Main Logo

Tuesday 26 March 2024

සිරීපාදෙ රැකගැනීම

 

සිරීපාදෙ රැකගැනීම

 

මේ සංධාන කාලයයි. මැතිවරණ උණුසුමක් දැනෙන විට විවිධ සංධාන හැදෙනවා. එහෙත් සංධාන හැදෙන්නේ රට ජාතිය ගැන සිතා නො වෙයි. තමන්ට ඡන්ද වැඩි පුර ලබා ගැනීමට. එක්කෝ ජනාධිපති වෙන්න. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට. සමහරු සංධානවලට එන්නේ නැහැ. තමන් ගැන තියෙන අධිතක්සේරුව නිසා.

 

ඇතැම් විට විජාතික බලපෑම් හේතුවෙන් සජිත් රනිල් සංධානයකට එළඹෙන්නත් පුළුවන්. දෙදෙනා දැනට එවැන්නකට අකමැති බව පැහැදිලියි. එහෙත් දේශපාලනයේ දී විවිධ බලපෑම්වලට යට වෙනවා. ඒත් අවසානයේ දී පෞද්ගලික අපේක්‍ෂාවන් වෙනුවෙන්. කලක දි වහල්ලු කතාව මතක් වෙනවා. රනිල්ට ඡන්දයකින් ජනාධිපති වීමට නම් සජබ ඡන්ද යම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෛත්‍රිපාලට දින පනස්දෙකේ ආණ්ඩුව හදන්න බැසිල් ඕන වුණා වගේ. ඒත් බැසිල් සහාය දුන්නෙ නැහැ. ඔහුට වෙන අරමුණු තිබුණා.

 

බැසිල් හා රනිල් අතර සංධානයක් ඇති වුණත් එයට ඇතැම් පොහොට්ටු පාක්‍ෂිකයන් කැමති වෙන්නේ නැහැ. රනිල් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට බැසිල් එකඟ වුණත් සමහර පොහොට්ටුවන් එකඟ වෙන්නේ නැහැ. ඔවුන් පොහොට්ටුව හැර යාවි. රනිල්ට සජබ ඡන්ද විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ජා ඡන්ද කියා කිව හැකි ඡන්දයක් නැහැ. රනිල් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ තමන්ට දිනන්න පුළුවන් කියන තක්සේරුවක් මතයි. එහෙම තක්සේරුවක් නැත්නම් ඔහු කරන්න යන්නේ කුමක් යන්න නිශ්චිත කියන්න බැහැ.

 

අද ඊනියා වමක් කියා එකක් නැහැ. ඉතිරි වෙලා ඉන්න වමාලට කරන්න පුළුවන් ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පැවැත්වීම වගේ එලොවටත් මෙලොවටත් වැඩක් නැති දේ කිරීමට හා ඉඳහිට විරෝධතා උදඝෝෂණ පවත්වා ජලස්නානය කිරීමට. ඊනියා විප්ලවය ජලස්නානයට හා කඳුළු ගෑස් කෑමට පල්ලම් බැහැලා. මාක්ස් තරම් වැඩ නොකරන හිතලු කී වෙනත් අයකු ඉතිහාසයේ දකින්න බැහැ. සමාජ ක්‍රමය වෙනස් කිරීම ගැන තබා සමාජ ක්‍රමය අර්ථ විවරණය කිරීම ගැනවත් ඔහුට වැඩ කරන හිතලුවක් ඉදිරිපත් කිරීමට බැරි වුණා.

