Main Logo

Thursday, 22 September 2022

ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ බෞද්ධ පාසල්

 ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ බෞද්ධ පාසල්

 

මා හිතන්නෙ අපේ අම්මලගෙ පරම්පරාව තමයි ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියට හුරුවෙන්න පටන් ගත්තෙ කියල. මා කියන්නෙ ඉංගිරිසි සංස්කෘතියෙ ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් අය ගැනවත් ඉංගිරිසි ආර්ථිකයෙ පළ නෙලාගත් අය ගැනවත් නො වෙයි. ඔවුන් කලක සිට ඉංගිරිසි කතාව හුරු වෙච්ච අය. මා සඳහන් කරන්නෙ ඉංගිරිසි කතා නොකළ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන පාසල්වල ඉගෙගන නොගත් අම්මලගෙ පරම්පරාව ගැන. 

 

මේ අය ඉපදුනෙ ධර්මපාලතුමාගෙ ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පස්සෙ. 1912 වන විට ධර්මපාලතුමා ලංකාව පුරා යමින් දේශන පැවැත්වීම ආරම්භ කරලා. අපේ තාත්තා ඉපදී ඇත්තෙ 1911 අම්මා 1914. මහාබෝධි සමාගම ආරම්භ කරල තියෙන්නෙ 1891 දි. ඕල්කට්තුමා පැමිණියෙ 1880. පාණදුරා වාදය සිදු වුණෙ 1862 දි. අම්මලා ඉපදෙන්න අවුරුදු පනහකට පෙර. ආච්චි අම්මා ඉපදෙන්නත් පෙර. නූතන සිංහල බෞද්ධ ව්‍යාපාරය ඇතිවෙලා තරමක් කල් ගිහින් තමයි අම්මල ඉපදිල තියෙන්නෙ.

 

අම්මල තාත්තලා සිංහල බෞද්ධයන්. ආච්චි අම්මා ඒ දවස්වල කියනවා සමුද්‍රගිරියේ ක්‍රිස්තියානි නෑයන් කිවුවලු අම්මවත් මාමාවත් හදාගන්න උදවු කරන්න ක්‍රිස්තියානි ආගමට එන්න කියා. ඒ අය එක්කො මෙතෝදිස්ත නැත්නම් ඇංග්ලිකන්. ඒත් ආච්චි අම්ම එයට කැමති වෙලා නැහැ. අමාරුවෙන් හරි ආප්ප පුච්චල දරුවන් දෙදෙනා හදා ගත්තා. මෙයින් කාරණා දෙකක් පැහැදිලි වෙනවා. ක්‍රිස්තියානි ආගමට සිංහලයන් හරවා ගැනීමේ දී කරන ලද බලපෑම්. එය උදවු උපකාරතනතුරු ලබා දීම්වරප්‍රසාද දීම් ආදිය උපයෝගි කර ගනිමින් කෙරිල තියෙන්නෙ. ඒත් බොහෝ දෙනා ඒ බිලිබා ගැනීම්වලට හසු වෙලා නැහැ. ආච්චි අම්මලා වැනි දුප්පත් අය විතරක් නො වෙයිඉංගිරිසි ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් ඉංගිරිසි ආර්ථික ක්‍රමයට සකස් වුණු අයත් ආගමෙන් ක්‍රිස්තියානි වෙලා නැහැ.

 

එහෙත් පාසල් පද්ධතිය හරහා ඔවුන් ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කෙරුණා. නූතන සිංහල බෞද්ධ පුනර්ජීවනය ක්‍රිස්තියානි පූජකවරුන් හා වෙනත් දේශකයන් බුදුදහමට එරෙහිව ගෙන යන ලද අපහාසත්මක ප්‍රචාරයන්ට විරුද්ධ ව ඇරඹි එකක්. එය මූලික වශයෙන් විරුද්ධ වුණෙ ම ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයට. එය ප්‍රොතස්තන්තයට  විරුද්ධ වීම කියන එකේ විරුද්ධ කියන කොටස අල්ලා ගෙන තවත් ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්න පුළුවන් හරය නැතිව මතුපිට පමණක් සලකන ගණනාථ ඔබේසේකර වැන්නන්ට පමණයි. විරුද්ධ වූ පමණින් ව්‍යාපාරයක් ප්‍රොතෙස්තන්ත කියා හැඳින්වීම පඬි නැට්ටන්ගෙ ගුරුවරුන්ගෙ බුද්ධි මහිමය කියා පාන්නක්.

