Main Logo

Sunday 17 March 2024

බටහිර හා ඉන්දීය සැලැස්ම

 

බටහිර හා ඉන්දීය සැලැස්ම

 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලියා පළ කළ කුමන්ත්‍රණය කෘතිය මා කියවූයේ සිංහලෙන්. එය සමහර විට ඉංගිරිසි කෘතියේ පරිවර්තනය වෙන්න පුළුවන්. කෙසේ නමුත් සිංහල පිටපත කඩිමුඩියේ කළ එකක් බව පැහැදිලියි. මෙය කෘතිය සම්බන්ධ කෙටි සටහනක් පමණයි. මෙහි ඇති අදහස් පසුව විටින් විට ඉඩ ලැබෙන පරිදි විස්තර කෙරෙනු ඇති.

 

පොතෙහි අවශ්‍ය කරුණු කෙටියෙන් නමුත් සෑහෙන ප්‍රමාණයකට විස්තර කෙරෙනවා. එහෙත් ඇතැම් ජාතිකවාදීන් පිළිගන්න එකක් නැහැ. සිංහල බෞද්ධ ජාතිකත්ව නායකත්වය නැති කිරීමට බටහිරයන් හා ඉන්දියාව කොවිඩ් වසංගතය යොදා ගත් අයුරු මෙහි විස්තර කෙරෙනවා. එහෙත් බොහෝ දෙනා දකින්නේ අවසාන ප්‍රතිඵලය පමණයි. තෙල් ගෑස් විදුලි ප්‍රශ්න ඇති වුණේ කෙසේ සමහර දේ ඇති කෙළේ කවුද ආදිය පැහැදිලි වෙනවා. ඇතැම් ජාතිකවාදීන් දැන් සියල්ල ගෝඨාභය පිට පටවා මැසිවිලි කීමට පටන් ගැනීම යහපත් දෙයක් නො වෙයි.

 

මෙරට අධ්‍යාපනයේ අසාර්ථකත්වය මේ කෘතිය ගැන කෙරෙන විවේචනවලින් පැහැදිලි වෙනවා. විවේචකයන්ට හසුවන්නේ තෙල් නැති වීම ගෑස් පිපිරීම ආදියයි. එහෙත් මෙරට ඩොලර් සංචිතය කොවිඩ් කාලයේ තව තවත් අඩු වීම එහි දී අවම කිරීමට කටයුතු කරනු වෙනුවට අපනයනයෙන් ලැබෙන මුදල් පිටරට තබා ගැනීම, විදේශීය ශ්‍රමිකයන්ට මෙරටට මුදල් නොඑවන ලෙස කළ ඉල්ලීම් උන්ඩියල් ක්‍රමය ආදිය විවේචකයන් අමතක කරනවා. එමෙන් මහා බැංකුව ඇතුළු ආයතන කළමනාකරණයෙහි දී දක්වා ඇති අකාර්යක්‍ෂම බව තෙල් නැව් ගෙන්වීම පමා කිරීම වරායට ලැබු තෙල් බා ගැනීමට නොහැකි වීම ආදියෙන් පැහැදිලියි. ගෝඨාභය ලබා ගත් විදේශ විනිමයත් කළමනාකරණය කෙරී නැහැ.  අවසානයේ සිදු වූ දේ බලා ක්‍රියා දාමය අමතක කර ඊනියා හේතු කීම ලිඳ ළඟ කතා පමණයි.  ඇතැම් පඬි නැට්ටන්ට තමන් නිතර වමාරන ඇහැට කණට පේන දෙය ඊනියා යථාර්ථය නම් විද්‍යාවක් කුමට යන බටහිර පඬි වදන් අමතක වෙනවා. බටහිර විද්‍යාව නැති වුණත් ඇහැ කණ පේන අය ඉන්නවා.

