කුරුන්දිය ජාතිකත්වය හා නායකත්වය
කුරුන්දි විහාර වංසය ඊයේ දොරට වැඩැම්මුවා. ඒ පොත මට ද පිළිගන්වා තිබුණා. මා කුරුන්දි ගිහින් නැහැ. සන්තබෝධි හාමුදුරුවන් දැකලවත් නැහැ. කුරුන්දි ගැන මා දන්නෙ පොතපතේ කියවා ඇති කරුණු හා එක් එක් අය කියන දේ පමණයි. ඒ සියල්ල දැනුම් බවත් ඒ නිසා ම පංචෙන්ද්‍රිය ඇසුරෙන් කෙරෙන මනසේ අභිසංස්කරණ බවත් කියන්න ඕන. මා සංගත ව ඒ ගොනු කරණවා පමණයි. මනසින් තොර කිසි ම දැනුමක් නැහැ. කුරුන්දිය ගැනත් ඇත්තේ කාගෙ කාගෙ හරි මනස් විසින් පංචෙන්ද්‍රිය ඇසුරෙන් අභිසංස්කරණය කෙරුණු දැනුම්.
තාරකා
විද්‍යාඥයන් ඔවුන් කියන විධියට මිනිසුන් විශ්වයේ ඇති වීමටත් පෙර තිබූ විශ්වයක් ගැන කියනවා. එහෙත් ඒ කියන්නේ තාරකා විද්‍යාඥයන් මනසින් (ඊනියා නිරීක්‍ෂණ ද සැලකිල්ලට ගෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.) තොර යථාර්ථයක් දකින බව නො වෙයි. ඒ අවුරුදු බිලියන දහහතරකට පමණ පෙර තිබූ ඊනියා විශ්වයක් ගැන තාරකා විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ඇසුරෙන් මනසින් අභිසංස්කරණය කර ගොනු කර ගත් කතන්දර. ඊනියා ලෝකය යනු දැනුම මිස අනෙකක් නො වෙයි. ඒ කොහොම වුණත් මට ද පොත පිළිගැන්වීම ගැන මා සංවිධායකයන්ට කෘතඥ වෙනවා. මා වෙනුවෙන් පොත පිළිගත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේට මගේ ප්‍රණාමය.
පඬි
නැට්ටන්ට එ ගැන විවිධ ප්‍රශ්න තියේවි. කුරුන්දි ගිහින්වත් නැති මට ද පොත පිළිගැන්වූයේ මොක ද මා පොත පිළිගත්තේ මොක ද ආදිය ප්‍රශ්න. මා නාළක හාමුදුරුවන් මා වෙනුවෙන් පොත පිළිගැනීමට යෝජනා කර තිබුණේ නැහැ. එසේ පිළිගැන්වීම සංවිධායකයන්ගේ තීරණයක් මත සිදු වූවක්. මා නම් ඉල්ලා සිටියේ සාමාන්‍ය පෙළ හරියට සමත් නැති අයකුට මා වෙනුවෙන් පොත පිළිගන්නන්න කියා. සංවිධායකයන් එයට ඇහුම්කන් දී නැහැ.
එ කොහොම වෙතත් කුරුන්දිය රැක ගැනීම ගැන සන්තබෝධි හාමුදුරුවන්ට අපේ ප්‍රණාමය හිමි වෙන්න ඕන. දෙවනුව සිරිල් මැතිව් මහතා ජගත් සුමතිපාල මහතා ආදීන්ටත් චන්න ජයසුමන මහතාටත් කෘතඥ වෙන්න ඕන. ඒ අයගේ කැප වීම ශ්‍රමය ධන පරිත්‍යාග ආදිය එහි දී වැදගත් වුණා. එමෙන් ම පොත සම්පාදනය කිරීමෙහි ලා මහත් කැපවීමකින් ක්‍රියා කළ මොටාවෙන් මොට නොවුණු සුමේධ වීරවර්ධන හා චන්දිම අඹන්වෙළටත් අපේ ගෞරවය හිමි වෙනවා.
මෙරට
සියවස් ගණනාවක් තිස්සේ දකින්න පුළුවන් බෞද්ධ සිද්ධස්ථාන පමණයි. මුස්ලිමුන් මෙරටට වෙළෙන්දන් ලෙස පැමිණෙන්න ඇති. යන්න ඇති. කිහිප දෙනකු මෙහි බින්න බහින්න ඇති. ඔවුන්ගෙන් පැවතෙන්නන් සිංහල බෞද්ධ මිසක් මුස්ලිමුන් නො වෙයි. අද මුස්ලිමුන් ලෙස අප දකින්නේ දහහතරවැනි සියවසෙන් පසුව මෙරටට මලබාරය පැත්තෙන් පැමිණි අරාබි නොව මලයාලම් මිශ්‍ර දෙමළ කතා කරන පිරිසකගෙන් පැවත එන්නන්. ලෝනා දේවරාජා මහත්මිය අටවැනි සියවසක් කරා දිව යන මුස්ලිම් ඉතිහාසයක් ගැන කිවුවත් දහහතරවැනි සියවසට එහා යන මුස්ලිම් පල්ලියක්, මුස්ලිම් සංස්කෘතියක් මෙරට
දකින්න තියෙනවා ද?
