Main Logo

Sunday 13 August 2023

මෝදි හා කච්චතිවු

 

මෝදි හා කච්චතිවු

 

මෝදි හින්දු ජාතිකත්ව නායකයෙක්. එහෙත් එය ඉන්දියාවට සීමා විය යුතුයි. අප ඉන්දියාව තරම් බල සම්පන්න නැති බව පිළිගන්නවා. ණය වෙලා බංකොළොත් වෙලා ඉන්න රටකට කරන්න පුළුවන් දේ මොකක් කියල අහන්න පුළුවන්. මදිවට අපට ණය දෙන රටක් බවට ඉන්දියාව පත් කරගෙන. අප කෙරෙහි වූ අනුකම්පාවෙන් හා අවුරුදු දෙදහසකට වඩා ඈත අතීතයකට යන මිත්‍රත්වයෙන් බවයි පැවසෙන්නේ.

 

ඒත් මෝදිට මීළඟ මැතිවරණය තරමක් අමාරු බවක් පේනවා. මනිපුර් ප්‍රශ්නය මාස තුනක් තිස්සේ ඇදෙනවා. මෝදි ඇමරිකාවෙ හා ප්‍රංශයේ සංචාරය කරල ආවා. ඒකෙන් එච්චර වැඩක් වෙලා නැහැ වගේ. ඔහුට ඉන්දියාවෙ උතුරේ මෙන් දකුණේ ප්‍රශ්න. පසුගිය දා පැවති කර්නාටක ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිගෙ භාරතීය ජනතා පක්‍ෂය පරාජය වුණා. කොංග්‍රසය  ඉතා වැඩි ආසන ගණනක් දිනා ගත්තා. තෙළඟනා ඡන්දයත් ළඟ දි පැවැත්වෙයි.

 

දකුණෙ තියෙන ද්‍රවිඩ ප්‍රාන්තවල බලය ලබා ගැනීම මෝදිට අමාරු කටයුත්තක්. ඔහු ඒත් මෙරට දෙමළ කතාකරන ජනයා ගැන බොහෝම අවධානයෙන් ඉන්නෙ. තමන්ගෙ රටේ ද්‍රවිඩ ඡන්ද දිනාගන්න බැරි මෝදි  ඊයෙ පෙරේදා රනිල් ඉන්දියාවට ගිය වෙලේ කියල මෙරට දෙමළ ජනතාව ගැන සැලකිලිමත් වෙන්න වගේ කතාවක්.

 

මෝදිට  තම රටේ ද්‍රවිඩ ජනතාව ඡන්දෙ දෙන්නෙ නැත්තෙ මොක ? කොහොමත් ඉන්දියාවෙ ආර්ය ද්‍රවිඩ ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාව කියල රටක් ඉංගිරිසින් එනකම් තිබුණෙ නැහැ. නිසා ඉන්දියාව හා ලංකාව අතර අවුරුදු දෙදහසකට වැඩි මිත්‍රත්වයක් තියෙනව කියන එක සංකල්පීය වුණත් වැරදියි.

 

ඉන්දියාවෙ හරි භාරතයේ හරි ජාතීන්ගෙ රාජ්‍ය තිබුණෙ නැහැ. තිබුණෙ වාංශික රාජ්‍ය. පාඨලීපුත්‍ර නගරය මුල් කරගෙන මෞර්ය වාංශික රාජ්‍යයක් තිබුණා. රාජ්‍යයෙ හිටපු ජාතිය මොකක් ? කාලිංගයෙ වෙන වෙන රාජ්‍ය තිබුණ. අර අපටත් වැදගත් නැගෙනහිර ගංග නැත්නම් සමහර විට වෝඩ ගංග වංශය කාලිංගයෙ බොහෝ කලක් රජ කළා. පොළොන්නරුවෙ රජෙකුත් හිටිය වෝඩ ගංග කියල. නිස්සංක මල්ලලා කාලිංග වාංශිකයො. ඔවුන් යාපනයේ කාලිංග දේශයෙ සිංහපුරේ හිටි බවට මතයක් තියෙනවා. සිංහපුරය හඳුනගන්න ඕන. කාලිංග වාංශිකයන් රජ කෙළෙ වත්මන් බෙංගාලයෙ පහළ කොටසෙ ඔඩිස්සාවෙ නැත්නම් ඔරිස්සාවෙ හා ආන්ද්‍ර ප්‍රදේශයේ උතුරෙ.

 

දකුණෙ හිටිය පාණ්ඩ්‍ය හා පල්ලව වාශිකයනුත් සිංහල රජවරුන් සමග සුහදත්වයකින් පසු වුණා. පාණ්ඩ්‍යයන් සමහරු ලංකාවට ආවා. පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය පෙළපතේ. පාණ්ඩ්‍ය රාජ්‍යවත් චෝල රාජ්‍යයවත් දෙමළ රාජ්‍ය නො වෙයි. එහි දෙමළ කතා කරන ජනයා හිටිය එක වෙන කරුණක්. පාණ්ඩ්‍යයන් තමන් ආර්යයන් ලෙස හඳුනගත්තා. මෙරටට පැමිණි පාණ්ඩ්‍යයන් වාසය කෙළෙ පඬුවස්නුවර ?