 

ඔය කාලයේ මුදල් ඇමතිවරුන් ලෙස ක්‍රියා කර ඇත්තේ කවුද යන්නත් කෘතියෙන් හෙළිවෙනවා. 2021 ජූලි 8 සිට 2022 අප්‍රේල් 4 දක්වා බැසිල් ඉන් පසු 2022 මැයි දක්වා අලි සබ්‍රි පසුව රනිල් වික්‍රමසිංහ. රනිල්ටත් විශ්වකර්ම වේෂයෙන් පෙනී හිටියත් කිසිවක් කරන්න බැරි වෙලා. නන්දලාල්ට පුළුවන් වුණෙ ණය ගෙවන්න බැහැ කියන්න පමණයි. එමෙන් දිගට ජයසුන්දරගේ ක්‍රියා කලාපය ආදිය පමණක් නොව ජේ ආර් සහ නඩය විවෘත ආර්ථිකය මගින් නිෂ්පාදනය විනාශ කිරීම,  පනස් ගණන්වල සිට ආදායමට වඩා වියදම් කිරීම බොරු ෂෝක් මෙන් බොරු උගත්කම අමතක කරන්න බැහැ. මේ බොරු උගතුන්ට කිසිම අලුත් අදහසක් නැහැ. ඔවුන් දන්නේ බටහිර සංකල්පයක් ගෙන පරිධියේ සෙල්ලම් කිරීම පමණයි. ලිඳ ළඟ කතා කීම පමණයි.  ඊනියා ජාත්‍යන්තරයට ගිය අයත් කරන්නේ එපමණයි.

 

මේ කෘතියේ නොකියැවෙන වැදගත් කරුණක් තියෙනවා. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කළේ ජාතිකවාදීන් කියන එක. කෘතියෙන් කියැවෙන්නේ මහින්දට හා බැසිල්ට  ජනාධිපති අපේක්‍ෂක වීමට නොහැකි වීම නිසා ගෝඨාභය ඉදිරිපත් කළ බවයි. එහෙත් එය සිදු වූයේ එසේ නො වෙයි. ඔහුගේ අපේක්‍ෂකත්වයට පවුලෙන් අනුබලයක් ලෑබුණේ නැහැ. ගෝඨාභය බව හා පවුල සමග තිබූ විරසකය ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ.

 

ජාතිකවාදීන්ට අවශ්‍ය වුණේ ගෝඨාභය ටිකක් තදින් සිට රටට යහපතක් කරන්න.  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන්ගෙන් කියැවුණේ එයයි. එහෙත් ගෝඨාභය නොකෙළේත් තදින් හිටීම. අර පරගලයට හොඳින් සැලකීම අනවශ්‍ය වැඩක්. පරගලය පිටුපස සිටි බලවේග හැඳින ගත්තා නම් කළ යුතුව තිබුණේ පරගලයන් විසුරුවා හැරීමයි.  තමා වැඩබලන ජනාධිපති වන තෙක් පරගලය රැකි රනිල් වැඩබලන ජනාධිපති වී පසු දින පරගලය විසුරුවා හැරියා.

 

ගෝඨාභය කියන්නෙ තම ජනාධිපති ධුරය රැක ගැනීමට මිනිසුන්ට තළා පෙළීමට අවශ්‍ය නොවූ බවයි. එහෙත් මෙහි දී අවශ්‍ය වුණේ රට විදේශීය සැලසුම්වලින් රැක ගැනීම. ගෝඨාභය තදින් ක්‍රියා නොකිරීම වරදක්. තදින් ක්‍රියා කළා නම් රනිල් ජනාධිපති වෙන්නෙ නැහැ. අර අවසාන ප්‍රතිඵලය දෙස බලා බෙරිහන් දෙන උගතුන් කියනවා ගෝඨාභය රනිල්ට ජනාධිපතිකම භාර දී පිට වී ගියා කියා. එහෙත් ඔහු රනිල්ට පෙර කී දෙනකුට අගමැතිකම භාර ගන්න කීවා යන්නත් ඔවුන් බොරු හේතු දක්වා ප්‍රතික්‍ෂෙප කළ බවත් බොරු උගතුන් අමතක කරනවා.

