Main Logo

Monday, 28 August 2023

සිංහල බෞද්ධ ජාතිකත්වය හා දෙමළ වෙල්ලාල කුලප්‍රභූත්වය

 

සිංහල බෞද්ධ ජාතිකත්වය හා දෙමළ වෙල්ලාල කුලප්‍රභූත්වය

 

අරුමුගම් නවලාර් ඉතා දැඩි ශෛව හින්දු භක්තිකයකු වුණා. ධර්මපාලතුමාට නොයෙකුත් අවලාද නගන පඬි නැට්ටන් නවලාර් ගැන කිසිවක් කියන්නේ නැහැ. ඔහු දරුණු ගණයේ කුලවාදියකු වුණා. හින්දු ආගමේ පැවැත්මේ කුලවාදය තියෙනවා. එය වේද කාලයේ පටන් තියෙන එකක්. හින්දු ආගම ඇති වුණේ හයවැනි සියවසෙන් පමණ පසුව කේරළයේ සිටි අධිශංකර්තුමාගෙන් පස්සෙ. එතුමාට බුදුදහමත් බලපෑවා. ඇතැම් වෛදිකයන් එතුමා හැඳින්වූයේ වෙස්වෙළාගත් බෞද්ධයකු ලෙස. එහෙත් එතුමාටත් වෛදික කුල භේදය නැති කරන්න බැරි වුණා.

 

අරුමුගම් නවලාර් ඉතා දරුණු ප්‍රකාශ කරල තියෙනවා.  ශිව දෙවියන්ගේ යමක් ගන්නා අයකු  තමාට සෘජුව බැරි නම් වෙනත් අයකු ලවා හරි ඝාතනය කළ යුතු බව නවලාර් ප්‍රකාශ කර තියෙනවා. මේ භගවද් ගීතයේ දෝංකාර. මෙයින් පැහැදිලි වෙන තවත් කාරණයක් තියෙනවා. එනම් රාමායනයෙන් කියැවෙන කතාව. රාමායනයෙන් කියැවෙන්නේ වින්ධ්‍යා කඳු වැටියෙන් දකුණට ආර්ය අදහස් පැතිරීම. ද්‍රවිඩ සංස්කෘතියේ එක්තරා ආකරයක පරාජයක් රාමායනයෙන් කියැවෙනවා. මෙහි දූවිඩ යන්න මා යොදන්නේ දකුණේ යන අර්ථයෙන්. වඩාත් පැහැදිලි කියනවා නම් වින්ධ්‍යා කඳු වැටියෙන් දකුණ.

 

රාමායනයේ හා උතුරේ අදහස් හයවැනි සියවසේ කේරළයේ උපන් අධිශංකරාචාර්යවරයාගෙන් පසු දකුණට තවත් කාවැදුණා. කුලභේදයත් සමග. වෙල්ලාලයන් මුල දි ලංකාවට පැමිණ ඇත්තේ දහතුන්වැනි සියවසේ පමණ. මලබාරයෙන්. එනම් කේරළ ප්‍රදේශයෙන්. ඉන් පසු 1658න් පසු ලන්දේසි කාලයේ බොහෝ දුරට තන්ජෝර් ප්‍රදේශයෙන් බහුතර වෙල්ලාල පිරිසක් දුම්කොළ වගාවට ගෙනැවිත් තියෙනවා. වෙල්ලාලයන් මලබාරයෙන් ආවත් තන්ජෝරය පැත්තෙන් ආවත් භගවද් ගීතය දැනගත් පිරිසක්.

 

පෘතුගීසින් යාපනය පාලන කළ සමයේ නිල තල වැඩියෙන් දී ඇත්තේ මලබාරයෙන් පැමිණි කරෙයිවර් හා මඩපල්ලි කුලවලට. එහෙත් ලනදේසින් තමන් ගෙනා වෙල්ලාලයන්ට නිලතල දී තියෙනවා. ඉන් පසුවයි වෙල්ලාලයන් යාපනයේ ඊනියා කුලවතුන් බවට පත් වී ඇත්තේ. ඔවුන් වෙනුවෙන් තේසවලාමේ නීතිය ගෙනැවිත් එවකට එහි විසු සිංහලයන් කෝවියාර් නලවාර් ආදී කුල ලෙස වෙල්ලාලයන්ගේ වහලුන් බවට පත් කර තියෙනවා.

 

ආරුමුගම් නවලාර් මේ හින්දු කුල ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියා. ඇතැම් කුලවලට සංචාරය කිරීමට හැකි වුණේ රාත්‍රි කාලයේ දී. ඔවුන් ඊනියා කුලීනයන්ගේ ඇස ගැටීමෙන් ඇස් කිලිටි වෙන බැවින්. මේ කුල භේදය බ්‍රාහ්මණ වර්ණ භේදයෙන් වෙනස් වුණත් දරුණුම ගණයේ කුල භේදයක්.

