Main Logo

Saturday 5 August 2023

ලන්දේසින් ඇති කළ කුලභේදය

 

ලන්දේසින් ඇති කළ කුලභේදය

 

කවුද කියල තිබුණ මේ ලිපිවල තියෙන්නෙ හැමෝ ම හැම දා දැන සිටි දේ කියා. ඒක වෙන්න පුළුවන්. මා මේ ලිපි ලියන්නේ කියවීම සඳහා නොව මගේ දැනුම නිරවුල් කර ගන්න. සකර්බර්ග් ඒ ලිපි ආරක්‍ෂා කරනවා. අවශ්‍ය වුණා ම මට මෙටාවෙන් හරි කාලය වෙබ් අඩවියෙන් හරි ලිපි ලබා ගන්න පුළුවන්. මා පිළිවෙළකට ලිපි එකතු කරන්නෙක් නො වෙයි.

 

වෙනත් අයට අලුත් දේ මේ ලිපිවල නැති වුණත් මට ලැබෙන සමහර තොරතුරු මට අලුත්. මා ඒ තොරතුරු මා දැනටත් දන්න තොරතුරු සමග ගලපන්න උත්සාහ කරනවා. මේ ලිපිවල එක් අරමුණක් එයයි. තොරතුරුවල පරස්පර ඇති විට ඒ නිරාකරණය කිරීමට ඇතැම් තොරතුරු සංශෝධනය කර ගන්න සිදු වෙනවා. කිසිම තොරතුරක් ඊනියා වාස්තවික තොරතුරක් නො වෙයි. ඉංගිරිසියෙන් Facts නැත්නම් සිද්ධි කරුණු කියන දේ පූජනීය කියා මා හිතන්නේ නැහැ. හැම කරුණක් ම, තොරතුරක් ම කවුරු හරි ලියපු දෙයක් එහෙම නැත්නම් කියපු දෙයක්. එය ඒ තැනැත්තාගේ කතාවක්. එහි පූජනීය බවක් කිසිදු වාස්තවික බවක් නැහැ. හැම කරුණක් ම එක්තරා අර්ථ විවරණයක්.

 

මේ ලිපිවල ඇත්තේ මගේ අර්ථ විවරණ. මගේ කතා. ඊනියා වාස්තවික කතා නො වෙයි. මට ගණිතය හා භෞතික විිද්‍යාව ඉගෙනීම නිසා අත් වූ සෙත ඊනියා වාස්තවිකත්වයක් නැති බවට කතාවක් ගොතා ගැනීමට හැකි වීම. ව්‍යාජ නමකින් ලියූ එක්තරා පඬි නැට්ටකු කියා තිබුණා මා රටට විනාශයක් කරන බව තමන් දන්නවා කියා. ඒකත් හොඳ කතාවක් තමයි. එක ම වරද ඒ කතාව ව්‍යාජ නමකින් කීම. ව්‍යාජ නම්වලින් පෙනී සිටින්නන් නිවටයන් ලෙසයි මගේ කතාවේ කියැවෙන්නේ.

 

මා මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ ඉතිහාස කතා ගොතන්න. මෙහි මුලින් සඳහන් කළ තැනැත්තා දැන හිටියත් මා ඊයේ පෙරේදා වන තුරු දැන නොසිටි තොරතුරු රැසක් මට දැන ගන්න ලැබුණා. ඒ තොරතුරුවලින් හැකිතාක් සංගත (පරස්පර අඩු) කතාවක් ගොතන්නයි මා උත්සාහ කරන්නේ. ලන්දේසීන් යාපනයේ සිටි සිංහල කුල හතරක් නීතියෙන් වහලුන් කරපු බව මා දැන සිටියේ නැහැ. ජේ ආර් ජයවර්ධනගේ අනුදැනුම ඇතුව නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී අවසන් අවස්ථාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් අත් අකුරෙන් ලියා (යතුරු ලියනයකට වෙලා තිබී නැති බව පැහැදිලියි) ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බව මා දැන සිටියේ නැහැ. ඒ කොහොම වෙතත් නිල වශයෙන් පිළිගැනෙන සිංහල මුල් පිටපතේ ඇති ගීය තමයි ගයන්න ඕන. ඒත් යහපාලනය ඊනියා දෙමළ ජාතික ගීයක් ද ගායනා කෙරෙවුවා.