 

ගෝඨාභයට දේශපාලන අත්දැකීම් නොතිබූ නිසා ප්‍රශ්නයක් ඇති වූ බවක් කියැවෙන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිණියට තිබූ දේශපාලන අත්දැකීම් මොනවා ? ගෝඨාභයට බණ්ඩාරනායක මැතිණියට මෙන් නිසි සහායක් ලැබුණේ නැහැ. අවසානයේ දී හමුදා නිලධාරීන් විවිධ හේතු නිසා තම රාජකාරි හරි හැටි ඉටු කර නැති බව පැහැදිලියි. ඇතැම් කරුණු හා විදේශීය බලපෑම් හෙළිදරවු කිරීම ගැන කතුවරයාට ස්තුතිවන්ත වන අතර තවත් හෙළිදරවු කළ යුතු කරුණු තිබෙන බව මගේ විශ්වාසයි.

 

ගෝඨාභය කළ ලොකුම වරද තමයි විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමට වැඩ කිරීම. ඔහු වන විට ඇමරිකානු රටවැසිකම අත්හැර සිටියේ. විස්ස වෙනුවෙන් පෙනී සිටියේ බැසිල් සඳහා කියන එකයි මගේ විශ්වාසය. ගෝඨාභය එතරම් උනන්දුවකින් ඇතැම්විට ජාතිකවාදීන් අමනාප කර ගනිමින් එසේ කෙළේ බැසිල්ගේ සහාය ලබා ගැනීමට ? එසේ නම් සහාය ලැබුණා ?

 

ඇතැම් ජාතිකවාදීන් බැසිල් සමග අමනාපයෙන් ආණ්ඩුවත් සමග විරසක ඇති කර ගැනීමත් ප්‍රශ්නයක් වුණා. ඔවුන් සුවාදීන වුණා. සුවාදීන වූ සියල්ලන් ජාතිකවාදීන් කියා මෙයින් කියැවෙන්නේ නැහැ. ගෝඨාභයට ඔවුන් සමහර දෙනකු ඇමතිකම්වලින් නෙරපන්න සිදු වුණේ ඔවුන් යන තැනට කටයුතු කර ගෙන සිටි නිසා බව පැහැදිලියි.

 

කුමක් වුණත් දෙමළ ජාතිවාදී කොටි පැරදවීම මහින්ද හා ගෝඨාභය එළවීමේ ව්‍යාපෘතියේ මුලයි. එය සම්පූර්ණයෙන් සිංහල බෞද්ධ ජාතික නායකත්වය නැති කිරීමට කරන ලද්දක්. අද සිංහල බෞද්ධ ජාතිකත්ව නායකත්වයක් නැවත ඇති කර ගැනීමට ඉවසිල්ලෙන් කටයුතු කරන්න වී තිබෙනවා. පරගලයට සහභාගි වූයේ බටහිර හා ඉන්දීය සැලසුමක් මත වුවත් ඇතැමුන් සරදමට කියන්නේ බටහිරයන් තමන්ට එසේ සහභාගි වීමට නොකී බවයි! ඔවුන්ගේ විචාරය. අද වන විට ඉන්දීය ඇඟිලි ගැසීම්  වැඩි වෙමින් තියෙනවා. බටහිරයන් ඉන්නේ වැඩි ඈතක නො වෙයි. මහින්ද හා ගෝඨාභය එළවා දැමීම නිසා ශක්තිමත් වී ඇත්තේ කවුද කියා පැහැදිලියි. ණය නොගෙවීම නිසා ඩෙලර සංචිතය ටිකක් ඉහළ ගිගින්. එහෙත් අපට සදා ණය නොගෙවා ඉන්න බැහැ.