Main Logo

Friday 18 August 2023

සිංහල බෞද්ධ විරෝධීන් කොටසක්

 

සිංහල බෞද්ධ විරෝධීන් කොටසක්

 

සිංහල බෞද්ධ විරෝධීන් වර්ග කිහිපයකට ගොනු කරන්න පුළුවන්. සිංහලයන් අතර මෙන් සිංහලයන් නොවන්නන් අතර ඔවුන් ඉන්නවා. සිංහලයන් අතර ඉන්නවා කියපු ගමන් ඇතැමුන් කියන්න බැරි නැහැ තමන් සිංහලයන් නොවේය කියා. ඔවුන් කියාවි තමන් ගෝත්‍රවාදී නොවන බවත් මනුෂ්‍යයන් බවත්. ඒත් ඔවුනුත් ජීවත් වෙන්නෙ සිංහල සංස්කෘතියෙ. ඔවුන් තමන් විද්‍යාත්මක තාර්කිකයන් හැටියටත් හඳුන්වා ගන්න පුළුවන්. ඒත් ඔවුන් බොහෝ දෙනකු විද්‍යාවත් ගණිතයත් හැදෑරීමට බැරුව වෙනත් විෂය ඉගෙන ගත් අය.

 

මා කියන්නේ නැහැ විද්‍යාව හරි ගණිතය හරි හැදෑරූ අය තාර්කිකයන් කියා. අපේ රටින් ගණිතඥයකුවත් විද්‍යාඥයකුවත් බිහි වී නැහැ. මෙරට ගණිතයක් ඉගැන්වෙන්නේ නැහැ. විද්‍යාවක් ඉගැන්වෙන්නෙත් නැහැ. ඉගැන්වෙන්නේ ගණන් හදන ක්‍රමයි විද්‍යා තොරතුරුයි.  එහෙම තියෙද්දිත් ඇතැමුනට ගණිතය හා විද්‍යාව බැරි වීම නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහි ඇති වියුක්ත බව එයට හේතුවයි. ගණිතයේ හා ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේ වියුක්තය ඉතා වැඩියි. අපේ සංස්කෘතියේ වියුක්ත චින්තනය ඉතා අඩුවෙන් තියෙන්නේ.

 

අපි සිංහලයන් අතර සිටින සිංහල බෞද්ධ විරෝධීන් ගැන පසුව කතා කරමු. ඔවුන්ට මෙරට ජනතාවගේ සිංහල බෞද්ධකම නැති කරන්න බැහැ. පහුගිය අවුරුද්දක පමණ කාලයක මා ලියූ ලිපිවලින් කුරුන්දිය වටා රොක්වෙමු ලිපිය වැඩිම ප්‍රමාණයක් අතරට ගිහින් තියෙනවා. කුරුන්දිය සිංහල බෞද්ධයන් එකතු කරන සංකේතයක් බවට පත් වෙලා. නායකයකු නැතුව වුවත් සිංහල බෞද්ධයන් එකතු වෙනවා. එය දිගින් දිගට සිදු වේවි. අපට වෙල්ලාලයන්ගේ වෑඩවලට අවහිර කරන්න අවශ්‍ය නැහැ. සිංහල බෞද්ධයන්ට  නායකයකු නැති වීම නම් ප්‍රශ්නයක්.  බටහිරයන් හා ඉන්දියාව පරගලය සංවිධානය කෙළේ සිංහල බෞද්ධ නායකත්වය නැති කරන්න.

 

සිංහල බෞද්ධයන් නොවන අය සියල්ලන් සිංහල බෞද්ධ විරෝධී නො වෙයි. වහාබ්වාදය මුල් බැස ගැනීමට පෙර මුස්ලිමුන් සිංහල බෞද්ධ විරෝධීන් වුණේ නැහැ. අදත් සුෆී මුස්ලිමුන් සිංහල බෞද්ධ විරෝධී නො වෙයි. සිංහල කතෝලිකයන් සමස්තයක් ලෙස සිංහල බෞද්ධ විරෝධී නො වෙයි. ඔවුන් අතරින් කිහිප දෙනකු සිංහල බෞද්ධ විරෝධින් වෙලා තියෙනවා. අවාසනාවකට පූජකවරුන් නම් බොහෝ දෙනකු.

