නියඟෙට නැති වැව ක්‍රිකට් ගහන්න ද?
වහින්නෙ නැහැ ගොවිතැනට වතුර නැහැ බොන්න වතුර නැහැ විදුලියට වතුර දීල බඩගින්නෙ ඉන්න වෙලා ගස් කපලා කැලෑ ගිනි තියල රනිල් කාංචන වැරදි කරුවන් උද්ඝෝෂණ රනිල් ගෙදර යවන අරගලය පටන් අරන්. මේ අපට අහන්න ලැබෙන කතා. ඇත්තට ම වැවු හැදුවෙ මොකට ද? ඒ කාලෙ රජවරු දැන හිටින්න ඇති මේ දිනවල අනුරාධපුරේ ට්‍රිප් යන අයට බාත් එකක් ගන්න ටෑන්ක්ස් හදල තියන්න ඕන කියා. ඒ රජවරු දැන ගෙන හිටිය දේ.
ගස්
කැපීම හොඳ දෙයක් නො වෙයි. කැලෑ ගිනි තියන එකත් හොඳ දෙයක් නො වෙයි. ඒත් එක ගහක්වත් නැති මහා සාගරේටත් වහිනවා. අවුරුදු හතළිහකට විතර ඉස්සර මා කොළඹ මොටාවෙ කතන්දර කියන කාලෙ එහි හිටිය උද්භිද විද්‍යාව උගන්නපු විද්‍යාඥයෙක්. ඔහු මට කිවුවෙ ගස්වලින් වතුර වාෂ්ප කරල වාතයට එක් කරන බව. ඒකත් ඉතින් වැස්සට හේතුවක් වෙනවා ඇති.
මා
දැක්ක එක් විද්‍යාඥයෙක් කියල තිබුණ මේක බෞද්ධ රටක් නම් වැහි පිරිත කියල වස්සවන්න කියලා. ඒකත් හොඳ බුද්ධිමත් කතාවක් තමයි. එක ම ප්‍රශ්නෙ මේ රටේ අද අධර්මය රජ කිරීමයි. තවත්
දැවැන්තයෙක් මගේ මිතුරකුට කියල තිබෙනවා නලින් ද සිල්වා බුද්ධිමතෙක් වෙලත් ථෙරවාදය පස්සෙ යන්නෙ මොකද කියල දන්නෙ නැහැ කියලා. තවත් සමහරු මනසින් තොර යථාර්ථයක් නැහැ කියන කතාව විහිළුවට අරගෙන. මනසින් තොර ව නොවැ වහින්නෙ හරි වහින්නෙ නැත්තෙ හරි. ඒත් මනසක් නැතුව වහින බව හරි පායන බව හරි දන්නෙ නැහැ. වහිනවා කියන දැනුම ඇත්තෙ මනසක් ඇති අපට.
මේ
අය භෞතිකවාදී විද්‍යාඥයන්. ජාතිකවාදීන් අතරත් කොටසක් ඉන්නවා භෞතිකවාදී. ඔවුන් බුදුදහම හා මාක්ස්වාදය අතර පාලම් හදනවා ලාංකික විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමේ උදාර අරමුණෙන්. අර අසිත තවුසාට වගේ මට තියෙන කණගාටුව ඒ විප්ලවය සාක්‍ෂාත් කර ගන්න තුරු ජීවත් වෙන්න බැරි කම. මෙච්චර භෞතිකවාදී විද්‍යාඥයන් ඉන්න රටේ එක් ප්‍රශ්නයක්වත් විසඳගන්න බැරි හැටි. ඔවුන් කිසිවකුට තමන් අගය කරන නොබෙල් තෑග්ග ලැබෙන පාටක්වත් නැහැ.
අර
දැවැන්තයාගේ කතාවෙ තේරුම ම තමයි ථෙරවාදය පිළිගන්නේ මෝඩයන් කියන එක. මා නම් මෝඩයකු තමයි. මා ඒ නිසා ථෙරවාදය පිළිගන්නවා ද කියා මා දන්නේ නැහැ. ඒත් දැන් ඉතින් වහින්නෙ නැත්තෙ මොක ද ගස් කපපු හින්ද ද? ඒකත් එහෙමයි කියමු. වැහි පිරිත කිවුවත් වැස්ස වළාහක දෙවියන් ඇහුම්කන් දෙයි ද කියන එක ප්‍රශ්නයක්.
