ගජේ
ගහන්න පුරුදු කරන අධ්‍යාපනය
මෙරට අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා ද කියල අහන එක ම අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. අපේ රටේ මෙන් ම වෙනත් බොහෝ රටවල ද තියෙන්නෙ වෙනින් කාගෙන් ද ලැබුණු අධ්‍යාපනයක්. අධ්‍යාපනය විතරක් නො වෙයි රැකියා ව්‍යුහය ආදී සැම එකක් ම වෙනින් කාගෙ ද? අපට ඒ කිසිවක් අපේ කර ගන්න බැරි වුණා.
අප
කුඩා කළ පෙර පාසල් තිබුණෙ නැහැ. දැන් ඒකත් සම්පූර්ණයි. අදාළ අවුරුද්දේ ජනවාරි මාසෙ පළමුවැනි දාට අවුරුදු හතරයි මාස හය පිරිලා නම් හෝඩියෙ පංතියට එහෙම නැත්නම් පහළ බාලාංශයට ඇතුල් කෙරුණා. අවුරුදු හතරයි මාස පහ වුණත් හරියන්නෙ නැහැ. පාසලකට ඇතුල් කරන්න බැහැ. ඊළඟ අවුරුද්ද වෙන කම් ඉන්න ඕන.
ඒත
ගුරුවරුන්ගෙ ළමයින්ට වාසියක් තිබුණ. අර රෙගුලාසිය ඔවුන් වෙනස් කර ගත්තා. අවුරුදු හතරයි මාස හතර පිරිලා නැති වුණත් හෝඩියෙ පන්තියෙ ගිහින් වාඩි වෙලා ඉගෙන ගන්න පුළුවන්කම තිබුණ. අවුරුදු හතරයි මාස හය පිරුණට පස්සෙ නාම ලේඛණයෙ නම ඇතුළත් කළා. එය නීතිය නැවීමකට වැඩි දෙයක්. එක ම අවාසිය වුණෙ නම පොතට ඇතුළත් කරනකම් නොමිලෙ දෙන බනිස් ගෙඩිය ලැබුණෙ නැති එක විතරයි. ඒත් ඒකටත් වෙනත් උපක්‍රම තිබුණා. නොපැමිණි ශිෂ්‍යයකු පැමිණියා කියා ලකුණූ කර ඒ බනිස් ගෙඩියට හිමිකම් කීම. මාත් එහෙම අඩු වයසින් පාසල් ගිය අයෙක්. ඒ වුණාට ඒකෙන් වාසියක් වුණෙ නැහැ. තර්ස්ටන් විදුහලට ඇතුළත් වීමේ දී වයස අනුව පංතිය නියම කෙරුණා.
කවුද
කියල තිබුණ මා නිකම් ම නිකම් සිංහල ගුරෙකුගෙ පුතෙක් කියල. මා ගියේ පියා ඉගැන් වූ පාසලට නම් නො වෙයි. මව ඉගැන්වූ පාසලට. ඇය ඒ කාලෙ කිවුව විධියට අවසානය පමණක් සමත් නිකම් ම නිකම් සිංහල ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්. ටීචර් කෙනෙක්වත් නො වෙයි. ඒත් මට මාස හතරක් විතර අනියමින් බනිස් ගෙඩියක් ලැබුණා.
අපේ
සමාජයේ නීති නවන එක හැමදාමත් කෙරුණා. අපි දන්න අඳුනන කෙනකු අල්ල ගෙන අපට ඕන වැඩ කර ගන්නවා. දන්න අඳුනන අයකු නැත්නම් දන්න අඳුනන අයකු දන්න අඳුනන අයකු අල්ල ගන්නත් අපි සමතුන්. ඒත් අපි අනෙක් අය එහෙම කරනවාට විරුද්ධ වෙනවා. අපි ඒ තරම් ගුණ ගරුක මිනිස්සු. සමාජයේ ඒ ඒ මට්ටම්වල ප්‍රභූන් ඉන්නවා. දේශපාලන වශයෙන් විරූද්ධ වුණත් අවශ්‍ය වුණා ම කබරගොයා තලගොයා බවට පත්වෙනවා.