 

සිංහල බෞද්ධ විරෝධය ඉතා ඈතට යන්නක් නො වෙයි. පෘතුගීසීන් ලනදේසින් හා ඉංගිරිසින් පමණක් නොව චෝලයන් සිංහල බෞද්ධ විරෝධීන්. එහෙත් මෙරට සිංහල බෞද්ධ විරෝධයක් ඇති වුණේ ඉංගිරිසින් ඇති කළ බෙදා පාලනය කිරීම නිසා. ලන්දේසීන්  තම ආගමට අප හරවා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. සිංහලයන් අතර ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ආගමිකයන් ඇතැයි මා සිතන්නේ නැහැ. එහූ රටක බෞද්ධ ප්‍රොතෙස්තන්තවාදයක් ගැන කතා කරන්නන් ඉන්නවා. එහෙත් සිංහලයන් අතර කතෝලිකයන් ක්‍රිස්තියානින් (ඇංග්ලිකන් මෙතෝදිස්ත බෝන් අගේන් ආදි) නම් ඉන්නවා.

 

ඉංගිරිසින් රජයේ ඉහළ රැකියා තනතුරු ආදිය දුන්නේ සිංහල ක්‍රිස්තියානින්ට හා වෙල්ලාලයන්ට. සිංහල බෞද්ධයන්ට එවැනි රැකියා තනතුරු ලැබුණා නම් ඉතා කළාතුරකින්. එහෙත් ඔවුන් දෙමළ ක්‍රිස්තියානින්ට අමතර දෙමළ හින්දුන් ළඟට ගත්තා.  එහි දී ඔවුන් ආගම සැලකුවේ නැහැ. ඉංගිරිසින් දෙමළ හින්දුන් ළඟට ගත්තා පමණක් නොව කුමාරස්වාමි පොන්නම්බලම් පවුල රටේ ප්‍රධාන පවුල බවට පත් කළා. පවුලත් කලක් ක්‍රිස්තියානි හිටියා. එහෙත් ඔවුන් හින්දු වුණා. හින්දු වීමෙන් ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉංගිරිසින් මුස්ලිමුන් ඈතින් තියා ගත්තා. බටහිරයන් මුස්ලිමුන් විශ්වාස කෙළේ නැහැ.

 

ඉංගිරිසින් දෙමළ ජනයා අතර වෙල්ලාලයන්ට පමණයි සැලකුවේ. ඔවුන් වෙල්ලාලයන් හා සිංහල ක්‍රිස්තියානින් ළඟට ගත් අතර සිංහල බෞද්ධයන්ට කෙණෙහිලිකම් කළා. මෙතෝදිස්ත ඇංග්ලිකන් පූජකයන් ගිහි දේශකයන් බුදුදහමට පහර ගැහුවා. පංච මහා වාද එහි ප්‍රතිඵලයක්. විශේෂයෙන් විසිහයවැනි දාට අවුරුදු 150ක් පිරෙණ පාණදුරා වාදය එහි ප්‍රධානත්වයක් ගත්තා. එය ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධ කළ තවත් සටනක්. එය ඊනියා ප්‍රොතෙස්තන්තයක් නො වෙයි. හුදු විරෝධයක් නො වෙයි. එය බුදුදහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද්දක් නො වෙයි. එහි ප්‍රතිඵල 1931 දී දැක ගන්න ලැබුණා. පාණදුරා වාදයෙන් හොඳ මෙන් නරකත් සිදු වුණා. ඕල්කට්තුමාගේ පැමිණීමෙන් යහපතකට වඩා සිද්ධ වුණෙ අයහපතක්. භික්‍ෂුන් වහන්සේගේ තත්වය පහත වැටුණේ ඕල්කට්තුමාගෙන් පසුව. මා ඊයේ පෙරේදා දැක්කා සජිත් ප්‍රේමදාස භික්‍ෂු උපදේශක මණ්ඩලයකට උපදෙස් දෙනවා!

