පාස්කු පුරාණය
මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැය පහක ප්‍රකාශයක් ලබා දීල. ඒකෙ මොනවද තියෙන්නෙ කියන එක රටවැසියන් දන්නෙ නැහැ. ඒ ගැන පොලීසිය විමර්ෂණය කරල නීතිපතිගෙන් උපදෙස් අරන් රටට කියන්න ඕන මොනවා ද කියන එක අධිකරණයට නඩුවක් ගොනු කරනවා ද ආදිය පස්සෙ තීරණය කරන බවයි පේන්න තියෙන්නෙ. කියන්න තරම් දෙයක් නැහැ කියලත් නඩුවක් නැහැ කියලත් තීරණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් තව කවුරු හරි මොකක්වත් ප්‍රකාශයක් කරනකම් අපටත් කාදිනල්තුමාටත් එතුමාගේ අගසවු දෙනමටත් බලා ඉන්න වෙනවා. ඒත් මට කියන්න ඕන ඒක ගැන නොවෙයි.
පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් පිරෙනවා. පාස්කුවත් චන්ද්‍ර මස ක්‍රමයට යෙදෙන්නෙ. ඒ වගේ ම පාස්කු දිනත් එක් එක් සංස්කෘතියෙ වෙනස් වෙනවා. යුදෙවු පාස්කුව (ඔවුන්ගෙ තමයි මුල් පාස්කුව) බටහිර පාස්කුව, නැගෙනහිර ඔතොඩොක්ස් පාස්කුව ආදී වශයෙන් පාස්කු දින වෙනස් වෙනවා. ලංකාවෙ අප යොදා ගන්නෙ බටහිර පාස්කුව. අපට පාස්කුව නත්තල ආදිය ඔක්කොම ලැබුණෙ බටහිරින් නොවැ.
ඒ විතරක්ය වත්මන් විශ්වවිද්‍යාල, උපාධි, උපාධි ලෝගු ආදියත් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ලැබුණු දේ. අපට ඒ එකක්වත් අවශෝෂණය කරගන්න බැරි වෙලා. අප කරන්නෙ අනුකරණයක් පමණයි. ඒකත් ඉතා පහළ මට්ටමේ. මට හැමදාමත් මතක් වෙන්නෙ බටහිර විශ්වවිද්‍යාලවල
ඇති ක්‍රිස්තියානි පල්ලි හා කැලණිය විශ්වවිද්‍යාලෙ
බෝ පැළයක් රෝපනය කරන්න ගිය අවස්ථාවෙ බුද්ධිමත් මොටාල දක්වපු විරුද්ධතාව. ඔවුන් විශ්වවිද්‍යාලය
පන්සලක් ද කියන බුද්ධිමත් ප්‍රශ්නය ඇහුවා.
බටහිර
පාස්කුව ලබන්නේ සූර්යයා උත්තරායනය වුණාට (දක්‍ෂිණාර්ධ ගෝලයෙන් උත්තරාර්ධ ගෝලයට යන මාර්තු 21) පස්සෙ ලැබෙන පළමු පසළොස්වකෙන් පස්සෙ එන පළමු ඉරිදා දිනයෙ. මෙවර මාර්තු 21ට පස්සෙ පුන් පොහොය මාර්තු 24 ලැබුව නිසා පාස්කු ඉරිදා වැටෙන්නෙ මාර්තු 31. පාස්කු ප්‍රහාරය වුණෙ 2019 අප්‍රේල් 20. මෙවර යුදෙවු පාස්කුව අප්‍රේල් 23. යුදෙවු පාස්කුව ඊශ්‍රායලයන් ඊජිප්තුවේ වහල් භාවයෙන් මිදීම හා සම්බන්ධයි. එය පාස්කුව (ගෙවල් පසු කිරීම Passover) යන්නෙන් බිඳී ආවක්. තුන්වැනි සියවසේ පමණ කතෝලික සභාව පාස්කුව යුදෙවු සංස්කෘතියෙන් ඉවත් කර ගැනීමට උත්තරායනය හා සම්බන්ධ කරගෙන.
කොහොමටත් මෙයින් කියැවෙන්නේ ඒ ඒ සංස්කෘතියෙ විවිධත්වය. අද අප කියනවා පාස්කුව වත්මන් ග්‍රෙගරියානු දින දර්ශනය අනුව වෙනස් වෙනවා කියා. ඒ අප සම්මතය ලෙස ග්‍රෙගරියානු දින දර්ශනය පිළිගන්නා නිසා. එහෙත් යම් විධියකින් යුදෙවු දින දර්ශනය සම්මත දින දර්ශනය වුණා නම් එයට සාපේක්‍ෂව ජනවාරි පළමුවැනි දා වෙනස් වෙනවා. යුදෙවුවන්ගේ පොහොය දින දර්ශනයක් තියෙන්නෙ. ඔවුන්ටත් අධි මාස තියෙනවා.
අපට
අවුරුද්ද පටන් ගන්න දිනය හැටියට වෙසක් පුන් පොහොය ගන්න පුළුවන්. බුද්ධ වර්ෂ ගණනය කරන්නෙ ඒ අනුව. එය තමයි අපේ පළමු දින දර්ශනය. පසු කලෙක ශක වර්ෂ ක්‍රමයට අප හැඩ ගැහිලා. දැන් ක්‍රිස්තු වර්ෂ සම්මත වර්ෂ ක්‍රමය වෙලා. අද දිනයක් පටන් ගන්නෙ මධ්‍යම රාත්‍රි දොළහට. යුදෙවුවන්ගෙ දිනය පටන් ගන්නෙ හිරු බැස යෑමත් සමග. අපට දිනය පටන් ගන්නෙ හිරු උදාවත් සමග. අපේ දවසක් පැය විසිහතරක් නොවෙයි. එක් හිරු උදාවක සිට ඊළඟ හිරු උදාව දක්වා දවසක්.
අපේ
අලුත් අවුරුදු නැකැත් රාශියක් තිබුණා. මා කලින් ලිපියක ඒ බව සඳහන් කර ඇති. වි ජ මු ලොකු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුවයි එක නැකතක් පමණක් යොදා ගත්තෙ. මේ වසරේ නැවතත් නැකැත් කිහිපයක් ලැබී තියෙනවා. නැකතේ කතාව ලිපියේ සඳහන් වූ ආකාරයට තමන්ට කැමති නැකතක් ගන්න පුළුවන්. ඇතැම් පඬි නැට්ටන් විජමුගෙ නැකතෙ හිරවෙලා.
අප
අද බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට යටවෙලා. ඉඳ හිට ඉන් මිදෙන්නෙ සිංහල අවුරුද්ද දවසෙ හා පොහොය දවස්වල. පාස්කු දිනය යුදෙවුවන්ගෙ වුණාට එය ක්‍රිස්තියානිකරණයට ලක්වෙලා. අප අද බටහිර පාස්කුව යොදා ගන්නවා. බටහිරයන්ට සිංහල අවුරුද්ද (සූර්යයා මීනයෙන් මේෂයට යෑම හරි රේවත නැකතෙන් අස්විද නැකතට යෑම හරි – ඒ දෙක එකක් ම නොවෙයි) හරි පෝය හරි වැදගත් වුණා නම් ඒ දිනත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න තිබුණා.
බටහිර පාස්කුව යුදෙවු පාස්කුවෙන් වෙනස්. අද එය ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමත් උත්ථානයත් සමග සම්බන්ධ කර ගෙන. එහෙත් එයට අර පාස්කුව කියන පරණ නම ම යොදා ගන්නවා.