 

කෙසේ වෙතත් සිංහල බෞද්ධ පුනර්ජීවනයට තමන්ගෙ ම කියා පාසල් තිබුණෙ නැහැ. මෙතෝදිස්ත පල්ලියට අනුවත් 1814 ඇරඹි රිච්මන්ඩ් විදුහල මෙතෝදිස්ත පල්ලියෙ පාසලක්. පසුව රාජකීය විදුහල බවට පත්වුණු කොළඹ ඇකඩමිය 1835 ඇරඹුණෙ. ශාන්ත තෝමස් විදුහල 1851 පටන් ගෙන තියෙන්නෙ. ඒ පාසල් දෙක ම ඇංග්ලිකන් පල්ලියෙ පාසල් හැටියට ඇරඹුණෙ. සිංහල බෞද්ධ පුනර්ජීවනයට ඒ පාසල්වල හා තවත් ක්‍රිස්තියානි පාසල්වල ඉගෙන ගත් අයත් සහභාගි වෙලා තියෙනවා. ඒ අර අපහාසවලට විරුද්ධ ව. ධර්මපාලතුමා කෝට්ටෙ ක්‍රිස්තියානිශාන්ත තෝමස්රාජකීය විදුහල්වල ඉගෙන ගත් අයෙක්.

 

සිංහල බෞද්ධයන්ට තමන්ගෙ කියල හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නැහැ. ඔවුන්ට අර ක්‍රිස්තියානි පාසල් තමයි අනුකරණය කරන්න සිද්ධ වුණෙ. 1886 ආනන්ද විදුහල ආරම්භ කරල තියෙන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියෙමයි. එය බෞද්ධ රාජකීය විදුහලක්. පාණදුරේ ශ්‍රී සුමංගල විදුහල රන්කොත් විහාර පරිශ්‍රයෙ දි ආරම්භ කරල තියෙන්නෙ 1909 තරම් මෑතක. එහි පළමු ශිෂ්‍යයා වෝල්ටර් සල්ගාදු. ඒ කියන්නෙ ජී එල් පීරිස්ගෙ මවගෙ පියා. වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව එයට අවුරුදු විස්සකට  කලින් සිංහල මාධ්‍යයෙන් උගන්වන පාසලක් ලෙස 1889 දි ආරම්භ කරල. මේ පාසල් මාධ්‍යය සිංහල වුණත් ඉංගිිරිසි වුණත් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ පාසල්. ඒ පාසල්වල උදේට පන්සිල් ගන්න ඇති. දවල්ට ඡත්ත මානවක ගාථා කියන්න ඇති. ඒත් ලැබුණු අධ්‍යාපනය ක්‍රිස්තියානි සංස්කෘතියෙ.    

 

ඒ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වූ බෞද්ධ පාසල්වලටත් සිසුන් ඇතුළත් කෙළෙ අද බසින් කියනව නම් ජීවිතෙ ගෙඩ දාගන්න. ආච්චි අම්ම ක්‍රිස්තියානි ආගමට යෑම ප්‍රතික්‍ෂෙප කරල අමාරුවෙන් දරුවන් දෙදෙනා හදා ගත්තත් ජීවිතෙ ගොඩ දාගන්න ඔවුන් යවන්න වුණෙ මේ පාසල්වලට. ඒ තමයි සිංහල බෞද්ධයන්ගෙ උරුමය. ඒ සියලු දරුවන් බෞද්ධ වුණත් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ඔවුන් මත පැටවුණා. ආච්චි අම්මලත් ඒ පාසල්වල ඉගෙන ගත්තත් පරංගි සංස්කෘතියත් ඔවුන්ට බලපෑවා.

 

මෙහි දී මට මතක් වෙනවා ඔස්මන්ඩ් ජයරත්න වරක් මා සමග කී කතාවක්. ඔහු රාජකීය විදුහලේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෙක්. ඔහු ප්‍රභූ පවුලකට අයත් වූවෙක්. ඔහුගෙ දෙමවුපියන් ගෙදර කතා කර තියෙන්නෙ පෘතුගීසි භාෂාවෙන්. ඔවුන් ආගමෙන් කතෝලික. ඔස්මන්ඩ් අදේවවාදියෙක්. පෘතුගීසි සංස්කෘතිය අපේ ආච්චි අම්මලගෙ කබාකොරොත්තුවෙත් දැක ගන්න පුළුවන් වුණා.

 

සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත් අම්මලට තාත්තලාට ගොඩ ඒම සඳහා රැකියා දෙකක් තිබුණා. එකක් ගුරුවරයකු වීම අනෙක නොතාරිස්වරයකු වීම. ඊට ඉහළ යැයි සම්මත රැකියාවක් කරන්න නම් ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන පාසලකට යන්න සිදු වුණා. කොහොම හරි අම්මලා බෞද්ධ වුණත් ඉංගිරිසි කතා නොකළත් ඉංගිරිසි සංස්කෘතියෙ අධ්‍යාපනයක් ලැබුවා.