Main Logo

Thursday 14 March 2024

එට්කා හා ඉන්දීය ආධිපත්‍යය

 

එට්කා හා ඉන්දීය ආධිපත්‍යය

 

"අද ඉන්ධන ඖෂධ ඇතුළු භාණ්ඩ වෙළඳපොලේ ඇත්තේ ණය නොගෙවා සිටින නිසා බවද හෙතෙම පැවසීය. යම් හෙයකින් විදේශ ණය ගෙවීමේ නැකත වැරදුනහොත් රට ඉබේම වාෂ්ප වී යනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය."

 

මේ මා කියන දෙයක් නොවෙයි. විපක්‍ෂයේ අයකු කියන දෙයක් නොවෙයි. රජයේ පරිණත ඇමතිවරයකු වූ බන්දුල ගුණවර්ධනයන්ගේ මසූරන් වටින කියමනක්. ඔහු විවිධ ආණ්ඩුවල ඇමතිකම් දැරූ අයෙක්. මේ නිෂ්පාදනය අමතක කර රට විවෘත කිරීමේ හා ණයට කෑමේ ප්‍රතිඵල. පඬි නැට්ටන් රාශියක් අපට රට විවෘත කිරීමේ හොඳ කියා තිබුණා. ඔවුන්ට අනුව අප දූපත් මානසිකත්වයක් ඇති ලිං මැඩියන්. අප ලෝකය ගැන කිසිවක් නොදත් මැන්ටල. අප දන්නේ බටහිරට බනින්න පමණයි.

 

මට නම් ඇත්තේ දූපත් මානසිකත්වයක් තමයි. මා ගැන කණගාටු වන්නේ නැහැ. මා පඬි නැට්ටන් තරමට නැති වුවත් ලෝකය ගැනත් ටිකක් දන්නවා. මගේ මනස හැඩ ගැහිලා තියෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙන්. එහි ඊනියා යථාර්ථවාදී නොවන ජාතක පොත උඩින් තියෙනවා. මා කළු කුහර නැහැ කියන්නෙත් මගේ දූපත් මානසිකත්වයෙන්.  මට බටහිර විද්‍යාවත් ටිකක් ඉගෙන ගන්න ලැබුණා. මා හැකි පරිදි දැනටත් බටහිර දැනුම ලබා ගන්නවා. මට අවශ්‍ය අපේ භික්‍ෂූන් වහන්සේටත් බටහිර විද්‍යාව ඉගෙන ගන්න සලස්වන්න. අතර එහි ආධිපත්‍යයට යට නොවන්නත් කියන්න.

 

අප රට රටවලින් යම් යම් දේ ලබා ගන්නවා. අනුකරණය නොකර අපට අවශ්‍ය ආකාරයට ලබා ගන්නයි කියන්නෙ. අප කියන්නෙ නැහැ අනෙක් රටවල් එක්ක වෙළඳාම් කරන්න එපා කියලා. විජයටත් කලින් ඉඳන් මෙරටට වෙළෙන්දන් පැමිණ තියෙනවා. සමහරුන්ට අනුව සිංහල කියල වෙළෙන්දෙක් ඇවිත් තියෙනවා.

 

කොයි හැටි වෙතත් ප්‍රශ්නය අද අප අත්සන් කරන වෙළෙඳ ගිවිසුම්වලින් අපට සෙතක් වෙනවා කියන එක. ජේ ආර්ලා රට විවෘත කෙළේ වෙළෙඳාමට පමණක් නොවෙයි. සංස්කෘතියටත් විවෘත කළා. අප රූපවාහිනිය හරහා හැම දෙයක් වගේ අනුකරණය කරන්න පටන් ගත්තා. අද රට වැටිල තියෙන්නෙ මූලික වශයෙන් අවුරුදු පනහක පමණ ජේ ආර් පන්නයේ විවෘතකරණය නිසා.