කෝල්බෘක් කැමරන් යෝජනාවලින් පස්සෙ අපි වෙනත් අතක ගිහින්. ඒ් යෝජනාවලට මා පාසල් යන කාලෙ කිවුවෙ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ කියල. භෞතීය විද්‍යා පාඨමාලාවක් හැදෑරුවත් සාමාන්‍ය පෙළ දෙවැනි වසරෙ මා ප්‍රජාචාරය විෂයත් ඉගෙන ගත්තා. ඒත් පරීක්‍ෂණයට ඒ විෂයෙන් පෙනී ඉන්න බැරි වුණා. සිංහල ඉංගිරිසි බුද්ධාගම ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය උසස් ගණිතය භෞතික විද්‍යාව රසායනික විද්‍යාව විෂය අටයි. නවවැනි විෂයකට ඒ කාලෙ ඉඩක් තිබුණෙ නැහැ.
සුද්ද
ආවෙ නැත්නම් අපි කොහෙද කියල සමහරු අහනවා. ඒකට උත්තරේ මා දන්නෙ නැහැ. ඒත් මා දන්න එක දෙයක් තියෙනවා සුද්ද ආවෙ නැත්නම් වැවු හිඳෙන්නෙ නැහැ. මා දන්නවා දැන් විවිධ අය කියාවි මට ඇමෙරිකාවට එන්න හම්බ වෙන්නෙ නැහැ හදවත් සැත්කමක් කර ගන්න ලැබෙන්නෙ නැහැ ආචාර්ය උපාධියක් ලබා ගන්න බැහැ වගේ දේ.
වැව
කියන්නෙ අපේ ම අපේ වැඩක්. තමන් උභය කුල පාරිශුද්ධ ආර්යයන් කියා හිතන අයගෙන් අහන්න ඕන ආර්ය සංස්කෘතියෙ ලංකාවෙ විතරක් වැවු තියෙන්නෙ මොකද කියලා. මා තවත් රටක වැවු දැකල තියෙන්නෙ කාම්බෝජයේ විතරයි. මා හැම රටකට ම ගිහින් නැති බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේ ම දාගැබත් අපේම අපේ නිර්මාණයක්. අශෝක රජුවත් අපේ වගේ දාගැබ් හෑදුවෙ නැහැ. අපි වැවයි දාගැබයි ගැන එක්තරා අභිමානයකින් කියන්නෙ ඒ හින්ද ද?
අපට
ආරය සංස්කෘතියක් භාරතයෙ බටහිරින් වයඹින් (ගුජරාටිය පන්ජාබය) මෙන් ම නැගෙනහිරින් ඊසානයෙන් ද (වංග කාලිංග නැත්නම් බෙංගාලය ඔරිස්සා හරි ඔඩිස්සා) ලැබුණු බව ඇත්ත. එහෙත් වැව දාගැබ ඒ එක් පැත්තකින්වත් ලැබුණෙ නැහැ. දාගැබ කියන්නෙ පිරමිඩ වර්ගයක්. ඒ නිර්මාණ සඳහා තාක්‍ෂණය ලැබුණෙ කොහෙන් ද? පණ්ඩුකාභය කුමරුට හැංගෙන්නත් කවුද වැවක් හදල තිබුණා. පණ්ඩුකාභය කුමරු නාගත්ත බවක් නම් දැන ගන්න නැහැ. දැන් තමයි අපි නා ගන්නෙ.
අපේ
භාෂාව අපට මුල දි භාරතයෙ වයඹෙන් ලැබිලා (සෙළ හෙළ එළු) පසුව ඊසාන පැත්තෙන් ලැබුණු මාගධියෙන් පදම් වෙච්ච එකක්. ඒ සංස්කෘතිය බුදදහමෙන් බමුණු ආර්යයන්ට පටහැණි එකක් බවට පත් වුණා. ඒ මදිවට අපට ඉන්දු ආර්ය භාෂාවල නැති වචනත් තියෙනවා. අපේ ශරීරාවයව ගැන ඇති වචන ඒ අරුතෙන් ඉන්දු ආර්ය භෂාවල නැහැ. ඔළුව බෙල්ල කට බඩ කකුල සහ තවත් වචන අපට ම පමණක් විශේෂිත වචන.
