පංති
සටන හා සිවිල් යුද්ධය
අවුරුද හැටකට පෙර පේරාදෙණියේ හිටි විප්ලවවාදීන් එක්කෝ ට්‍රොට්ස්කිවාදීන් වුණා නැත්නම් ස්ටැලින්වාදීන් වුණා. එකල මාඕවාදින් හිටියේ නැහැ. එහෙත් ම එ පෙරමුණට හිතවත් සිසුන් විශාල සංඛ්‍යාවක් හිටියා. 1963 දී ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයත් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂයත් මහජන එක්සත් පෙරමුණත් එකතු වී මැයි දිනය පැවැත්තුවා. ඒ මැයි පෙළපාලියේ මාත් ගමන් කළා. මා විශ්වවිද්‍යාලයට ඇතුල්වන විටත් ට්‍රොට්ස්කිවාදියකු වී සිටියා. එකල ජෙප්පන් හිටියේ නැහැ.
ඒ වන විටත් පිලිප් ගුනවර්ධන පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන පාර්ලිමේන්තුවේ
කතා කර තිබුණා. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස හැඳින්වුණු ඒ මහතාට එවකටත් පංති සටන කිසි දා සිදු නොවන්නක් බවට තේරුම් ගොස් තියෙන්න ඇති. ඒ මහතා පනස්හයේ පෙරළියට නායකත්වය දුන් අයකු වුණා. ට්‍රොට්ස්කිවාදියකු ලෙස මා එවකට මාක්ස් කී දේ පිළිගෙන හිටියේ. මා මාක්ස්වාදයෙන් කැඩුණේ 1980 මාර්තු මාසයේ දී පමණ.
අර
වාමාංශික පෙරමුණ වැඩි කල් තිබුණේ නැහැ. 1964 දී ලංකා සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂය සමග සභාගයකට ගියා. එහි දී සුපිරි විප්ලවවාදීන් කිහිප දෙනකු සමසමාජ පක්‍ෂයෙන් කැඩී කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට වෙන ම පක්‍ෂ හැදුවා. ඒ අතර එඩ්මන්ඩ් සමරක්කොඩි බාලා තම්පෝ මෙරිල් ප්‍රනාන්දු ආදීන් මෙන් ම විජය ඩයස් (විජේගුණසිංහ) තුල්සිරි අන්ද්‍රාදි වැනි තරුණ විප්ලවවාදීන් ද හිටි බවයි මගේ මතකය.
අපි
නොදැනුවත්කමට දෝ සමසමාජ පක්‍ෂයේ දිගට ම හිටියා. වාම සමසමාජ කණ්ඩායම වික්‍රමබාහුගේ නායකත්වයෙන් හැදුණේ හැත්තෑවේ දශකයේ මුල. එය තමයි නව සමසමාජ පක්‍ෂය ලෙස පසුව රූපාන්තරකරණයකට
භාජනය වුණේ. ඊට කලින් හැටපහේ පමණ සමසමාජයෙන් කැඩුණු විරෝධය කණ්ඩායම සරසවියේ බිහිවුණා. ඒ අතර අප සමග සරසවියේ සිටි සිසිර ජයසූරිය හෙවත් සෝබර්ස් ද හිටියා. ඔවුන් සිටියේ කොයි වෙලේ පොලීසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගනීවි ද කියන සැකයෙන්. පසු කලෙක සිසිර ඕස්ත්‍රේලියාවට
ගියා.
ඊටත්
පසු ව විජේවීරත් සමග සිටි ලයනල් බෝපගේත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීම සඳහා ඕස්ත්‍රේලියාවට ගියා. තව ම ඕස්ත්‍රේලියාවේ විප්ලවය සිදු වූ බවට ආරංචියක් නැහැ. එහි පමණක් නොව යුරෝපීීය රටවලත් සමාජවාදය හැන කතා කරනවා. ඒ මාක්ස්ගේ ඊනියා විද්‍යාත්මක සමාජවාදය නොව මාක්ස්වාදීන් කී අන්දමට ෆුරියර් වැන්නන් කතා කළ මනෝරාජික සමාජවාදය.
විරෝධය කණ්ඩායම කම්කරු මාවත බවට පත්වුණා. එයට කීර්ති බාලසූරිය නායකත්වය දුන්නා. සමහරු හිතුවේ ඔහු ට්‍රොට්ස්කිට පමණක් දෙවැනි වන ට්‍රොට්ස්කිවාදියකු කියා. එය වැරදි වෙන්නත් පුළුවන්. ට්‍රොට්ස්කි ට්‍රොට්ස්කිවාදියකු ද යන ප්‍රශ්නය තියෙන නිසා. කම්කරු මාවත තමයි එක්ස් කණ්ඩායමට බීජය වුණේ. අද එක්ස් කණ්ඩායමට යන එන මං නැහැ. ඔවුන් එකිනෙකා විවේචනය කර ගන්නවා. ඒත් තාමත් විප්ලවය සිදු වෙලා නැහැ.
ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂය ද සභාග දේශපාලනය උඩ කැඩී ගියා. ශන්මුගදාසන් චීන කොමියුනිස්ට් පක්‍ෂය පිහිටෙවුවා. විජේවීර එයින් බිහි වූ අයෙක්. ජ වි පෙ නම් දෙවතාවක් විප්ලවය කරන්න හැදුවා. ඒත් හරි ගියේ නැහැ. එයත් අභාවයට ගියේ ගුණදාස අමරසේකරට නැවතත් ගණඳුරු මැදියම ඉන්න ඉඩ සලසමින්. උගත් ගැමි තරුණ පරපුර දැන් හරිමි ගැමි කතා හරිණි ඔබ නිසා කියනවා. කිහිප දෙනකු තවමත් විජේවීරගේ පරම්පරාවේ අයකු ගැන ඉව අල්ලමින් ඊනියා ජාතිකවාදීන් වෙලා. යා දෙක නොරත රත වගේ ජාතිකවාදයත් පංතිවාදයත් පෑහෙන්නේ නැහැ. අමරසේකර අගයන විද්‍යාඥයන් සසරක් ගැන කියමින් සසරක් විශ්වාස නොකරණ අමරසේකර අමාරුවේ දාන බව මාක්ස්වාදී ජාතිකවාදීන්ට තේරෙන්නෙ නැති එක ගැන මා පුදුම වෙන්නේ නැහැ. වාසනාවකට මාක්ස්වාදී ජාතිකවාදීන්ට කෙතරම් වලි කෑවත් රටේ බලපෑමක් කරන්න බැහැ.
කාලෝ
ෆොන්සේකා සිසුවකු ලෙස සමසමාජ පක්‍ෂයේ හිටියේ නැහැ. ඔහු ගිනි පෑගීම හා යථාර්ථවාදය උඩින් පශ්චාත් උපාධියත් ලබා ගැනීමෙන් පසුව තමයි
සමසමාජ පක්‍ෂයට බැඳුණේ. ඔහු භෞතවේදයට
(Physiology) එකතු
කළ යමක් නැති වුවත් ගිනි පෑගීමට අරක්කු එකතු කළා ය කියනවා. අප සිසුන් ව සිටි අවධියේත් ලෙස්ලි ගුණවර්ධනගේ නිවසේ දී තිස්ස විතාරණ නම් දැක තියෙනවා. ඔහු එකල තරුණ වෛද්‍යවරයෙක්.
කාලෝ
දිනක් විප්ලවවාදින්ගෙන්
ඇහුවා සමසමාජ පක්‍ෂය විප්ලවය පාවා දුන්නා නම් ඉන් කැඩී ගිය අය විප්ලවය කළේ නැත්තේ ඇයි ද කියා. එයට පිළිතුරක් ලැබුණු බවක් මා දන්නේ නැහැ. එහෙත් ඔවුන්ට පිළිතුරක් නැතුවා නො වෙයි. ඊනියා කම්කරු පංති විප්ලවය කළ හැක්කේ ධනවාදය සම්පූර්ණ වු පසු ව වෙන්න ඇති. ට්‍රොට්ස්කි සෝවියට් දේශයේ ස්ටැලින් ගොඩ නැගුවා කී තනි රටේ සමාජවාදය ප්‍රතික්‍ෂෙප කෙළේ එවැනි කතා කියමින්. විප්ලවවාදීන් අද කරන්නේ ධනවාදය පරිපූර්ණත්වයට පත් කිරීම වෙන්න පුළුවන්. අද තියෙන විධියට ඒ අනුව සමහර විට හෙට අනිද්දා ඇමරිකාවේ කම්කරු පංති විප්ලවය කෙරෙන්න පුළුවන්. පොඩි පරහකට තියෙන්නේ කම්කරු පංතියක් නැති වීම පමණයි. ඒත් බුද්ධිමතුන්ට බැරි යැයි කම්කරු පංතිය වෙනුවට ආදේශ වෙන්න.
කෙසේ වෙතත් අප සරසවි සිසුන් ව සිටි අවධියේ පංති අරගලය හා සිවිල් යුද්ධය ගැන සාකච්ඡා කළා. ඒ අතර ඇතැමුන් වෙනත් පංති අරගලයකට හා සිවිල් යුද්ධයකට සරසුණා. ඒ උපාධි පරීක්‍ෂණයෙන් පංති සාමාර්ථයක් ලබා ගෙන සිවිල් සේවා පරීක්‍ෂණයෙන් ජය ගැනීම. එකල සිටි විප්ලවවාදීන් කිහිප දෙනකු ම පංති සාමාර්ථ ලබා පංති සටන ජයග්‍රහණය කර ව්ශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වුණා. සමහරු සිවිල් සේවා පරීක්‍ෂණයෙන් සමර්ථ වී සිවිල් යුද්ධය ජයගෙන සිවිල් සේවයට බැඳුණා.