මා අවමානයට ලක් කර අපත් කේරළය පැත්තෙන් පැමිණි ද්‍රවිඩ පරම්පරාවක් බව කියා මට සිංහලයන් ගැන සිංහල ජාතිකත්වයක් ගැන කියන්නට සුදුසුකමක් නැති බව කීමට.
අප පැමිණියේ, ඒ කියන්නේ පිය පාර්ශ්වයේ මී මුත්තා පැමිණ ඇත්තේ කේරළයෙන් නො වෙයි. එහෙත් කේරළයෙන් නොවෙයි තූත්තුකුඩියෙන් පැමිණියත් එය ප්‍රශ්නයක් නො වෙයි. අපේ පරම්පරාව මෙරට සංස්කෘතියට අවශෝෂණය වෙලා අප සිංහල වෙලා බොහෝ කල්. කිසිවකුගේ ජාතිය ජනවර්ගය තීරණය වන්නේ ජානවලින් නොව සංස්කෘතියෙන්. ඇතැම් පඬි නැට්ටන්ට අනුව මා ආගිය තොරතුරු ලියන්නේ නයි යවන්න. ඒ අර මා සමග ඇති නයි මුගටි වෛරය නිසා. ජාතික ව්‍යාපාරයේ බොහෝ අය මා ජීවතුන් අතර නැතැයි යන ආකල්පයෙන් කටයුතු කළත් පඬි නැට්ටන්ට හිසරදයක් වී ඇත්තේ මා මිස ඔවුන් නො වෙයි.
අපේ පියාගේ සම්පූර්ණ නම ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා. ඒ අනුව මගේ සම්පූර්ණ නම ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා. මෙය එක්තරා ආකාරයකට කිවුවොත් උච්චාරණය වැරදියට ලිවීම නිසා ඇති වූ දෙයක්. අපේ පෙළපත් නාමය ථකුර අර්ථදේව ආදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ යන්නයි. මෙහි වැදගත් පුද්ගලයන් දෙදෙනා ථකුර හා ඔහුගේ මුණුබුරකු වූ අර්ථදේව. අප පැවතෙන්නේ ඔවුන්ගෙන්.
ථකුර ගැන මහාවංශයේ පමණක් නොව දඹදෙණි අස්නේ හා දඹදෙණි කතිකාවතෙත් සඳහන් වෙනවා. යාපහු දඹදෙණි යුගවලත් ලංකාවට භාරතයෙන් විවිධ පුද්ගලයන් පැමිණ තියෙනවා. එසේ පැමිණි අය රජවරුන් සමග සම්බන්ධ වී තිබෙනවා. මට දැන් හිතෙන විධියට විජයගේ පටන් අපේ රජවරු බොහෝ දෙනෙක් පිටින් පැමිණි අයගෙන් පැවත එන අය. ප්‍රධාන රජවරුන්ගෙන් පිටින් නොපැමිණි අයු ගැන කියැවෙන්නේ විජයබාහු රජු හා දෙවැනි පරාක්‍රමබාහු පමණක් වෙන්න ඕන. සෙනරත් පරණවිතාන මහතාට අනුව විජයබාහු රජු නොහිටින්න ලංකාව හින්දු වෙලා. ඒ රජු හා මියන්මාහි අනව්රත රජු අතර මිත්‍ර සන්ධානයක් තිබී තියෙනවා. ඒ දෙදෙනා දෙරටේ හින්දු ආක්‍රමණවලින් රට බේරා ගත් අය.
අනව්රත රජුට මියන්මාහි වැසියන් ගෞරව කරනවා. ඔහු ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙත් අප විජයබාහු රජු නොසලකා හැර තියෙනවා. එයට හේතුව ඔහු ස්වදේශිකයකු වීම. ඒ රජු යක්‍ෂ ජනවර්ගයට අයත් ය කියා මට හිතෙනවා. ඒ ගැන අධ්‍යයනයක් කිරීමට කිසිවකු උනන්දුවන්නේ නම් හොඳයි. මට හිතෙනවා විජයබාහු රජු ගැන විස්තර මියන්මාහි ඇත කියා. ඒ පළමුවැනි විජයබාහු.
