පාණදුරා වාදයේ යාපන පසුබිම
අදට පාණදුරා වාදයට අවුරුදු 150ක් පිරෙනවා. අදින් අවුරුදු 150කට පෙර අගෝස්තු 26 27 28 දිනවල තමයි වාදය පැවැත වී තියෙන්නෙ. මගේ මතකයට නැගෙන්නේ මා කුඩා කල පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව පාණදුරේ ගාලු පාර අසළ විවෘත කළ දිනය. එදින අපේ වැඩිහිටියන් පාණදුරා වාදය ගැන සඳහන් කළ දේ. ඔවුන් කිසිවකු වාදය දැක නැහැ. ඔවුන්ගේ කතා බහ අනුව සීයාටත් එකල එතරම් වයසක් නැහැ. සීයා වාදය දැක්කා ද කියා දැන ගැනීමට හැකියාවක් නැහැ.
මට
ඇති කණගාටුව දැනට අවුරුදු හැටකට පමණ පෙර ගමෙන් පිට වූ පසු පාණදුරේ වැඩ කටයුතුවලට සහභාගි වීමට නොහැකි වීමයි. අද පැවැත්වෙන උත්සවයට සහභාගි වීමටත් මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් පනස්හයේ දරුවකු ලෙසත් මා පාණදුරා වාදයේ දරුවකු ලෙස හැඟෙනවා. මට නොහිතා ඉන්න බැහැ ගුණානන්ද හිමියන් අද වැඩ විසුවා නම් පඬි නැට්ටන් උන්වහන්සේ ජාතිවාදියකු ආගම්වාදියකු ගෝත්‍රවාදියකු පසුගාමියකු ආදී වශයෙන් හඳුන්වන අයුරු. උන්වහන්සේ හා බෞද්ධ පුනර්ජීවනය නොවන්න නිදහස් අධ්‍යාපනයත් නැති බව පඬි නැට්ටන් තේරුම් ගන්න එකක් නැහැ. පාණදුරා වාදය මෙරට නිදහස් සටනේ තවත් පියවරක්.
පාණදුරා වාදයට පසුබිම් වන්නේ මෙරට ඉංගිරිසි යටත්විජිතවාදය.
1815 සිංහල ඉංගිරිසි ගිවිසුම අනුව සිදුවුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පළවා හැර රට බිරිතානි රජුට පැවරීම. මෙරට අදිකාරම්වරු රටේ මහතුන් විදානෙලා සහ අවශේෂ නිලධාරීන්ට තිබූ බලතල කිසිවක් අහෝසි වුණේ නැහැ. ගිවිසුමෙන් ඒ සියලු බලතල තහවුරු කෙරුණා. බුද්ධාගම හා දේවාගම අනුලංඝනීය බව ප්‍රකාශ කෙරුණු අතර ඒ රැකගෙන පවත්වාගෙන යෑමට බිරිතානි රජු බැඳී සිටියා. මා හිතන්නේ නැහැ බිරිතානි යටත්විජිත ඉතිහාසයේ වෙනත් කිසිම රටක් එවැනි ගිවිසුමකින් රට බිරිතානි රජුට භාර දී ඇත කියා. අනෙක් රටවල් බිරිතානීන් විසින් යටත් කර ගන්නා ලද රටවල්. සිංහලේ එසේ යටත් වුණේ නැහැ.
එහෙත්
බිරිතානින් ඒ ගිවිසුම උල්ලංඝණය කළා. මා දන්නේ නැහැ ගිවිසුම උල්ලංඝණය කිරීම පිළිබඳ ව බිරිතානින්ගෙන්
වන්දි ලබා ගැනීමට පුළුවන් ද කියා. ඔවුන් 1815 ගිවිසුම අත්සන් කරන විටත් තමන් යටත් කරගෙන සිටි පළාත්වල පාසල් ඇති කරලා. මෙරට ඉංගිරිසින් ඇති කළ පළමු විදුහල (මෙතෝදිස්ත විදුහල) වූ රිච්මන්ඩ් විදුහල ආරම්භ වී ඇත්තේ 1814 දී ශ්‍රී වික්‍රම රජු සිංහලේ රජු වශයෙන් සිටිය දී. 1840 දී බිරිතානින් බුද්ධාගම හා දේවාගම රැකීමෙන් ඉවත් වුණා. දළදා මාළිගාවේ වැඩ කටයුතු රජුට දිය වැඩු දියවඩන නිළමෙට පවරා ඔවුන් ඒ කටයුතුවලින් ඉවත් වුණා.
මෙහි
දේවාගම කියන්නේ දෙවියන්ගේ ද කටයුතු රැගත් බුද්ධාගමකට. එය ආගමක් නොව ජීවන මාර්ගයක්. බිරිතානින් තම සංස්කෘතිය අනුව එය ආගමක් ලෙස දකින්න ඇති. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියන් ඉන්නේ මිහිඳු හිමියන් වැඩිය දිනවල සිට. ගැමුණු රජුත් එළාර සමග යුද වැදීමට පෙර කතරගම මහසෙන් (මහාසේන) දෙවියන්ට පුජාවක් පැවැත් වූ බව සඳහන් වෙනවා.