 

පාණදුරා වාදයෙන් පසු අමද්‍යප ව්‍යාපාරය ඇති වුණා. පාණදුරා වාදයටත් අමද්‍යප ව්‍යාපාරයටත් දායකත්වය සැපයූ ගිහියන් ඉංගිරිසි ආර්ථිකයෙන් ධනය උපයා ගත් අය. අරක්කු රේන්දය පතල් කර්මාන්තය එහි දී වැදගත් වුණා. කුමාරි සොයිසා ජයවර්ධන තම කුරුඳුවත්තේ ග්‍රෙගරි පාරේ නිවසේ බිත්ති හීරුවොත් අරක්කු ගඳ එනවා කිවුවේ  වයිඩර් සිංහල බෞද්ධ විරෝධය විදහා දක්වමින්. ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධ සටන් කිරීමට හැකි තිබුණේ ඉංගිරිසි ආර්ථිකයෙන් ධනය උපයා ගත් අයටයි. ඔවුන් ඉංගිරිසි පාලන තන්ත්‍රයේ වැජඹුණු අය නො වෙයි. කුමාරි සොයිසා ජයවර්ධනගේ වචනවලින් ඔවුන් සොක්කන් නිකමුන්. එහෙත් සිංහල බෞද්ධ නායකත්වයක් ඇති වෙමින් තිබුණා.

 

පොන්නම්බලම් සහෝදරයන් එය කල් තියා දුටුවා. ඔවුන් 1911 වන විට එයට සූදානමින් හිටියේ. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ නායකත්වය අභිබවා යෑමට නොහැකි වුණා. 1911න් අවුරුදු විස්සක් ඇතුළත පාණදුරා වාදයේ හා අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස සිංහල බෞද්ධ නායකත්වයක් රටේ බලය ගත්තා. 1931 දී අපට සර්වජන ඡන්දය ලැබුණා. එය සර්ව සම්පූර්ණ යැයි මා කියන්නේ නැහැ. වෙල්ලාලයන් ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස් සර්වජන ඡන්දයට විරුද්ධ සාක්‍ෂි දුන් බව අමතක කරන්න එපා. 

 

කාලය තුළ සිංහල ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභූන් කිහිප දෙනකු බෞද්ධ වුණා. බණ්ඩාරනායක හා ජේ ආර් ජයවර්ධන ඉන් දෙදෙනෙක්. දෙදෙනා දෙපැත්තක. ජාතික ඇඳුමත් ප්‍රචලිත වුණා. ජාතික ඇඳුම අද කෝ කියා පඬි නැට්ටකු අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජේ ආර් හොඳ කියා අහන්නත් පුළුවන්. තම විද්‍යාත්මක තාර්කික බව පෙන්වීමට.

 

සිංහල බෞද්ධ විරෝධය ඇති වුණේ සිංහල බෞද්ධ නායකත්වයට ඉඩ දීමට සිදු වීමෙන් රටේ නායකත්වය අහිමි වූ වෙල්ලාලයන්ට හා සමහර සිංහල ක්‍රිස්තියානින්ට හා තමන්ට තර්ජනයක් වේ යැයි සිතූ සමහර සිංහල කතෝලිකයන්ට. කතෝලික පූජකවරුන් අතර කිහිප දෙනකු හැරෙන්න අනෙක් අය සිංහල බෞද්ධ විරෝධීන් වුණා.

 

එහෙත් සිංහල බෞද්ධ නායකයන් ලෙස පාණදුරා වාදය හා අමද්‍යප ව්‍යාපාරය හරහා මතුවුණු සේනානායකලා සිංහල බෞද්ධ ජාතිකත්වයට පිටු පෑවා. පනස්හය එහි ප්‍රතිඵලය. බටහිරයන් හා ඉන්දියාව පරගලය හරහා සිංහල බෞද්ධ ජාතිකත්ව නායකත්වය නැති කළා.  එහෙත් පරගලයට ජාතිකත්වය නැති කරන්න බැරි වෙලා.