අපේ මුත්තාගේ සම්පූර්ණ නම හමීර් සංක් ඨකුරක. ඔහු මෙරටට පැමිණ ඇත්තේ රාජස්ථානයෙන්. ඔහු රාජ්පුත් කෙනෙක්. හමීර් සංක් ඨකුරක සිංහලට සමීර සංක ථකුරක ද දන්නේ නැහැ. ඨකුර්ලා රාජස්ථානයෙන් භාරතයේත් විවිධ පැතිවලට ගිහින් තියෙනවා. අද ඔවුන් වැඩියෙන් ඇත්තේ කාශ්මීරයේ. බෙංගාලය පැත්තට ගිය ථකුර්ලා තාගෝර්ලා වෙලා තියෙනවා. එයටත් වඩා අපේ මුත්තා ගැන අද ලෝකයා කෙසේ වෙතත් දකුණු ආසියාතිකයන් දන්නේ ඔහුගේ සුරූපි දියණි පද්මිණි කුමරිය නිසා. ඇය කාශ්මීර රජුගේ අගබිසොව බවට පත්වෙලා. අප ඇය ගැන දන්නේ පද්මාවති කියා. ඨකුරක ගැන හින්දි බසින් රචිත පදුමාවන් වීර කාව්‍යයෙහි සඳහන් වෙන බව කියනවා. එමෙන් ම ඔහු ගැන පර්සියන් පොත්වලත් සඳහන් ව ඇතැයි කියනවා.
පළමුවැනි විජයබාහුට මෙන් ම තුන්වැනි විජයබාහුටත් රාජ්‍ය උරුමයක් තිබී නැහැ. ඔහු දඹදෙණි රජ පෙළපත ආරම්භ කළා. ඉමහත් කීර්තියට පත් දෙවැනි පරාක්‍රමබාහු තුන්වැනි විජයබාහු රජුගේ පුතා. 1270 දී දෙවැනි පරාක්‍රමබාහු රජු මිය ගීිය විට ඔහුගේ පුතකු වූ විජයබාහු සිව්වැනි විජයබාහු ලෙස රජ වී තියෙනවා. එහෙත් ඔහු යුද්ධ දක්‍ෂයකු නොවෙයි. ඔහුගේ සෙනෙවි මිත්ත ඔහු මරා රජ වී තියෙනවා. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ තවත් පුතකු වූ බුවනෙකබාහු පළා ගොස් පසුව කැගල්ලේ දී මගුල් ඇතා පිට නැගී රාජ්‍යයට උරුමකම් කීමට පැමිණ තියෙනවා. දඹදෙණි යුගයේ ඇරඹුණු සිරිතක් අනුව රජු මගුල් ඇතා, මගුල් කඩුව, පේරැස් මුද්ද, හා දළදා වහන්සේ ආරක්‍ෂකයා විය යුතුයි. අදත් දළදා වහන්සේ සම්බන්ධයෙන් එවැන්නක් කියන්න පුළුවන්.
මිත්තට පේරැස් මුදුව හිමිකර ගැනීමට හැකි වුණා. ඔහු ඊළඟට කල්පනා කෙළේ දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා ගැනීමට. දළදා වහන්සේගේ ආරක්‍ෂාව භාරව සිටියේ ඨකුරක යටතේ තිබූ හමුදාව. ඨකුරක දළදා මාළිගාවේ ප්‍රධාන සේනාධිනායකයා. මිත්ත අද මෙන් ම ඨකුරකට මුදල් දී දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා ගැනීමට උත්සාහ කර තියෙනවා. එහෙත් ඨකුරක සෙනෙවි එය ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. මිත්ත යුද්ධාධිකරණය කැඳවා ඨකුරක මරා දැමීමටත් ඔහුගේ ඥාතින් රටින් පිටුවහල් කිරීමටත් කටයුතු කර තියෙනවා.
මෙරට හාමුදුරුවරු ඨකුරක සෙනෙවිගේ පැත්ත ගෙන තියෙනවා. උන්වහන්සේලා පවසා ඇත්තේ ඨකුරක මරා දැමුවත් දළදා වහන්සේග් භාරකාරත්වය රාජ්පුත් වංශයට හිමි විය යුතු බවයි. මිත්ත ඊළඟට ඒ භික්‍ෂුන් වහන්සේ ඝාතනය කිරීමට උත්සාහ දරා තියෙනවා. මිත්ත යාපහුව බළකොටුව ආක්‍රමණය කරන්න යන විට රාජ්පුත් වාංශික හමුදාව ඔහු පරාජය කර තියෙනවා. පසුව මිත්ත ඨකුරක සෙනෙවියන්ට මරණ දණ්ඩනය නියම කර තියෙනවා. දඬුවම පිළිගැනීමට මාළිගාවට ගිය ඨකුරක සියලු දෙනා බලා සිටිය දී මිත්තගේ ම කඩුව උදුරා ඔහුගේ හිස සිඳ තිබෙනවා. ඒ 1272 දී. ඨකුරකට රජකම ගැනීමට තිබුණ නමුත් ඔහු එසේ කර නැහැ. ඔහු බුවනෙකබාහුට රජකම දී දියෙනවා. එතැන් පටන් අපේ මුත්තලා දළදා වහන්සේගේ ආරක්‍ෂයන් වී සිංහල බෞද්ධ ජනසමාජයට අවශෝෂණය වී තියෙනවා. මෑතක් වන තුරු ඨකුරක ඥාති පරපුරේ අය දළදා වහන්සේගේ භාරකාර ධුරයන් දරා තියෙනවා.