සිංහල
නායකයන් තමන් රැවටුණු බව වැඩිකල් නොගොස් ම දැන ගත්තා. 1817-18 නිදහස් සටන එහි ප්‍රතිඵලයක්. එහි දී අයිරිෂ් ජාතික බ්‍රවුන්රිග් ඌව වෙල්ලස්සේ සිංහලයන් සමුලඝාතනය කළා. වැඩිහිටි පිරිමින් ඝාතනය කිරීමට පමණක් නොව හරකබාන කෙත්වතු නැතිකිරීමට පිළිස්සීමට ඔහු අණ දුන්නා. ඌව වෙල්ලස්ස (වෙල් ලක්‍ෂය) මිනිසුන් නැති ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් කර අපේ සහල්බීම මුඩු බිමක් බවට පත් කළා. මේ සියල්ලට කෙසේ වන්දි ගන්න ද?
මෙහි
දී මට අවශ්‍ය ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින් (බිරිතානින්) බුදුදහමට හා හින්දු ආගමට දෙයාකාරයකට සලකා ඇති කතාව කීමට. බ්‍රවුන්රිග් දුටු දෙයක් තමයි භික්‍ෂූන් වහන්සේ (ඔහුට අනුව කහකඩයන් - අද බ්‍රවුන්රිග්ගේ
අවජාතක පුතුන් වූ පඬි නැට්ටන් ද තමන් කටගාගත් ඉංගිරිසි (බටහිර) දැනුමෙන් මත් වී භික්‍ෂුන් වහන්සේට කහකඩයන් කියනු දකින්න පුළුවන්) වැඩ වසනතාක් ඉංගිරිසින්ට සිංහලයන් යටත්කර ගැනීමට බැරි බව. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ බුදුදහම නැති කරන්න. එහෙත් ඒ අතර ඔවුන් හිනදු ආගම නගා හිටුවන්න කටයුතු කළා.
ඉංගිරිසින් හින්දු ආගමට දුන් ආධාරය ගැන කමලිකා පීරිස් මහත්මිය තම ලිපිවල සඳහන් කර තියෙනවා. අවශ්‍ය අයකුට වැඩි විස්තර ඒ ලිපිවලින් දැනගන්න පුළුවන්. විදේශ දූත මෙහෙවර සඳහා වූ කොමසාරිස්වරුන්ගේ ඇමරිකන් මණ්ඩලය බොස්ටන් නුවර දි පිහිටුවා ඇත්තේ 1810 දී. ඔවුන්ගේ ප්‍රථම දුත කණ්ඩායම පිටත් කර ඇත්තේ 1813 දී බොම්බායට (මුම්බායී). දෙවැනි දුත කණ්ඩායම 1816 දී යාපනයට. යාපනය වත්මන් තමිල්නාඩුවටත් යාපන ප්‍රදේශයටත් දේශකයන් පුහුණු කරන මධ්‍යස්ථානය බවට පත් කරගෙන තියෙනවා. 1834 දී
ඔවුන් මදුරෙයි හි එක් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත්තේ යාපනයේ දෙමළ ක්‍රිස්තියානි දේශකයන් තිදෙනකුගේ ද සහායෙන්.
ඉන් එක් අයකු වී ඇත්තේ දෙමළ ක්‍රිස්තියානින්ගේ පළමු පරම්පරාවේ ෆ්‍රාන්සිස් ඇෂ්බරි. ඔහු වැදගත් පුද්ගලයෙක්. නීලන් තිරුචෙල්වම් දේවදාසන් නේසයියා රත්නජීවන් හූල් ඔහුගෙන් පැවත ආ අයගෙන් තුන්දෙනෙක්. 1822 වන විට යාපනයේ පාසල් 42ක් පිහිටුවා තිබුණා. 1836 දී හෝර්ටන් ආණ්ඩුකාරයා කියා තියෙනවා බිරිතානින් තව තවත් ඇමරිකන් දුතයන්ට (මිෂනාරීන්ට) යාපනයට ඒමට අවසර දී ඇති බව. 1826 දී බටගොඩ සෙමනේරියක් පිහිටුවා තියෙනවා. බටගොඩ තමයි පසුව වඩුකොඩෙයි වුණේ. ගොඩ කොඩෙයි වෙලා බට වට වටු වඩු වෙලා. බටගොඩ සෙමනේරියෙන් දේශකයන් පුහුණු කෙරුණා. එය 1855 දී වැසී ගියා. එහි ආදි ශිෂ්‍යයන්ගේ බලවත් ඕනෑ කමට 1872 දී යාපනය විදුහල (Jaffna College) පිහිටෙවුවා. එයට කල්කටා (කොල්කතා) හා මදුරාසි( චෙන්නායි) විශ්වවිද්‍යාලවල පරීක්‍ෂණ සඳහා සිසුන් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඇතැම් සිංහල දෙමවුපියන් තම පුතුන් යාපන විදුහලට ඇතුළත් කර තියෙනවා. ඒ සියල්ල කරන අතර ඉංගිරිසින් (බිරිතානින්) හින්දු ආගම හා දෙමළ බස ඉගැන්වීමට ආධාර කළා. ඔවුන්ට අවශ්‍ය වුණා ඉන්දියාවේත් දෙමළ නගා සිටුවීමට. හින්දු ආගමේ හා ක්‍රිස්තියානි ආගමේ සමානත්ව සෙවීමට ඔවුන් උනන්දු වුණා. (මතු සම්බන්ධයි)