දිරිය මවුවරු
බොහෝ අම්මලා දිරිය මවුවරු. අම්මලාගේ ලෝකයේ පවුල
ප්‍රධානයි. කලක් සමහර සංස්කෘතීන්වල තිබුණෙ මාතෘ මූලික සමාජ කියනවා. ඒත් දැන් නම්
ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල ඇත්තෙ පීතෘ මූලික සමාජ. සිංහලයන් අතරත් එහෙමයි. එහෙත්
තාත්තා ඊනියා ගෘහ මූලික වුවත් දරුවන් හදා වඩා ගැනීමේ කටයුත්තේ දී මූලික වන්නෙ
අම්මා. දරුවන්ට පවතිනා ක්‍රමයෙ හොඳ තත්වයක් ලබා දීම අම්මලා තම ප්‍රධාන කාර්යය බවට
පත් කරගෙන. මේ හොඳ කියන එක පිටුපස තියෙන්නෙ ප්‍රධාන වශයෙන් ම සමාජ ආරක්‍ෂාවක්.
එහෙමත් නැත්නම් රක්‍ෂණයක්. අම්මලා බොහෝ විට පවතින ක්‍රමයට අනුගත වෙනවා. අර විස්තෘත කියන පවුලෙන් පිට කටයුතුවලට මැදිහත්
වෙන්නෙ අම්මලා ටික දෙනයි.
තාත්තලා නැත්නම් පිරිමි තමයි පවුල් සමූහයකින්
සෑදී තියෙන සමාජය ගැන උනන්දු වෙන්නෙ. අම්මලා මූලික වශයෙන් ගෘහණියන්. එයින්
කියැවෙන්නෙ ගෘහය නැත්නම් ගෙදරත් සමග ඇති බැඳීම. එය සිංහලට ගැහැණිය වෙනවා. පිරිමි වැඩිපුර
දේශපාලනයට එන්නෙ ඔවුන්ට අර පවුල් එකතුවෙලා හැදෙන සමාජය ගැන ගැහැණුන්ට වඩා
උනන්දුවක් තියෙන නිසා. ඊනියා සමානත්වයක් ගැන කියමින් ගැහැණුන් ද වඩ වඩා දේශපාලනයට
යොමු විය යුතු ය කියන්නෙ ඔය සමානත්වය කියන එක වැරදි කොණින් අල්ල ගෙන. පඬි නැට්ටන්
කියාවි නලින් ද සිල්වා (නලින්ද සිල්වා නොවෙයි) ගැහැණියට සම තැන දෙනවාට විරුද්ධ
බමණු මතයක් දරණ අයකු කියා. අප පිරිමියාටත් ගැහැණියටත් දිය යුත්තේ නිසි තැනයි.
අපේ අම්මාත් ආචිචි අම්මාත් දිරිය මවුවරුන්.
අම්මාගේ නම විජේසූරිය ගුණවර්ධන මහවඩුගේ ඩේලින් පෙරේරා. ආච්චි අම්මාගේ නම මද්දුමාගේ
මැගී මෙරායා ප්‍රනාන්දු. අපේ මවු පාර්ශ්වයේ සීයා අම්මා කුඩා කල ම මිය ගිහින්. සීයා
මිය යන විට අම්මාගේ මල්ලී අපේ මාමා දණ ගාන වයසෙ. කියන විධියට සීයා දක්‍ෂ වඩුවෙක්.
ඒ සීයාගේ සහෝදර සහොදරියන් ගැන මා අසා නැහැ. සීයාගේ මරණින් පසු ආච්චි අම්මා හොඳට ම
අසරණ වෙලා. ජීවත් වීමටත් ඊටත් වඩා දුවත් පුතත් ජීවත් කරවීමටත් ඇය ආප්ප පුච්චා
විකුණන්න පටන් අරන් තියෙනවා. එයින් යම් ආදායමක් ලැබෙන්න ඇති.
බොහෝ දෙනා කියා තියෙනවා එවකටත් තරුණ වියේ සිටි ආච්චි
අම්මාට දෙවැනි විවාහයක් කරගන්න කියා. එහෙත් දරුවන් සන්දා එයට කැමති වෙලා නැහැ. උදේ
පාන්දර නැගිට ආප්ප පිච්චීම දිගට ම කරගෙන ගිහින්. අම්මා තරමක් ලොකු වුණාට පස්සෙ
ඉස්කෝලෙ (වැකඩ ඉස්කෝලෙ) ගිහින් තියෙන්නෙ උදේට ආප්ප ටික කඩේට දීල. ආච්චි අම්මත්
අම්මාත් ඉගෙනීමට දක්‍ෂ කියා කියනවා. ඒක නම් මටත් කුඩා කල වැටහුණා. අම්මා අංක
ගණිතයට හපන් කමක් දැක්වුවා. මට දශම වැඩි කිරීම තේරූම් කර දීමට නොහැකි වීම වෙනත්
කරුණක්.