මේ කුල කතාව වැදගත්. මා හිතන්නේ මෙරට කුල භේදය ඇති කෙළේ ලන්දේසීන් කියා. ඔවුන් එන විට මෙරට යාපා පටුනේ සිට දෙවුන්දර තුඩුව දක්වා තිබුණේ කුල ක්‍රමයක්. පෘතුගීසි කාලෙත් යාපා පටුනෙ බහුතරය සිංහල. තමන් කළ සේවය අනුව ඒ ඒ අය කුලවලට බෙදී සිටියා. ඒ මිස අර කුලය උසස් මේ කුලය පහත් කතාවක් තිබුණේ නැහැ. රජ වුණේ ක්‍ෂත්‍රියයන්. අසිග්ගාහකයන් ඡත්තගාහකයන් දොරටුපාලයන් ආදීන් ද ක්‍ෂත්‍රියයන්. ඒ ඒ වංශවල ක්‍ෂත්‍රියයන් ඒ ඒ කාලවල රජ කරලා තියෙනවා. අසිග්ගාහකයන්ආදීන්ට ද රජවෙන්න පුළුවන් වුණා.

 

ගුජරාටය පැත්තෙන් පැමිණි රජවරු වංගයෙන් පැමිණි රජවරු මෞර්යයන් ලම්බකර්ණයන් කාලිංගයන් පාණ්ඩ්‍යයන්ට සම්බන්ධකම් තිබූ අය නායක්කාර් වාංශිකයන් ආදී වශයෙන් රජ කරල තියෙනවා. ඒ ඒ අය අතර ගැටුම් ද ඇති වී තිබෙනවා. එහෙත් ඔවුන් සියල්ලන් ම සිංහල රජවරු. අප රට හා චීනය හැරෙන්න අනෙක් රටවල් අතර ඇති එක් වෙනසක් එයයි. භාරතයේ මෞර්ය රජවරු අහවල් ජාතියේ හරි අහවල් ජනවර්ගයේ හරි රජවරු නො වෙයි. පාණ්ඩ්‍යයන් පල්ලවයන් චේරයන් කලාබ්රයන් ආදීන් දෙමළ ජාතියක හරි දෙමළ ජනවර්ගයක හරි රජවරු නො වෙයි. අශෝක රජූ මොන ජාතියක රජු ද?

 

අප සහේට ගත්තෙ ඒ කුලයෙන් ම. වෙනත් කුලයකින් සහේට අරගෙන සහායක් බලාපොරොත්තු වෙන්න බැගැ. සහේට ගන්නවා කියන්නෙ ම සහායට සහාකාරියක් සහාකරුවකු සොයා ගැනීම. මේ කුල ක්‍රමය ලන්දේසීන් අවුල් කරල කුල භේදයක් නිර්මාණය කරල තියෙනවා. ඔවුන් එහි දී භාරතය දිහා බලා ඇති බව පැහැදිලියි. ලන්දේසීන් යාපා පටුනේ ඉතා දරුණු කුල භේදයක් තමන් ආනයනය කළ වෙල්ලාලයන් වහල් හිමියන් බවට පත් කර ඇති කර තියෙනවා. අදත් ඒ කුල භේදය එහි තියෙනවා.

 

කුල භේදය නිසා අසරණ බවට පත් වී ඇති ජනයා වෙල්ලාල ආධිපත්‍යය යටතේ අවුරුදු තුන්සීයක පමණ කාලයක් වහලුන් වෙලා ජීවත් වෙලා. රටේ ම පාලකයන් බවට පත් වීමට සිහින මවමින් සිටි වෙල්ලාලයන් 1921 සිට ඉංගිරිසින් 1889 දී බෙදා වෙන් කර ඇති කළ උතුරු පළාත හා නැගෙනහිර පළාත ඊනියා දෙමළ නිජභූමියක් කර එහි පාලකයන් වීමට උත්සාහ කරනවා. ඔවුන් ඒ සඳහා වෙල්ලාල නොවන්නන්ගේ පීඩනයට හේතු ව තම කුල ආධිපත්‍යය නොව සිංහල ආණ්ඩු බව පෙන්වනවා.

 

ඒ අසරණයන් එය විශ්වාස කිරීම පුදුමයක් නො වෙයි. පහුගිය වසරේ ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම බව තවමත් බොහෝ දෙනා විශ්වාස කරනවා. මා දන්නවා පඬි නැට්ටන් මා අර වාදියකු මේ වාදියකු බව කියන බව. ඒකට කමක් නැහැ.

 

ලන්දේසීන් සිංහලයන් අතර ඇති කළ කුලභේදය පසුව කියන්න ඕන. අද වන විට ඒ කුල භේදය විසින් වමක් නැති වමාලාගේ ධනපති විරෝධය සිංහල බෞද්ධ විරෝධයක් බවට පත් කර තියෙනවා.

 

ජාතික ගීය හා දහතුන පිළිබඳ ලිපි ප්‍රතිචාරවලට විවෘත කළා. ජාතික ගීිය හා දහතුන ගැන කෙසේ වෙතත් මා ගැන ප්‍රතිචාර තිබුණා.