Main Logo

Thursday 3 August 2023

වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය

 

වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය

 

දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් වූ අසාධාරණයක් නැතත් වෙල්ලාලයන්ට වෙල්ලාලයන් වීම නිසා වූ ප්‍රශ්නයක් තියෙනවා. අනෙකක් නොව ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණික යටත්විජිත පාලන කාලයෙහි ඇති කෙරුණු කුලවත් කමක් හා වැදගත් කමක් හේතුවෙන් ලන්දේසීන් විසින් ආනයනය කෙරුණු වෙල්ලාලයන්ට රටේ පාලකයන් වීමට තිබූ අභිලාෂය නිසා ඇති වූ ප්‍රශ්නයක්. ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත පාලකයන් විසින් ඔවුන්ට සිංහලයන් අභිබවා කටයුතු කිරීමට අභිලාෂයක් ඇති කෙරුණා. එහි දී අධ්‍යාපනය වරප්‍රසාද තනතුරු ආදිය පමණක් නොව නීතිය උපයෝගි කෙරුණා. වෙල්ලාලයන් යාපා පටුනේ වහල් හිමියන් බවට තේසවලාමේ නීතියෙන් පත් කෙරුණා.

 

අප ඊයේ පෙරේදා කතා කෙළේ ජාතික ගීය පිළිබඳ . සිංහල බෞද්ධ විරෝධීන් උමාරා සිංහවංසගේ ගායනය ගැන ඊනියා ශාස්ත්‍රීය කතා ලිවුවේ ප්‍රසිද්ධ උත්සවයක දී ජාතික ගීය ගායනා කිරීම ප්‍රතිනිර්මාණයක් ලෙස සලකමින්. සමහරු තම පාසල් කාලයේ ජාතික ගීය වෙනස් කර ගැයූ සිද්ධිත් ලියා තිබුණා. ව්‍යවස්ථාව ගැන අබමල් රේණුවක් නොදැන. පාසලේ දී ගීයක පද වෙනස් කිරීම ඇතැම් සංගීතඥයන් පැරණී ගීත ප්‍රතිනිර්මාණය කිරීම හා ප්‍රසිද්ධ උත්සවයක දී ව්‍යවස්ථාවේ සඳහන් එක ගීය වන ජාතික ගීය ගැයීම අතර වෙනස නොදන්නා අය කතා කරන්නේ නම් තමන් සියල්ල දත් පුද්ගලයන් ලෙස.

 

එහෙත් අප උමාරාගේ ගායන ගැන කතා කිරීමට පළමුව වෙල්ලාලයන් ජාතික ගීයට කර ඇති දේ කතා කරන්න ඕන. වගේ වෙල්ලාලයන්ට බටහිරයන්ට හා ඉන්දියාවට යට වුණු සිංහලයන්ගේ ඡන්දයෙන් පත්වෙන දේශපාලනඥයන් ගැනත් කියන්න ඕන. ජේ ආර් ජයවර්ධන එසේ යට වූ දේශපාලනඥයෙක්. අද පවත්නා තත්වයට ප්‍රධාන වශයෙන් වග කිව යුතු පුද්ගලයා ජේ ආර් ජයවර්ධන. විවෘත ආර්ථිකයක් ඇති කර ණය වී තිබුණු රට තව තවත් ණය කර බංකොළොත් කිරීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට ඉංගිරිසින්ටත් කරන්න බැරි වූ දේ කළ පුද්ගලයා හැටියටත් ඔහු හඳුන්වන්න පුළුවන්.

 

මෙරට පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කිරීමේ දී මුල් වුණේ කොල්වින් ආර් සිල්වා. ඔහු සිංහල භාෂාවට හා බුදුදහමට විශේෂිත තැනක් දීමට කටයුුතු කළා. බණ්ඩාරනායක මැතිණියගේ මැදිහත් වීම නිසා වෙන්න පුළුවන්. අභාවප්‍රාප්ත විජය වික්‍රමරත්න මහතා මා සමග වරක් පැවසුවේ තමන් කොල්වින් ආර් සිල්වා සමග ගමනක් යද්දී ඔහු (කොල්වින්) කළුතර බෝධිය අසළ දී රථයෙන් බැස නමස්කාර කළ බවයි. දෙදෙනා මිය ගිහින් බැවින් කාට හරි පඬිනැට්ටකුට කියන්න පුළුවන් මා කතාවක් ගොතනවා කියා. වඩාත් පඬිනැට්ටකු කියන්න පුළුවන් කොල්වින් නියම මාක්ස්වාදියෙක් නොව ප්‍රතිසංස්කරණවාදියකු කියා. හතරවැනි ජාත්‍යන්තරයේ පඬි නැට්ටකු කියන්න බැරි නැහැ කොල්වින් පැබ්ලෝවාදියකු මැන්ඩල්වාදියකු අර වාදියකු මේ වාදියකු කියා.

 

කොහොම වෙතත් ජේ ආර්ගේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කෙළේ චෙල්වනායගම්ගේ බෑණා වු (දියණියගේ ස්වාමි පුරුෂයා) ජේ විල්සන්. ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු මූලික වුණා ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයට උපලේඛනයක් ලෙස ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් ඇතුල් කරන්න. එය කිසිසේත් නොකළ යුතු තිබූ දෙයක්. ජාතික ගීය එසේ පරිවර්තනය කරන්න බැහැ. ව්‍යවස්ථාවේ ඉංගිරිසි පරිවර්තනයේ උපලේඛනයක් ලෙස ජාතික ගීයේ ඉංගිරිසි පරිවර්තනයක් අමුණා නැහැ.