අම්මා දහහත්වැනි වියේ දී එවකට තිබූ අවසානය සමත්
වෙලා ගුරුවරියක ලෙස වෑකඩ ඉස්කෝලෙ ම සේවයට ගිහින්. ඉන් පසු අම්මා තමයි පවුලෙ බර කරට
අරන් තියෙන්නෙ. ඔය 1931 අවුරුද්ද වෙන්න ඕන. අපට රාජ්‍ය මණ්ත්‍රණ
සභාව ලැබුණු අවුරුද්ද. එවකට ශ්‍රී සුමංගල විදුහලේ විදුහල්පති ව සිටි ගිනිගේ මහතා
හමුවී මාමාට ඒ විදුහලේ ශිෂ්‍යත්වයක් ලබා දීමට ආච්චි අම්මා කටයුතු කර තියෙනවා. පසුව
මාමා මරදානේ කාර්මික විදුහලට ඇතුළත් වී පාඨමාලාවක් හදාරා තියෙනවා. මාමාගේ සියලු
විය හියදම් දරා තියෙන්නෙ අම්මා.
අම්මාට තාත්තා හමු වී තියෙන්නෙ වැකඩ ඉස්කෝලෙ
උගන්වන කාලයේ. දෙදෙනා ම එහි උප ගුරුවරු. බොහෝ කරුණු අතින් වෑකඩ ඉස්කෝලෙ අපේ පවුලෙ
ඉස්කෝලෙ. පවුලේ බර කරට ගැනීම නිසා අම්මාගේ විවාහයත් ටිකක් කල් ගිහින්. විවාහ වී
තියෙන්නෙ වයස අවුරුදු විසිනවයත් පහු වුණාට පස්සෙ. තාත්තා අම්මා විවාහ කර ගැනීමට
කැමති බව දැනගත් ආච්චි අම්මා කියා තියෙනවා තාත්තාට පළමුව ප්‍රධානාචාර්යවරයෙකු
වෙන්න කියා. ඒත අර දුවගෙ ආරක්‍ෂාවට වෙන්න ඕන. අපේ සමාජයේ දුවලා ආරක්‍ෂා කරන්නෙ
පවුල රැක ගැනීම ප්‍රධාන වශයෙන් ම ඔවුන්ට හිමි වෙන නිසා. දෙමවුපියන්ගෙන් පසුව
ස්වාමියාගෙන් ආරක්‍ෂාව ලැබේවිය කියා අප බලාපොරොත්තු වෙනවා.
අම්මාගෙත් තාත්තාගෙත් විවාහය දුක් කම්කොටලු
නැති විවාහයක් නො වෙයි. ඒත් අම්මා දිරිය මවක්. සිංහල ගුරුවරුන් ලෙස අම්මටත්
තාත්තටත් යම් ආදායමක් ලැබෙන්න ඇති. එකල සිංහල ගුරුවරුන්ට ලැබුණෙ ඉංගිරිසි
ගුරුවරුන්ට වඩා අඩු වැටුපක්. මා කුඩා කල අප ජීවත් වූයේ පාණදුරේ කෙසෙල්වත්තේ ශ්‍රී
ජින ධර්මදාන පාසලේ ගුරු නිවසේ. එකල තාත්තා ඒ පාසලේ ලොකු මහත්තයා. අම්මා උදේ පාන්දර
නැගිට උයා පිහා ඉගැන්වීමට වැකඩ ඉස්කෝලෙට යන්න ඕන. මා ඒ එකක්වත් එකල දැනන් හිටියෙ
නැහැ. මට මතක මා ඒ ගුරු නිවසේ අර බයිසිකලයක් (ඇත්තට ම ත්‍රිරෝදයක් හෙවත් ට්‍රයිසිකලයක්)
පැද්ද එක පමණයි.
අම්මා කෙසේ හෝ මුදල් ටිකක් ඉතුරු කර ගෙන තව
ණයටත් අරගෙන (ආණ්ඩුව මෙන් නොව ණය ගෙවීමට සැලැස්මක් ඇති කර ගෙන) වෑකඩ අද බස් ඩිපෝව
හා ශ්‍රී සුමංගල විදුහල පිහිටා ඇති ප්‍රදේශයට කිට්ටුව දර කඩය නමින් ප්‍රසිද්ධ වූ ගෙයක්
හා ඉඩම මිල දී ගැනීමට කටයුතු කර තියෙනවා. ඒ ගෙදර ටික කලක් ජීවත් වීමෙන් පසු අම්මා
තම නෑයකුගෙන් ණයක් ගෙන තාත්තාගේ මාමා
කෙනකු සමග හවුලට අප පසුව කලක් ජීවත් වූ නිවස හා ඉඩම මිල දී ගෙන තියෙනවා. මා විවාහ
වන තුරු පදිංචි වී සිටියේ ඒ නිවසේ. මට
මතකයි බොහෝ කලක් යන තුරු අම්මා අර ණය කොටස් වශයෙන් ගෙවීමට කටයුතු කළ බව.
එය ලෙහෙසු පහසු කාර්යයක් නො වෙයි. දරුවන් අට
දෙනකුගේ වැඩ කටයුතු නොපිරිහෙළා ඉටු කරමින්,
අප කොළඹ පාසල්වලට යවමින් එසේ කෙළේ කෙසේ
ද යන්න හිතා ගැනීම තරමක් අමාරුයි. අම්මා අප කිසිවකුට ණය ගෙවීමට ඉතිරි කර තිබුණේ නැහැ.
සියලු ණය ඇය ගෙවා තිබුණා. අප ණය අම්මාටත් තාත්තාටත් පමණයි. නිිදහස් අධ්‍යාපනය
අම්මාට හා තාත්තාට අපට ඉගැන්වීමට ආධාරයක් වුණු බව නොකියා ම බැහැ. අම්මාගේ කතාව අදට
මෙපමණයි.