අද
අධ්‍යාපන මාධ්‍යය ගැන ලොකු කතාවක් තියෙනවා. අධ්‍යාපනයෙන් අවසානයේ දී කෙරෙන්නෙ මොකක් හරි දැනුමක් ලබා දෙන එක, ලබා ගන්න එක. දැනුම ලබා ගන්නෙ මොකට ද? ගෙදර නිකන් ඉන්න නො වෙයි. අද කියන විධියට ගොඩ යන්න. හතර වරිගෙ ම ගොඩ දාන්න. ඒ සඳහා සුදුසු රැකියා තියෙනවා. හොඳ රැකියාවක් ලැබුණොත් ගොඩේ ගොඩ.
අප
බොහෝ දෙනෙක් ඉගෙන ගන්නෙ හුදෙක් දැනුම් පිපාසයෙන් පෙළෙන නිසා නො වෙයි. තත්ව පිපාසයෙන් පෙළෙන නිසා. ඔය දැනුම එක් එක් අයගෙ සංස්කරණ පමණයි. ඒ දැනුම් සියල්ල මනසේ සංස්කරණ. මනසේ සංස්කරණයක් නොවූ දැනුමක් නැහැ. ඒ වාක්‍යයත් මනසේ සංස්කරණයක්. ලෝකය කියන්නෙ දැනුම. ඒත් අපි හිතනවා දැනුම කියන්නෙ ලෝකය පිළිබඳ දැනුම කියලා. එහෙම හිතන්නෙත් මනසින්.
ඒකෙන්
වැඩක් නැහැ. තත්ව පිපාසයෙන් පෙළෙන අයට හොඳ රැකියාවක් ලබා ගන්න අදාළ සුදුසුකම් ලබා ගන්න ඕන. සමහරු කියනවා දැනුම තියෙන්නෙ ඉංගිරිසියෙන් ඒ නිසා ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ඕන කියල. ඒ තරම් හොඳ නැති වුණත් අවශ්‍ය නම් ගූගල් පරිවර්තනත් තියෙනවා. ඒත් ඔරිජිනල් එක කියෙවුව ම හොඳයි කියනවා. කී දෙනෙක් නිව්ටන්ගෙ ප්‍රින්සිපියා ලතින් බසින් කියවල තියෙනවා ද? අවශ්‍ය අයකු ඉංගිරිසියෙන් ඉගෙන ගත්තට මගේ ප්‍රශ්නයක් නැහැ. ඒත් කී දෙනකු බුදුදහම ඉගෙන ගන්න ඔරිජිනල් එක කියවනවා ද? දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා ඔරිජිනල් එක පාළි ද කියල.
ඒ දවස්වලත් දැනුත් බටහිර වෛද්‍ය වෘත්තිය හා ඉංජිනේරු වෘත්තිය වැදගත්. ඒ කාලෙ සිවිල් සේවයත් තිබුණ. දැන් පරිපාලන සේවය කියනවා. විශ්වවිද්‍යාල ගුරුකමටත් සැලකිල්ලක් තිබුණ. මේ වැදගත්කම සමාජයට ධනය ඉපයීම සම්බන්ධයෙන් නො වෙයි. ධනවාදී රටවල වඩා වැදගත් වෙන්නෙ සමාජයට ධනය ඉපයීම. බටහිර ධනවදී රටවල සමාජයට ධනය උපයා දෙන රැකියාවල වැඩි වැටුපක් ලැබෙනවා. ඒත් වෛද්‍යවරුන්ටත් ඉහළ වැටුප් ලැබෙනවා. ධනය උපයන්නත් නිරෝගී මිනිසුන් අවශ්‍ය නිසා ද දන්නෙ නැහැ.