 

මෙරට ජාතික ගීය ගයන්නේ එක භාෂාවකින්. ව්‍යවස්ථාවේ අධිකරණය විසින් පිළිගැනෙන්නේ සිංහල මුල් පිටපතයි. පරිවර්තන නො වෙයි. විල්සන්ගේ පරිවර්තනයෙන් (ඔහු එසේ කරන්න නැතුව ඇති. ඔහුගේ සිංහල හා දෙමළ දැනුම එයට ප්‍රමාණවත් නොවන්න ඇති. ඔහු යම් කිසිවකු ලවා එය කරවන්න ඇති) පිළිබිඹු වන්නේ වෙල්ලාලයන්ගේ ප්‍රශ්නයයි. ඔවුන්ගේ අභිලාෂයයි.

 

විල්සන්ගේ පරිවර්තනය ව්‍යවස්ථාවට පමණක් සීමා වී තිබුණ තාක් කිසිවකුට එය මතක් වුණේ නැහැ. එහෙත් වෙල්ලාලයන්ට යට වුණු ඊනියා යහපාලන ආණ්ඩුව පරිවර්තිත ගීය මට මතක හැටියට නිදහස් උළෙලක ගායනා කරවීමට කටයුතු කළා. එය තදබල වරදක් ව්‍යවස්ථාවේ මුල් පිටපතේ එවැනි ගීයක් නැහැ. රනිල්ගේ ආණ්ඩුවක් තමයි එදත් තිබුණෙ. ඔහු ජනාධිපති නොවන්න ඇති. එය වෙන කරුණක්. මා අහන්නේ නැහැ කෝ මේ සිරිසේන කියා.

 

අදත් මෙරට ප්‍රධාන ප්‍රශ්නය වෙල්ලාලයන්ගේ ප්‍රශ්නයයි. රටේ නායකත්වයට පත් වීමට නෙහැකි වූ ඔවුන් අද ඉන්දියාවේ ආධාරයෙන් උතුරු පළාත වෙන් කර ගැනීමට හදනවා. ඔවුන් ඉන්දීය මහා කොමසාරිස් හමු වෙනවා. මා හිතන්නෙ නැහැ වෙල්ලාලයන් ලවා සිංහල සංස්කෘතිය නැති කරවීමට අවශ්‍ය එංගලන්තය හා කැනඩාව වැනි රටවල්වලවත් එලෙස විදේශ තානාපතිවරුන් හමු වීමට රටවල ජනයාට ඉඩ ඇතැයි කියා. ඉන්දියාවේ මුස්ලිම් ජනයා එරට සිටින  මුස්ලිම් රටවල තානාපතිවරුන් හමුවෙනවා ? රනිල් ඉන්දියාවට ගියාම මෝදි කියා තියෙනවා ලංකාවේ දෙමළ ජනයා ගැන බලා ගන්න කියන කතාවක්. ඉන්දියාවට අවශ්‍ය වෙල්ලාලයන් මගින් මෙරට පාලනයට මැදිහත් වෙන්න.

 

පසුගිය දිනවල මා වෙල්ලාලයන් කිහිප දෙනකු මෙරට ඉතිහාසය ගැන ලියා ඇති පොත්පත් කිහිපයක් කියෙවුවා. ඔවුන් තැත් කරන්නේ දෙමළ රාජ්‍යයක් යාපනයේ තිබුණු බව පෙන්වන්න. මෙරට තියා ඉන්දියාවේවත් කිසි දිනෙක කිසි ප්‍රදේශයක දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. චෝල පාන්ඩ්‍ය පල්ලව ආදි වශයෙන් හැඳින්වෙන්නේ දෙමළ රාජ්‍ය නො වෙයි. වෙල්ලාලයන් යාපනය පැත්තේ (සමහර විට වල්ලිපුරම්හි වෙන්න පුළුවන්) තිබූ කාලිංග වාංශිකයන්ගේ යාපා රාජ්‍යයත් දෙමළ රාජ්‍යයක් ලෙස හඳුන්වන්න උත්සාහ කරනවා. එකී දේශය කාලිංග දේශයක් ලෙසත් පුරය සිංහපුරයක් ලෙසත් හඳුන්වා දී තිබිය දී. සිංහපුර කතාව ඇත්තේ එක් ලිපියක පමණක් නොවන බවත් පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කියන්න ඕන.

 

වෙල්ලාලයන් මහත් ආඩම්බරයකින් කතා කරනවා තමන් මෙරටට ආනයනය කෙරීමට වසර පන්සීයකට පමණ ඉහත සිදු වූ චෝල ආක්‍රමණ ගැන. ඔවුන් කියන්නේ චෝලයන් සිංහලයන් කෝට්ටේ දක්වා එළ වූ බව. ඔවුන්ට හයවැනි පරක්‍රමබාහු රජු මතක නැහැ. බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් 1629 දී පවා සෙනරත් රජු යාපනයේත් රජ බව. රජුගේ අතපත්තු නම් මුදලි කෙනකු පෘතුගීසීන්ට පරාජය වෙලා. පෘතුගීසීන් යාපනය ලබා ගත්තේත් සිංහල රජවරුන්ගෙන්. තමන් මෙරටට ආනයනය කිරීමට අවුරුදු පන්සීයකට පමණ පෙර කෙරුණු චෝල ආක්‍රමණවලට ආවඩන්නේ සිංහල රජුන්ගේ පරාජය අපේක්‍ෂා කරමින්. වෙල්ලාලයන්ගේ මුතුන් මිත්තන් එකල ඉන්දියාවේ චෝල රාජ්‍යයේ.