Main Logo

Wednesday 16 August 2023

කුරුන්දි වටා එක්වෙමු

 කුරුන්දි වටා එක්වෙමු


ලබන දහඅටවැනි දා නැතිනම් අනිද්දා කුරුන්දි විහාර බිමෙහි වෙල්ලාලයන් පූජාවක් කිරීමට සූදානම් වෙන බවට තොරතුරක් තියෙනවා. පූජාවක් කරන එක නරක නැහැ. හින්දුන් කතරගමත් යනවා. ඒ එහි ඊනියා දෙමළ රාජ්‍යයක් තිබී නො වෙයි. ගැමුණු රජු ද කතරගම ගොස් මහසෙන් දෙවියන්ට පූජාවක් කළ බව කියනවා. ඒ දේවාගමේ පැරණි දෙවි කෙනෙක්. එහි කෝවිලක් තිබූ බවට මා දන්නා තරමට ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. මා පවත්වන ඉතිහාස දේශන සංවිධානය කළ අයට ගහන්න සූදානම් චන්ඩින්ට ඉණිමං බඳින පේරාදෙණි ඉතිහාසඥයන් එහි කෝවිලක් තිබූ බව පෙන්වා තිබෙනවා ද කියා මා දන්නේ නැහැ. 


ඒ කෙසේ වෙතත් කුරුන්දි දැන් ගුරුන්දුර් කියා නම වෙනස්කර විහාරය නැති කර එහි බෞද්ධ උරුමය වැනසීමට වෙල්ලාලයන්ට අවශ්‍යතාවක් ඇති බව පැහැදිලියි. අනිද්දා පැවැත්වෙන පූජාව හොඳ හිතින් කරන්නක් නම් නොවන බවට දැන ගැනීමට පේන බලන්න අවශ්‍ය නැහැ. මෙවැනි පූජාවන්ට බ්‍රහ්මන් එකඟ ද කියා දැන ගන්න විධියක් නැහැ. පූජාවෙන් වෙල්ලාලයන්ට බ්‍රහ්මන් සමග එකතු වීමට එහෙමත් නැත්නම් අද්වෛත වේදාන්තය අනුව බ්‍රහ්මන් හා තමන් එකක් ම බව වැටහීමට අවස්ථාවක් ලැබෙන බවක් දැන ගැනීමටත් විධියක් නැහැ. 


පහුගිය දා සුමේධ වීරවර්ධන හා චන්දිම අඹන්වෙලගේ සංස්කාරකත්වයෙන් චන්න ජයසුමනගේ දායකත්වයෙන් කුරුන්දි විහාර වංශය ප්‍රකාශයට පත් වුණා. මා එය කියවා නැහැ. එහෙත් දැන ගැනීමට ඇති කරුණු අනුව එය පොත්තකුට්ඨගේ ලයිට් හවුස් ව්‍යාපෘතියේ කොටසක් නොවන බව කියන්න පුළුවන්. එය ඉදි කළ ඛල්ලාටනාග රජු ඉතිහාසයට අනුව සද්ධාතිස්ස රජුගේ පුතෙක්. එකල තියා කිසි දවසක මෙරට දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. මෙරට තබා අද ඉන්දියාව ලෙස හැඳින්වෙන භූමියේ කිසිම තැනක කිසිම දිනෙක දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. එහි තිබී ඇත්තේ වාංශික රාජ්‍ය. 


පෘතුගීසීන් උතුරු පළාත අවසන් වරට යටත් කර ගත්තේ සෙනරත් රජු දවස. එකල එහි ද රජු සෙනරත් රජු. ඒ ලන්දේසීන් එන්න ටික කලකට පෙර 1629 දී බවයි මගේ මතකය. (මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර අවශ්‍ය නම් මහින්දපාල මහතාගේ ලිපි කියවන්න) එකලත් යාපනයේ බහුතරය සිංහල. ඒ බව කියන්නේ මා නොවෙයි. පෘතුගීසි ජාතිකයකු වූ ක්වේරොස්. දැන් අහන්න එපා මට ඉතිහාසය ගැන කියන්න උපාධියක් තියෙනවා ද කියා. නැහැ මා සාමාන්‍ය පෙළ පළමු වසරෙන් පසු නිල වශයෙන් ඉතිහාසය හදාරා නැහැ. පේරාදෙණි ඉතිහාසඥයන්ට මෙන් නොව මට ඉතිහාසය ගැන කීමට ඇති සුදුසුකමත් එයයි. මා ජී සී මැන්දිස්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ නො වෙයි. 