අද දැනුම නිර්මාණය කිරීම එහෙම නැත්නම් සංස්කරණය කිරීම වැදගත් වෙන්නෙ එයින් ධනය ඉපයීම වැඩි කරනවා නම්. එහෙමත් නැත්නම් රටේ ආරක්‍ෂාවට වැදගත් නම්. අද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට වඩා තොරතුරු තාක්‍ෂණයෙ අයට වැඩි වැටුප් ලැබෙනවා. ඒත් සමහරු විශ්වවිද්‍යාලවලට
බැඳෙනවා අඩු වැටුපකට. ඒ කැමැත්තට. විශ්වවිද්‍යාලවලත්
දැනුම නිර්මාණය කරනවා.
මෙරට
අප තවමත් ඉන්නෙ විසිවැනි සියවස මුල දි ඇති කෙරුණු ආකල්පවල. අප දැනුම නිර්මාණයට වැදගත් තැනක් දෙන්නෙ නැහැ. රට බංකොළාත් වෙලා තියෙද්දිත් සමාජයට ධනය උපයන්න කිසිවකු නිර්මාණාත්මක ව කතා කරන බවක් පේන්නෙ නැහැ. දැන් අහන්න එපා මා ධනවාදී ද කියා. රාජ්‍ය ධනවාදයෙන් කෙරුණෙත් ධනය ඉපයීම.
අදත්
අපට තියෙන්නෙ වැදගත්කම පිළිබඳ ආකල්ප. ඒ වැදගත්කම් දෙකක් තමයි ඉංගිරිසි කෙතරම් දන්නවා ද කියන එකත් අහවල් දැනුම තියෙනවා ද අහවල් පොත් කියවල
තියෙනවා ද කියන එකත්. අපේ රටේ ඉතා ඉහළ ඉංගිරිසි දැනුම් තිබුණ අය හිටියා. ඉංගිරිසි පොත පත කියවල මහා දැනුම් සම්භාරයක් අත්කර ගත් අයත් හිටියා. සමහරු රුසියන් ප්‍රංශ ජර්මන් භාෂාවලින් මුල් කෘතිත් කියෙවුවා. ඔවුන් සිවිල් (පරිපාලන) සේවයෙත් හිටියා. 1921න් පස්සෙ විශ්වවිද්‍යාල ආයතනයෙත් 1942න් පස්සෙ විශ්වවිද්‍යාලවලත්
හිටියා. විශ්වවිද්‍යාලවල
ශාස්ත්‍ර පීඨවල සිංහලෙන් උගන්වන්න පටන් ගත්තෙ මට මතක විධියට 1960 දි පමණ. විද්‍යා පීඨවල සිංහලෙන් උගන්වන්න පටන් ගත්තෙ1966 දි පමණ. ඒත් ඊට කලිනුත් අපි ණයට කෑවෙ. රට බංකාළොත් මාවතේ ගමනේ යෙදී හිටියෙ.
අපේ
කණ්ඩායම ඉගෙන ගත්තෙ ඉංගිරිසියෙන්. එහි එක් අයකු මට මතක හැටියට අසමත් වෙලා ඊළඟ අවුරුද්දෙ ඉල්ලා හිටියා සිංහලෙන් ප්‍රශ්න පත්තර දෙන්න කියා. ඔහු ජය ගත්තා. පසුව මා හිතන විධියට ඔහු විදුහල්පති කෙනෙකු වුණා.
ඒ දවස්වල පේරාදෙණියෙ ශිෂ්‍ය නේවාසිකාගාරවල
(ශාලාවල) ගජේ ගැහීම කියා එකක් තිබුණා. එ නොමිලේ කෑම. ඒ ගැන කතා දෙකක් තියෙනවා. ශාලාවෙ නේවාසික සිසුන්ගෙ ගජයො (ගජ මිතුරො) ඇවිත් නිකම් කෑවා කියන එක එකක්. අනෙක කවුද ගජනායක හරි එවැනි ගජ නමක් තිබුණු අයකු නිකම් කැව කියන එක. අපේ අධ්‍යාපනය සකස් කරල තියෙන්නෙ රටට ගජේ ගහන්න කියා දෙන්න.