එලෙස
ම පරණවිතාන මහතා මුගලන් රජුගේ ක්‍රිස්තියානියක්
ගැන කිවුවත් මෙරට ක්‍රිස්තියානි කතෝලික පල්ලියක් දකින්න පුළුවන් කවදා ඉඳලා ද? මුගලන් රජු ක්‍රිස්තියානි කියමු. එසේ වුවත් එතුමාගේ පුතා කුමාර ධාතුසේන රජු බෞතීස්ම කළ කතාවක් ඉතිහාසයේ නැහැ. බෞතීස්මයේ දී ධාතුසේන කියා නම් කළා ද? නෙස්ටෝරියන් කුරුසියෙනුත් කියැවෙන්නේ වැඩිම වුණොත් මෙරටට පැමිණි ක්‍රිස්තියානි වෙළෙන්දන් ගැන.
හින්දු කෝවිල් ගැනත් කියන්න තියෙන්නෙත් එවැනි ම දෙයක්. අපට පැරණි ශිව දේවාල අනුරාධපුරයේ දකින්න නැහැ. පොළොන්නරුවේ ශිව දේවාලයත් බෞද්ධ සිද්ධස්ථානයක් මත ඉදිකරන ලද්දක් බව පුරාවිද්‍යාඥයන්
කියනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයට ශිව දේවාලය කියන්නේ මොක ද? දේවාල මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ සිද්ධස්ථාන. කතරගම දේවාලය කතරගම පමණක් නොව නල්ලුර්හි ද තිබුණ බව කියනවා. නල්ලුර කෝවිල තියෙන තැන එදා තිබුණේ කතරගම දේවාලයක් බවට මතයක් තියෙනවා.
එපමණක් නොව මෙරට පත්තිනි දේවාල තියෙනවා. අද මඩු පල්ලිය සහ තවත් කතෝලික පල්ලි තියෙන තැන්වල පත්තිනි දේවාල තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. දේවාලය හා කෝවිල අතර වෙනස කුමක් ද? ඉංගිරිසින්
1815 ගිවිසුම අත්සන් කිරීමේ දී සඳහන් කර ඇත්තේ බුද්ධාගම හා දේවාගම රකින බව. ගැමුණු රජුත් කතරගම දේවාලයට ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙරට කෝවිල් තනන්න පටන් ගත්තෙ කවදා ද? මෙරට තිබෙන ඊශ්වර දේවාල කෝවිල් වී නැත්තේ ඇයි? ඒ කාගේ දේවාල ද?
ථෙරවාද බෞද්ධ සංස්කෘතීන් අධිපතිවාදී අධිකාරී නො වෙයි. ථෙරවාදය ඒ ඒ රටවලට හඳුන්වා දීමේ දී එතෙක් පැවති ඇදහිලි නැති කෙළේ නැහැ. ඒ ඇදහිලිත් එසේ ම පැවතුණා. මා ලංකාවේ දී මියන්මාහි දී හා කාම්බෝජයේ දී ඒ බව දැක්කා. අවශ්‍ය නම් දැක්කා කියන වචනය මදි නම් වැදගත් කමක් දීමට නිරීක්‍ෂණය කළා. ඒ රටවල පෙර තිබුණු ඇදහිලිත් ථෙරවාදය සමග පවතිනවා. තායිලන්තයේ නම් මට ඒ දකින්න ලැබුණේ නැහැ. එහි ථෙරවාදයත් දකින්න තිබුණෙ අඩුවෙන්.
මිහිඳු මහා රහතන් වහන්සේ අපට බෝධි වන්දනාවක් හුරු කළෙ පැරණි ඇදහිලිවලට අනුරූප වෙන්න. දැන් කියන්න එපා ආනන්ද බෝධිය බුදුහාමුදුරුවන්ගෙ
කාලෙත් තිබුණ කියා. ඒ බෝධි කතාව නොවෙයි මෙරටට ගෙනාවෙ. බෝධි වන්දනාව ථෙරවාදයේ පොදු ලක්‍ෂණයක් නො වෙයි. මියන්මාහි බෝධි වන්දනාවක් නැහැ.
