ඩොලර්
ඉපයීම
මේ දවස්වල ඩොලරයේ අගය බහිනවා. ඊයේ (මාර්තු 18) ඩොලරය රුපියල 300ට බැහැලා. එය රනිල්ගෙ හරි නන්දලාල්ගෙ හරි නොපෙනෙන ඉන්ද්‍රජිත් කුමාරස්චාමිගෙ හරි හපන්කමක් නම් නො වෙයි. අපි ණය ගෙවන්නෙ නැහැ. එතකොට ඩොලර් සංචිතය ඉහළ යනවා. ඩොලරයේ අගය වැටෙනවා. කවදා හරි ණය ගෙවන්න වෙනවා. ඒක 2027 දී ද ඊට පස්සේ ද කියන එක නොවෙයි ප්‍රශ්නය. ඒ නොගෙවා ඉන්න කාලෙට පොලිය එකතු වෙන්නෙ නැද්ද? ඒ කියන්නෙ අවසානයේ දි අපි වැඩියෙන් ගෙවනවා ද? රනිල් 2027 වෙනකම් ජනාධිපතිවෙලා ඉන්න ගැටයක් ගහනවා ද? 2027 වන විට ඔහුට වයස අසූවට කිට්ටුයි. ඒ කාලයෙහි ඔහු දෙමළ වෙල්ලාලයන්ට බලය බෙදන්න සූදානම් වෙනවා ද?
ඒ හිතලු ලෙස අහන ප්‍රශ්න තමයි. ඒත් රනිල් පහුගිය අවුරුදු පනහක පමණ කාලයෙ ක්‍රියා කරල තියෙන ආකාරය බලන විට එවැනි ප්‍රශ්න හිතට එනවා. ඔහු කොළඹ මොටාවෙ ශිෂ්‍යයකු ව සිටි කාලයෙ සමසමාජ ශිෂ්‍ය නායකයා එම් ඒ ජස්ටින් මෙහෙය වූ ආකාරය මතක් වෙනවා. ඔහු ඒ අතින් නම් දක්‍ෂයෙක්. ඒ අවුරුදු පනස්පහකට පමණ පෙර. ඔහුට නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන ලයිට්හවුස්.
කොහොමටත් අපේ ප්‍රශ්නය ආදායමට වඩා වියදම වැඩි වීම. අප ණයට කෑමට පුරුදු වී සිටීම. අපට අද ප්‍රසාරණය වුණු වැදගැම්මකට නැති මධ්‍යම පංතියක් ඉන්නවා. එදත් මධ්‍යම පංතිය එහෙමයි. ඔවුන්ට වැදගත් දෙයක් හිතන්න බැහැ. එහෙත් ඔවුනට හිතන්න පුළුවන් එක දෙයක්. ඒ තමන් ඉහළ පෙළේ චින්තකයන් කියා. අර කියන්න වගේ කතාව දෝලාවෙන්.
අපට
පිටරට සමග වෙළෙඳාම් නොකර ඉන්න බැහැ. විජය පැමීණීමටත් පෙර මෙරටට වෙළෙඳුන් ඇවිත් තියෙන බව පැහැදිලියි. දන්න අතීතයේ කිසි දා අප ලෝකයෙන් වෙන් වෙලා ඉඳලා නැහැ. ඔය පඬි නැට්ටන් මහත් ආඩම්බරයෙන් කියවන දුපත් මානසිකත්වයක් මෙරට තිබිල නැහැ. විවිධ රටවල කාසි මෙරටින් හමුවෙන්නෙ. විවිධ රටවල දැනුම් මෙරට තිබුණා. පඬි
නැට්ටන් හිතන්නෙ ඔවුන් තමයි ලෝකෙ වෙන දේ දන්නෙ කියා.
ඒත්
මෙරට වැසියන්ට වෙනත් දුපත් මානසිකත්වයක් තිබුණා. ඒ මෙරට සංස්කෘතිය අනුව හිතීමේ මානසිකත්වය. අද වන විට ඊනියා උගතුන් අතර ඇත්තෙ අනුකාරක මානසිකත්වයක්. ඒ කොහොම වෙතත් අපට විදේශීය මුදල් සංචිතයක් අවශ්‍යයයි. අද වන විට අප විදේශ විනිමය උපයා ගන්නෙ ප්‍රධාන වශයෙන් අරාබිකරයේ කොරියාවෙ ඊශ්‍රායලයෙ වැඩ කරන ශ්‍රමිකයන්ගෙන්. අපනයන වලින් හා සංචාරකයන්ගෙනුත් විදේශ විනිමය ලැබෙනවා. ඒත් ඒ සියල්ල එකතු කළත් ආනයනවලට ඊට වඩා මුදලක් යනවා. ඒක පියව ගන්න අපි ණය වෙනවා. ඒ තමයි ණය
චක්‍රය.
