Main Logo

Saturday 24 September 2022

ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි අපේ රාජ්ජේ

 

ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි අපේ රාජ්ජේ

 

රනිල් තම රැජන ගැන පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙන් ජාතික රූපවාහිනිය ප්‍රචාරය කළ කොටස අහගෙන හිටියට පස්සෙ මට හිතුනෙ ඇය තව කලක් රැජන හැටියට තියා ගත්ත නම් කොච්ර හොඳ ද කියල. ඇය ව්‍යවස්ථානුකූලව ලංකාවේ රැජන වෙලා ඉඳලා තියෙන්නෙ 1952 ඉඳන් 1972 වෙන තුරු විතරයි. හැත්තෑ දෙකෙන් පස්සෙ ලංකාව ජනරජයක් වුණා. අපරාදෙ. විජයගෙ හිටන් රජ කළ රජවරු  නැතිවුණා. මෙච්චර කල් අප ඉගෙන ගත්තෙ ලංකාවෙ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ කියල. ඊයෙන් පස්සෙ ඒක වෙනස් කරන්න වෙලා. අපේ අන්තිම රැජන දෙවැනි එලිසබෙත්.

 

මගේ මතකය අනුව අර කුංකුණාවෙ හාමුදුරුවො අපටත් රජෙක් ඇත්නම් කියල තියෙන්නෙ දන්නෙ නැතුව වෙන්න ඕන. ඒ කාලෙත් අපට තුන්වැනි හරි හතරවැනි හරි ජෝර්ජ් කෙනෙක් ඉන්න ඇති. ඒ දවස්වල රනිල් හිටියෙ නැහැ. ඒකයි ප්‍රශ්නය. ඊයෙ තමයි මා දැන ගත්තෙ පේරාදෙණියෙ විශ්වවිද්‍යාලය කොහොම වෙතත් විිද්‍යා පීඨය බටහිර වෛද්‍ය පීඨය පිහිටුවල තියෙන්නෙ එලිසබෙත් අපේ රැජන කියලා. සමහර ශාලා පිහිටුවල තියෙන්නෙත් ඇය.

 

බුද්ධ ජයන්තියත් ඇගේ නායකත්වයෙන් තමයි පවත්තල තියෙන්නෙ. පුදුමයි එංගලන්තෙ කවුරුවත් එයට විරුද්ධ නොවීම. 1815 ගිවිසුම බ්‍රවුන්රිග් තුන්වැනි ජෝර්ජ් මහාරජාණන් වෙනුවෙන් අත්සන් කරල රට බාර ගත්ත වෙලෙ ඔහුට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. මා කියන්නෙ නැහැ බ්‍රවුන්රිග් ගෙදර යනු හරි ගෙදර එනු හරි කියල අරගලයක් තිබුණ කියල. ඒත් එංගලන්තෙ හිටිය ප්‍රබුද්ධයන් ප්‍රශ්න කළා බ්‍රවුන්රිග් මේ මිථ්‍යාදෘෂ්ඨික දහමක් ආරක්‍ෂා කරන්න පොරොන්දු වුණෙ කොහොමද කියල.

 

බ්‍රවුන්රිග් පැහැදිලිව කිවුව එහෙම පොරොන්දු වුණෙ නැත්තන් ගිවිසුම අත්සන් කරන්න බැරි වෙනව කියල. ඒ කොහොම වෙතත් 1840 දී ඉංගිරිසින් දියවඩන නිළමෙ කෙනකු පත්කරල අර වගකීමෙන් හෙමිහිට නිදහස් වුණා. ඒ කියන්නෙ 1815 ගිවිසුම කැඩුව. එත් ඒකට විරුද්ධවවත් ඊට කලින් වුණු ඌව වෙල්ලස්ස ඝාතනවලට විරුද්ධවවත් ඊට පස්සෙ 1848 සිද්ධ වෙච්ච ඝාතනවලට විරුද්ධවවත් ජෙනීවා යන්න බැරි වුණා. ජෙනීවා විගඩම් ඒ දවස්වල නොතිබිච්ච එක වෙන ම කතාවක්. දැන්වත් යන්න බැරි ද? ඒ සඳහා කාල සීමාවක් තියෙන්න බැහැ.

 

බුද්ධ ජයන්තිය විතරක් නම් බැරුවයැ. ලංකාව ජනරජයක් කරල රැජනකම අත්හැරල තියෙන්නෙත් එතුමිය. සිලෝන් ශ්‍රී ලංකා කරල තියෙන්නෙත් එතුමිය.  ඇය අපේ රටේ රජකම අත්හැරපු වෙලාවෙ අපට තිබුණෙ චාල්ස් අපේ රජතුමා බවට පත් කර ගන්න. ඔහුට ශ්‍රී ලංකාවේ තුන්වැනි චාල්ස් කියල අර ආණ්ඩුකාර මන්දිරයෙ පදිංචියට යන්න තිබුණ. එහෙම වුණා නම් පරගලකාරයන්ට යන්න තැනක් නැති වෙනවා. පීනන්න බැරි වෙනවා. චාල්ස්ගෙ ඇඳේ නිදා ගන්න බැරි වෙනවා.

 

එහෙම රජකමට පත්කර ගත්තා නම් ඔහුට ඔටුණු පළන්දන්නෙ කවුද? මෙරට ඇංග්ලිකන් සභාවෙ (ලංකා සභාවෙ) ප්‍රධාන පූජකවරයා ද? එහෙමත් නැත්නම් කැන්ටබරියෙ ආච්බිෂොප් ද? ඔය ලංකා සභාව රනිල්ගෙ තාත්තාගෙ සභාව. රනිල්ගෙ බාප්පා කෙනකු වූ ලක්‍ෂමන් වික්‍රමසිංහ 1962 ඉඳන් 1983 දක්වා කුරුණෑගල බිෂොප් වෙලා ඉඳලා තියෙනවා. ඔහු ඉතා අඩු  වයසින් බිෂොප් වෙලා තියෙන්නෙ. රනිල් ජනාධිපති වුනෙ නම් ඒ වගේ දෙගුණයක්  වයස ගිහින්. ඒත් චාල්ස් අපේ රජු වෙලා හිටිය නම් රනිල්ට ජනාධිපති වෙන්න බැහැ. ඒක ප්‍රශ්නයක්.

 

රනිල්ගෙ කතාවෙ ප්‍රචාරය කරපු කොටස අහගෙන ඉන්න කොට මට මතක් වුනෙ සංදේශය චිත්‍රපටයෙ රැජන මමයි සිංදුව. මට ජාතික ගීය හා පාසල් ගීය හැර එක ගීයක්වත් මතක නැහැ. ඒත් මට මතකයි රැජන මමයි අපේ රාජ්ජෙ කොටසක්. ඒකෙ කියනව ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කියල. රනිල් කියන විධියට දෙවැනි එලිසබෙත්ට කියන්න තිබුණා ඒක කෙළෙත් අපි ම තමයි මේක කෙළෙත් අපිම තමයි අපේ රාජ්ජේ කියල.

 

කාගෙ කාගෙත් නිවට කමේ සීමාවක් නැද්ද?