කුරුන්දිය තියෙන තැන කලින් මොකක් ද තිබුණෙ කියල අහන පඬි නැට්ටන් ඉන්නවා. තිබුණ නම් තියෙන්න ඇත්තෙ හින්දු කෝවිලක්වත් මුස්ලිම් පල්ලියක්වත් කතෝලික ක්‍රිස්තියානි පල්ලියක්වත් නො වෙයි. සිංහල ථෙරවාදී බෞද්ධයන් පැරණි සංස්කෘතීන් පවත්වා ගෙන ගිහින් තියෙනවා පමණක් නො වෙයි පසුව පැමිණි සංස්කෘතීන්ට අවහිරයක් කරල නැහැ. මෙරට හැම ආගමක ම උත්සව දින නිවාඩු. බටහිර රටවල එහෙම කතාවක් නැහැ. ඊනියා සංහිඳියාවක් ගැන උගන්වන්න එන්නෙ තම සංස්කෘතිය වෙනුවෙන් ලෝකෙ වැඩියෙන් ම මිනී මරපු මිනිස්සු. අදත් ඔවුන් යුක්‍රේනයේ මිනිසුන් මරනවා.
කුරුන්දිය හැදුවෙ අර පොත්ථකූට්ඨ නොව සද්ධාතිස්ස රජුගෙ පුතා ඛල්ලාටනාග රජු. නැගෙනහිර හා උතුරු පළාත්වල දාගැබ් හැදුවෙ ප්‍රදීපාගාර ලෙස නොවන බව ජනාධිපති රනිල් ට දැනුම් දෙන්න ඕන. එකල සමහර නාවිකයන් දාගැබ් බලාගෙන යාත්‍රා කරන්න ඇති. ඒත් දාගැබ් තැනීම පොත්ථකුට්ඨගෙ ලයිට් හවුස් ව්‍යාපෘතියක් නො වෙයි.
ජගත්
සුමතිපාල ආදීන්ගේ ධන පරිත්‍යාග නොවන්න කුරුන්දියක් නැති වෙන්න තිබුණ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදලින් ඒ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න බැහැ. ජනාධිපති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට
දායකයන්ගෙ මුදලින් කරන කටයුතු නවත්වන්න කියන්නෙ මෙරට සිංහල බෞද්ධ සම්ප්‍රදායට ම පටහැණි ව. විසිරුණු දෙමළ ජනයාගෙ පිහිටෙන් රට සංවර්ධනය කරන්න කතා කරන ගමන් බෞද්ධයන්ට තමන්ගෙ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කර ගන්න ඉඩ දෙන්නෙ නැත්තෙ ඉංගිරිසි පුරාවිද්‍යා සංකල්ප මත පදනම් වෙමින් ද?
ඊයෙ
මෙටාවෙ එක් ප්‍රබුද්ධ පඬි නැට්ටෙක් කියල තිබුණ ගෝත්‍රිකයන් කුරුන්දිය අල්ල ගෙන නැගිටින්න හදනවා කියා. මේ ප්‍රබුද්ධයා ගෝත්‍රිකයන් කියන්නෙ සිංහල බෞද්ධයන්ට. ඔහු හිතනවා ඇති පරගලයෙන් සිංහල බෞද්ධයන් හාන්සි වුණා කියා. සිංහල බෞද්ධ නායකත්වයක් නැති කිරීම පමණයි බටහිරයන්ට හා ඉන්දියාවට පරගලයෙන් කරන්න පුළුවන් වුණෙ. පඬි නැට්ටන් කළ ඉටිගෙඩියක් නැහැ. ඔවුන්ට පුළුවන් ද රනිල් ඉවත් කරන්න. එහෙම නැත්නම් රනිල් ඔවුන්ට සරිලන නිසා ඔහු ජනාධිපති ලෙස තියාගෙන ඉන්නවා ද?
සිංහල
ජාතිකත්වය හාන්සි වෙලා නැහැ. ඒ නිසා නැගිටින්න දේකුත් නැහැ. කුරුන්දිය ගැන කතා කරන්නෙ ම සිංහල බෞද්ධ ජාතිකත්වය ශක්තිමත් නිසා. ඊයේ පැවති රැස්වීමෙදි ජාතිකත්ව කණ්ඩායම් රාශියක් ම දැක ගන්න පුළුවන් වුණා. අද අවශ්‍ය වන්නේ නායකත්වයක් පමණයි. මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා මත නායකයකු පත් කර ගැනීම අමාරු වැඩක් නො වෙයි. එහි දී කුල මල බැලීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ එඩිතරකම බය නැතිකම බුද්ධිමත්බව (පඬි නැටි ප්‍රබුද්ධකම නො වෙයි) ජාතිකත්වය ආදියයි.