 

බාහිර ලෝකය ලංකාවෙ රාජ්‍යය දැක්කෙ සිංහල රාජ්‍යය ලෙස මිස ලම්බකර්ණ මෞර්ය කාලිංග ආදී වශයෙන් නො වෙයි. බැරි වෙලාවත් මාඝ ලංකාවෙ රජ වුණා නම් ඔහු සිංහල රජකු මිස කාලිංග රජකු වන්නේ නැහැ. කාලිංග සම්භවයක් ඇති නිස්සංකමල්ල රජුත් පාණ්ඩ්‍ය සම්භවයක් ඇති පරාක්‍රමබාහු රජුත් සිංහල රජවරු.

 

මා මේ ටික කිවුවෙ සිංහල රජවරුන් භාරතයෙ විවිධ වාංශික රජවරුන් සමග සම්බන්ධකම් පැවැත් වූ බව කියන්න. මිස සිංහල රජවරුන් නැති ඉන්දිය රාජ්‍යයක් සමග සම්බන්ධකම් පැවැත්තුවෙ නැති බව කියන්න. මෝදිට කර්ණාටක හරි තමිල්නාඩුව හරි සමග තියෙන සුහදකමට වැඩි සුහදකමක් අපට පාණ්ඩ්‍යයන් පල්ලවයන් හා කාලිංගයන් සමග තිබුණා.

 

ඒත් මෝදි අද ඡන්ද අහුලනවා. ඉන්දියාවෙ දකුණෙ ඡන්ද අහුලන්න ගමන මෙරට දෙමළ කතාකර ජනයා විතරක් නොවෙයි කච්චතිවූ දූපතත් අල්ල ගෙන. ඔහු අහනවා කච්චතිවු භාරතමාතාවට අයිති නැද්ද කියල. භාරතමාතාවට කිසිදා කිසිම ප්‍රදේශයක් අයිති වෙලා තිබුණෙ නැහැ. රටක් රාජ්‍යයක් කියන කතාව භාරතයෙ තිබුණෙ නැහැ.

 

කච්චතිවු 1974 දී ඉන්දියාව ලංකාවට "තෑගි" කරපු එකක්. එහෙම කිවුවට එය ලංකාවට අයත් කුඩා දුපතක් හැටියටයි තිබිල තියෙන්නෙ. මට තේරෙන විධියට ඉංගිරිසින් තමයි එය ඉන්දියාවට එකතු කරල තියෙන්නෙ.

 

කච්චතිවුහි ජනයා නැහැ. එහි ශාන්ත අන්තෝනි දේවස්ථානය තියෙනවා. එහි වාර්ෂික උත්සවයට ලංකාවෙන් මෙන් ඉන්දියාවෙන් ජනයා පැමිණෙනවා. මා හිතන්නෙ නැහැ එහි පැමිණීමට  ඉන්දියානුවන්ට වීසා අවශ්‍යතාවක් තියෙනවා කියලා. එහෙත් මසුන් මරන්නන්ට ප්‍රශ්නයක් ඇති. ඉන්දීය මසුන් මරන්නන්ට වැඩියෙන් විරුද්ධතාව තියෙන්නෙ මෙරට දෙමළ මසුන් මරන්නන්ගෙන්.

 

මෝදි කච්චතිවු අල්ලගෙන නටන්න හදන විගඩම පැහැදිලියි. මොනව වුණත් ඉන්දිරා ගාන්ධි හා සිරිමාවෝ බණ්ඩාරනායක අතර මිත්‍රත්වයක් තිබුණා. එය නැති කෙළෙ ජේ ආර්. ඔහු බටහිර සමග සම්බන්ධකම් ගොඩ නගා ගෙන ඉන්දිරා ගාන්ධි සමග තිබුණු සූහදත්වය නැති කර ගත්තා. ඉන්පසු ඉන්දියාව වෙල්ලාලයන් වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තා. ජේ ආර්ට අන්තිමට බටහිරයන් හිටියෙත් නැහැ. ඉන්දියාවටත් ලංකාවෙ අණසක පතුරවන්න අවස්ථාවක් ලැබුණ. ජේ ආර් තමයි මේ රට අද පවතින තත්වයට පත්කරන්න කටයුතු කළ ප්‍රධානියා.

 

මෝදිගෙ ජාතිකත්වයට අපි ගරු කරනවා. ඒත් ඔහු අපේ ජාතිකත්වයටත් ගරු කරන්න ඕන. අපේ ඉතිහාසයට ගරු කරන්නත් ඕන. ඔහු ගුජරාටි පැත්තෙ අයෙක්. විජයත් ලංකාවට ආවෙ ගුජරාටි පැත්තෙන්. සුප්පාරක හා භාරුකච්ච තියෙන්නෙ ගුජරාටියෙ. මෝදි ඡන්ද අහුලන අතර ටිකක් ඉතිහාසය හදාරනවා ?