අපි හිතමු ආර්ය චක්‍රවර්ති යාපනයේ චන්ද්‍රභානු පරදවා දෙමළ රාජ්‍යයක් ගොඩ නැගුවා කියා. චන්ද්‍රභානු ජාවා රටින් පැමිණි බෞද්ධයෙක්. ඔහු දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් යාපනයට පන්නා දැමූ අයෙක්. එකල එහි කාලිංගයන් වාසය කළා. එහි කාලිංග දේශයක් හා සිංහපුරයක් තිබුණා. කාලිංග මාඝත් අවසානයේ පොළොන්නරුවෙන් පරාජය වුණාට පස්සෙ හිටියෙ එහේ. චන්ද්‍රභානුත් ජාවා රටින් පැමිණි කාලිංගයෙක්. එහි කිසිම දවසක දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. එහෙත් අර කියන්න වගේ තර්කය සඳහා අපි එසේ තිබිණි යැයි උපකල්පනය කරමු. 


එහෙත් ඒ රාජ්‍යය හයවැනි පරාක්‍රමබාහු රජු සිංහල රාජ්‍යයේ කොටසක් බවට පත් කර ගත්තා. නැවතත් ආර්ය චක්‍රවර්තීන් බලය ගත් බව පේනවා. එහෙත් ඉන් පසු පෘතුගීසීන් යාපනය අල්ලා ගත්තා. දෙවැනි සංකිලිට සෙනරත් රජු ආධාර කළා. අවසානයේ 1629 දී සෙනරත් රජුගෙන් පෘතුගීසීන් යාපනය අල්ලා ගත්තා. මෙයින් කියැවෙන්නේ අවසානයේ දී පෘතුගීසීන් අත්කර ගෙන ඇත්තේ සිංහල රාජ්‍යයේ කොටසක් බවයි. ඉන් පසු ලනදේසීන් ද ඉංගිරිසින් ද යාපනය පාලනය කළා. පෘතුගීසීන්ට ලන්දේසීන්ට ඉංගිරිසින්ට යාපනය යටත් වීමට පෙර එය සෙනරත් රජු යටතේ සිංහල රාජ්‍යයේ කොටසක් ව පැවතියා. 


ඊනියා දෙමළ රාජ්‍යයක් පෘතුගීසීන් යටත් කර ගත්තේ යැයි කීම වෙල්ලාලයන්ගේ තවත් බොරුවක් පමණයි. වෙල්ලාලයන් කියන කතාවක් තමයි යටත්විජිතවාදීන් යටත් කර ගත් රාජ්‍යය ඔවුන්ට ආපසු ලැබුණේ නැහැ කියන එක. යටත්විජිතවාදීන් යටත් කර ඇත්තේ සිංහල රාජ්‍යයේ කොටසක්. එය වෙල්ලාලයන්ට දිය යුත්තේ අහවල් දේකට ද? 


අනෙක් අතට වෙල්ලාලයන් අති විශාල බහුතරය මෙරටට ආනයනය කෙරුණේ ලනදේසීන් විසින්. ඔවුන්ට ආර්ය චක්‍රවර්තීන් සමග කිසිම අඛණ්ඩ සම්බන්ධයක් නැහැ. වෙල්ලාලයන් ලන්දේසින් සමග එකතු වී යාපනයේ සිටි සිංහලයන් වහලුන් බවට පත් කර දෙමළ හින්දූ සමාජයට අවශෝෂණය කර ගෙන නම් තියෙනවා. 


ගුරුන්දුර් කියන නමට දෙමළ බසින් නිරුක්ති තියෙනවා ද කියා කලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති ව සිටි මහාචාර්ය පද්මනාදන් කියනවා ද? රාසනායගම් මුදලි සිංහල හිතවතෙක් නො වෙයි. ඔහු යාපනයේ ඉතිහාසය ගැන ලියූ පොතෙත් සිංහල නම් දෙමළ වී ඇති ආකාරය කියනවා. මුලතිවු ප්‍රදේශයත් අයත් ව තිබුණේ සෙනරත් රජුට හා සිංහල රාජ්‍යයට මිස ඊනියා දෙමළ රාජ්‍යයකට නො වෙයි. එහි ලයිට් හවුස් ව්‍යාපෘතියේ කෝවිලක් තිබී නැහැ.


අද වෙල්ලාලයන් ලයිට් හවුස් ව්‍යාපෘතිය යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ උරුමය නැති කරන්න හදනවා. යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබී යැයි උපකල්පනය කළත් වෙල්ලාලයන්ට ඒ සමග අඛණ්ඩ සම්බන්ධයක් නැහැ. ඔවුන්ට ඇත්තේ ඉන්දියාවේ හා ඈංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ශක්තියයි. සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමට අපි කුරුන්දි වටා එක්වෙමු.