කට
කියන එක ඉංගිරිසි කට් සමග සංසන්දනය කරන අයත් ඉන්නවා. ඒකට කමක් නැහැ. කට කට! අපේ සංස්කෘතියෙ පදනම දැන් ආර්ය තමයි. ඒත් එය බමුණු විරෝධී බුදුදහමින් (මෝඩයන්ගෙ ථෙරවාදයෙන්) ඔප් නැංවිල අනාර්ය වචනවලින් හා තාක්‍ෂණයෙන් සැරසිල තියෙන සංස්කෘතියක්. අනාර්ය කියන්නෙ ද්‍රවිඩ කියන එක නො වෙයි. යුදෙවු සංස්කෘතියත් අනාර්ය සංස්කෘතියක්. ඊජිප්තුවෙ (මිසරයෙ) මෙක්සිකෝවෙ පිරමිඩ් හෑදුවෙ ආර්යයන් නො වෙයි.
අපි
වැවු හැදුවෙ නියඟයට මුහුණ දෙන්නත් එක්ක. වැව සංස්කෘතික මධ්‍යස්ථානයක් ද වුණා. අද අපට නියඟ කාලයෙ දි වැවෙන් වැඩක් ගන්න බැහැ. ට්‍රිප් යන අයට බාත් එකක් ගන්නත් බැහැ. වැස්ස කාලෙට වැව් පිටාර ගලනවා. ටිකක් පෑවුවොත් වැවු හිඳෙනවා. අර වැවු දාහක් හදපු අයටත් මේකට පිළියමක් නැහැ. සිවිල් ඉංජිනේරුවන් සමහර විට ට්‍රැක්ටර් යොදා ගෙන වැව් හාරාවි. එහෙත් විසඳුමක් නැහැ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද කියල ඇහුව. නියඟෙට නැති වැව ක්‍රිකට් ගහන්න ද?
ඉංගිරිසින් කෝල්බෘක් යෝජනා ක්‍රියාත්මක කළත් එ සාර්ථක වුණෙ නැහැ. වැවු හා ජල කළමනාකරණය ඔවුන්ට කර ගන්න බැරි වුණා. ඔවුන් වැවු මැද්දෙන් පාරවල් තනපු එක පැත්තකින් තියන්න. ජල කළමනාකරණය අසාර්ථක වුණු නිසා ඉංගිිරිසින් 1856 වාර්මාර්ග හා කුඹුරු වගාව පිළිබඳ ආඥා පනතක් පැනෙවුවා. ඒ මගින් ඔවුන්ට අවශ්‍ය වුණෙ අපේ අර අවිද්‍යාත්මක පාරම්පරික මිථ්‍යා මත යොදා ගන්න.
ඒ ආඥා පනත ගැන වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙ හිටපු මහා අධ්‍යක්‍ෂවරියක
වූ භද්‍රා කමලදාස මහත්මිය එහි සේවය කළ ජේ අල්විස් මහතා හා කලකට පෙර සිවිල් (පරිපාලන) නිලධාරියකු වූ ගාවින් කරුණාරත්න මහතා ලියා තියෙනවා. මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා. මා බුද්ධිමතකු නො වෙයි. අවශ්‍ය ම නම් පුරා විද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ වෙබ් පිටුවේ භද්‍රා කමලදාස මහත්මියෙගේ ලිපි කියවන්න.
අපේ
වැවු හා ජල කළමනාකරණ දැනුම හැරෙන්න වැවු ප්‍රතිසංස්කරණ දැනුමත් වැදගත්. එහෙත් දැන් ඒ දැනුම තිබූ අය එහෙමත් නැත්නම් මිථ්‍යාධාරීන් නැතුව ඇති. මිථ්‍යාමත ධාරියකු වුවත් මාත් ඒ ගැන කිසි දෙයක් දන්නෙ නැහැ. මහසෙන් දෙවියන්ටවත් කියල බලමු ද? කරන්න තියෙන හොඳ ම දේ වැවු නැති රටවලට ගොස් විද්‍යාත්මක වැවු තාක්‍ෂණය ඉගෙන ගන්න කිහිප දෙනකුට ශිෂ්‍යත්ව ලබා දෙන එකයි.