අපේ
අපනයනවලින් එතරම් ශුද්ධ විදේශ විනිමයක් ලැබෙන්නෙ නැහැ. එයට හේතුව බොහෝ අපනයනවලට ආනයන අවශ්‍ය නිසා. සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයත් අඩුයි. අපට එන්නෙ යහමින් වියදම් කරන සංචාරකයන් නො වෙයි. ඔවුන් සමහරු මෙරට සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යනවා!
විදේශ
විනිමය උපයා ගැනීමට එක් එක් අය යෝජනා ඉදිරිපත් කරනවා. ඇතැම් ප්‍රබුද්ධ කාන්තාවන් යෝජනා කරනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියා. පැරණි නගර ශෝභිනීලා ගැන කියාවි. කුමාරදාස රජු දවස සිද්ධිය කියාවි. ඒ තමන්ගෙ යෝජනාව තහවුරු කරන්න. ඒ කාන්තාවන් දැනටමත් කැමැත්තෙන් ඒ වෘත්තියෙ යෙදනෙවා ද කියා මා දන්නෙ නැහැ. කෙසේ වෙතත් බොහෝ දෙනා ශරීරය විකුණන්නෙ කැමැත්තකින් කියා හිතන්න එපා.
සංචාරකයන් අප රටට එන්න ඕන මෙරට ඇති විශේෂත්ව මොනවා ද? වෙනත් රටක නැති මෙරට ඇති දේ මොනවා ද? අපේ හෝටල් ගාස්තු වැඩි ද? අප තව තවත් ශ්‍රමිකයන් අරාබිකරයට කොරියාවට යවනවා ද? අපේ අපනයන වැඩි කර ගන්නේ කෙසේ ද? ආනයන අඩු කර ගන්නේ කෙසේ ද? අපට කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කර එ අපනයනය කරන්න පුළුවන් ද? මෙරටින් යුරෝපයට ඕස්ත්‍රේලියාව නවසීලන්තය වැනි රටවල පදිංචියට යන අය සංකේන්ද්‍ර ගත ප්‍රදේශවලට ඇතැම් දේ අපනයනය කරන්න අවස්ථා ඇත් ද?
මෙරට
දැන් බොහෝ මොටාවල තාක්‍ෂණික විද්‍යා පීඨ තියෙනවා. ඉන් පිටවෙන උපාධිධාරීන්ට විදේශ විනිමය ඉපයිමේ හැකියාවක් තියෙනවා ද? අපට ඉන්දියාව සමග තරග කරන්න බැරි වේවි. එහෙත් අපට වියදම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා ද?
ඉහත
සඳහන් ක්‍රමවලට හැරෙන්න විදේශ විනිමය ඉපයීමේ වෙනත් ක්‍රම තියෙනවා ද? පාරම්පරික වෙදකමට ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන් ද? පොහොර තහනම කළ ආකාරය කිසිසේත් ම සතුටුදායක නැහැ. ඒ ජයසුන්දරගේ තවත් ලණුවක්. එහෙත් අප දේශීය ගොවිතැනට යොමු වීමෙන් ආනයන යම් ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන්. දේශීය දැනුම් පද්ධතිය දියුණු කිරීමට මෙතෙක් කිසිවකු ක්‍රමවත් වැඩ පිළිවෙළක් ආරම්භ කර නැහැ.
ඒ කෙසේ වෙතත් අපනයන වැඩි කිරීම මෙන් ම ආනයන අඩු කිරීම ගැනත් සැළකිලිමත් වෙන්න ඕන. අපේ අධිපරිභෝජනය නතර කිරීම අල්පේච්ඡ ජීවිතයකට හුරු වීම සහ තවත් දේ තියෙන්න පුළුවන්. ඒ අතර මියන්මා වැනි රටවල් සමග බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමත් හිතන්න ඕන. මියන්මා රාජ්‍ය සේවය මෙරට රාජ්‍ය සේවයටත් වඩා අකාර්යක්‍ෂම බව අමතක කරන්නත් බැහැ. උදාහරණයක් ලෙස මියන්මාහි පොල් වගා තියෙනවා. එහෙත් ඔවුන් ඉන් කිසිම ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. ඔවුන් සමග එකතු වීමෙන් රටවල් දෙකට ම වැඩදායක නිෂ්පාදන ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා තරමක කාලයක් ගතකිරීමට නම් සිදුවේවි.
මා
මේ කිසිවක් හදාරල නැහැ. කවුරුන්වත් ඒ ගැන විධිමත් හැදෑරීමක් කරල තියෙනවා ද කියා දන්නෙත් නැහැ.