 

ඇතැමුන් වාම ජාතිකවාදයක් හරි ජාතිකවාදී වමක් හරි ගැන කියන්නේ රැකියාවක් ලෙස. මෙරට ට්‍රොට්ස්කිවාදයට තරම්වත් පදනමක් ස්ටැලින්වාදයටවත් මාඕවාදයටවත් තිබුණේ නැහැ. විජේවීර මාඕවාදයක් නමින් වෙන මොකක් දෝ වාදයක් ගැන කිවුවා. අද මෙරට මොස්කව් කොමියුනිස්ට් පක්‍ෂයට චීනයේ පීකිං කොමියුනිස්ට් පක්‍ෂයෙන් නඩත්තු වෙන්න සිදු වෙලා. පීකිං කොමියුනිස්ට් පක්‍ෂයටත් කොමියුනිස්ට් කතා නැහැ. රාජ්‍ය හා පෞද්ගලික ධනවාදයක් තමයි චීනයේ තියෙන්නෙත්.

 

ජාජබට ඇති වාම කතාවක් නැහැ. ප්‍රසිද්ධියේ නොකීවුවත් මෝදිදාස් මාක්ස්වාදය හැර දා බොහෝ කල්. රනිල්දාස් හරිමි ගැමි කතා ගැන මා ලිපියක් ලිවුවේ අවුරුදු කිහිපයකට පෙර මට මතක හැටියට මියන්මාහි දී. ජෙප්පන් හා සෙප්පන් කියන විධියට මා වැඩ බැරි තානාපති කෙනකු ලෙස ඉන්දැද්දී. කොහොම වුණත් ටිල්වින් හා ලාල්කාන්ත තමන්ට තේරෙන විධියට මාක්ස් හිතලු කියවනවා.  

 

අද මෙරට ජාතිකවාදී නායකත්වයක් නැහැ. බටහිරයන් කළ ප්‍රධාන කාර්යය ජාතිකවාදී නායකත්වයක් නැති කිරීම. අතර ශ්‍රී නි හා එහි අනුප්‍රාප්තික පොදු ජන පෙරමුණ නැති කිරීම. මැතිවරණයෙන් හරි ජනාධිපතිවරණයෙන් හරි පසුව පක්‍ෂ අර ස්ටැලින්වාදී මාඕවාදී ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවල තත්වයට ඇද වැටෙනවා. ගැන ඇත්තේ කණගාටුවක්.

 

අද ජාතිකවාදීන් ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු කාලයක්. අවාසනාවකට අද ඉන්න ජාතිකවාදී යැයි කියන නායකයන් ගෝඨාභය ආරක්‍ෂා කර ගැනීම වෙනුවට පාවා දීමට ඉවත් කිරීමට කටයුතු කළ අය. අදත් ඔවුන් ගෝඨාභය පාවා දී තමන් ඉස්මතු වීමට තම හැකර කටවල් අරිනවා. මේ ඇතැමුන් ගෝඨාභය මහින්දගෙන් වෙන් කිරීමට කටයුතු කර ඇති බව පැහැදිලියි. තමන්ට ගෝඨාභය මෙහෙයවීමට හැකි වේ යැයි සිතා ගෙන. එහෙත් සාර්ථක වී නැහැ. මහින්ද ගෝඨාභයගෙන් වෙන් කළේ නැත්නම් බටහිරයන්ට දෙදෙනා එළවීමට කරන ලද සැලසුම් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ නැහැ.

 

එහෙත් දැන් සිදු වී අවසන්. සිරීපාදෙ නගින්න විවිධ පාර තියෙන බව ඇත්ත. ගෝඨාභය තනි කිරීමටත් විවිධ පාර තිබුණා. ජාතිකවාදී නායකයන් යැයි කියා ගන්නා අය කියන්නෙ සිරීපාදෙදි එකතු වෙමු කියල. එහෙත් ඔවුන්ට එකතු වෙන්න සිරීපාදයක් තියෙන එකක් නැහැ. නායකයන් කියන අය විවිධ වැරදි කරල තියෙනවා. ඒත් මා කිසිවක් ගැන කියන්නෙ නැහැ. අද අවශ්‍ය සිහි බුද්ධියෙන් වැඩ කර සිරීපාදෙ රැක ගැනීමයි.