 

සියල්ල මැද ඉංගිරිසින් වෙල්ලාල කුල භේදය වළක්වන්න ගියේ නැහැ. ඔවුන් මදුරාසි ප්‍රාන්තයේ යාපනයේ හින්දු දෙමළ කුල භේදය රැක්කා පමණක් නොව එය වර්ධනය කළා කීම නිරීක්‍ෂණ සමග එකඟ වෙනවා. යාපනයේ අධ්‍යාපනය සීමා වුණේ දෙමළ වෙල්ලාලයන්ට. අනෙක් කුලවල අයට පාසල් අධ්‍යාපනයක් ලබා දුන්නේ නැහැ. ඇතැම් ක්‍රිස්තියානින් හා හින්දුන් අතර පෞද්ගලික ගැටුම් නොතිබුණා නො වේ. එහෙත් ඉංගිරිසි ක්‍රිස්තියානි පාලකයන් වෙල්ලාලයන් රැක්කා පමණක් නොව රටේ නායකයන් බවට පත් කළා.

 

වෙල්ලාලයන්ට හින්දු වීම රටේ උසස් තනතුරු දෑරීමට බාධාවක් වුණේ නැහැ. එහෙත් සිංහල බෞද්ධයන්ට ඉහළ තනතුරූ විවෘත වුණේ නැහැ. එපමණක් නොව මෙතෝදිස්ත හා ඇංග්ලිකන් පූජකවරුන් දේශකයන් ප්‍රසිද්ධියේ බුදුදහමට අපහාස කරන්න පටන් ගත්තා. 1817 පටන් ගත් නිදහස් සටන නැවතත් ඇවලුණා. මේ නිදහස් සටන් නිකම් ඇති වුණා නො වෙයි. එහි පසු බිමේ ඇත්තේ අවුරුදු දහස් ගණනක් ජාතියක් ලෙස කටයුතු කිරීමෙන් ලත් ජාතිකත්වය.

 

බටහිර දැනුම කටගාගත් පඬි නැට්ටන් හිතන්නේ බටහිරයන් යමක් ඇති කර ගැනීමට පෙර අනෙක් අයට ඇති කර ගන්න බැහැ කියා. බටහිර ජාතික රාජ්‍යය ඇති වුණේ ඉතා මැතක දී. එහෙත් අප රටේ ජාතිකත්වයක් ඇති රාජ්‍යයක් ඇති වී අවුරූදු දහස් ගණනක් වෙනවා. 1817 සටන මෙන් දහනවවැනි සියවසේ අග බෞද්ධ පුනර්ජීවනයත් ජාතියක  නිදහස් සටන්. අපේ රටේ ඊනියා උගතුන්ට මාර්ටින් වික්‍රමසිංහ දවස්වල පටන් ලැබී ඇති සම්ප්‍රදායක් තමයි බටහිර මතයක් සිංහලෙන් ඉදිරිපත් කිරීම මහා බුද්ධිමය ක්‍රියාවක් ලෙස සැලකීම. මේ කිසිවකු කිසිම දෙයක් අලුතෙන් කියා නැහැ. අරයගෙ පොත මෙයාගෙ පොත කියවීම හැරෙන්න ඔවුන් කළ කරන වෙනත් ඉටිගෙඩියක් නැහැ.

 

දහනවවැනි සියවසේ අග මෙරට ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහි සිංහල බෞද්ධ පුනර්ජීවනයක් ඇති වීමටත් යාපනයේ දෙමළ හින්දු  පුනර්ජීවනය හුදු කුල ආධිපත්‍යයක් තහවුරු කිරීමක් පමණක් වීමත් එයට ඉංගිරිසි ක්‍රිස්තියානි පාලකයන් විවිධාකාරයෙන් උපකාර කිරීමත් (තනතුරු පාසල්) හඬ ගා කියන්නේ එක් පැත්තකින් අවුරූදු දහස් ගණනක් තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයක් තිබූ බවත් ඉංගිරිසින් බ්‍රවුන්රිග් කාලයේ සිට එය නැති කිරීමට උත්සාහ කළ බවත් සිංහල බෞද්ධ ජාතිකත්වය දහනවවැනි සියවසේ අවසාන දශක තුනේ පමණ සිට විසිවැනි සියවසේ පළමු දශකය පමණ වන තෙක් කුලභේදයකින් තොරව ක්‍රියා කළ බවත් දෙමළ ජනකොටස්වල එවැනි ජාතිකත්වයක් නොතිබූ බවත් එහි ඇති වූ කුල පුනර්ජීවනයට ඉංගිරිසින්ගේ නොමඳ සහාය ලැබුණු බවත්