 

අප ගිල ගන්න මකරුන් ඉන්නවා. බටහිරයන් මෙන් ඉන්දියාව බලන්නේ අපට පිහිට වෙන්නෙ නො වෙයි. අද කවුරුත් එක්ටා ගිවිසුම ගැන කතා කරනවා. එය වරක් අත්සන් නොකෙරුනේ පොදුජන පෙරමුණේ විරුද්ධත්වය නිසා. අද ඔවුන් ගැන එතරම් දෙයක් කරන බවක් පේන්න නැහැ. මෝදිදාස්ලා නම් දැන් කිසිවක් කරන්නේ නැහැ. ඔවුන්ට අද විදෙස් තානාපතිවරුන් හමුවෙන්න තියෙනවා. විදෙස් සංචාර තියෙනවා. අද මාලිමාව ඔවුන්ගේ පරණ භාෂාවෙන් නම් තවත් ධනවාදී පක්‍ෂයක් වෙලා ඉවරයි. බලහත්කාරයෙන්  එහි න්‍යායාචාර්යවරුන් වීමට දඟලන අයට දැන් ඊනියා වමේ පක්‍ෂ පේන්නේ වාම රැඩිකල් කණ්ඩායම් ලෙස.  ඔවුන්ට තේරෙන්නෙ නැහැ අද වමාලා හිටියට වමක් කියා දෙයක් නැති බව. අද දේශපාලනය බෙදෙන්නේ ජාතිකත්වය උඩ.

 

එට්කා ගිවිසුමට ජා පක්‍ෂයේත් සමහරු විරුද්ධයි. එහෙත් ඔවුන්ට ඉන්දීය ආධිපත්‍යයට යටවෙන්න සිදුවෙලා. අද මෙරට දේශපාලනයේ වැදගත් කාර්යය තමයි බටහිර බලපෑම්වලට මෙන් ඉන්දීය හා වෙනත් බලපෑම්වලට විරුද්ධ වී පරාජය කිරීම. ඉන්දියාව අද අප රට ගිල ගන්න බලන් ඉන්නවා. එට්කා එහි එක් පියවරක් පමණයි. ඉන්දියාව කියන්නෙ බුදුහාමුදුරුවන් වැඩ විසු දඹදිව නො වෙයි. අප තවමත් වන්දනාවෙ යන්නෙ දඹදිව මිස ඉන්දියාවෙ නො වෙයි. අද ඉන්දියාව හින්දු ජාතික රාජ්‍යයක්. ඔවුන් අපට විරුද්ධ දෙමළ ජාතිවාදය යොදා ගත්තා. එයට අනුග්‍රහය දැක්වූවා.

 

අප බටහිර ආධිපත්‍යයට මෙන් ඉන්දීය ආධිපත්‍යයටත් විරුද්ධ පෙළ ගැහෙන්න ඕන. සඳහා අපට දේශපාලන මෙන් ආර්ථික වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. අපට හැමදාමත් ණයට කන්නත් බැහැ. අනුකරණය කරන්නත් බැහැ. අප දැන් අනුකරණයේ අවසන් අදියරට පැමිණ තියෙන්නේ. තවත් මග ගියොත් බන්දුල ගුණවර්ධන කියනව වගේ අප වාෂ්ප වෙලා යාවි.

 

පොදුජන පෙරමුණ එවැනි පෙළ ගැහීමකට සූදානම් නැත්නම් වෙන අතක් බලන්න වෙනවා. වෙනත් දේශපාලන සංධානයක් අවශ්‍ය වෙනවා. එහි මූලික ප්‍රතිපත්තියක් විය යුත්තේ ඉන්දීය ආධිපත්‍යය පරාජය කිරීම. අපට එහි දී යම් කැප කිරීමක් කරන්න සිදුවේවි. සඳහා නම් ඉන්දියාව ආදර්ශයට ගන්න පුළුවන්. තම සංස්කෘතිය විනාශ කර ගන්නෙ නැතුව ඔය පඬි නැට්ටන් කියන බාහිර ලෝකයෙන් දැනුම ලබා ගන්නෙ කොහොමද කියන එක ඉන්දියාව පෙන්නල දීල තියෙනවා. ඔවුන්ගේ ආදර්ශය ගෙන ඔවුන්ගේ ආධිපත්‍යයෙන් මිදෙමු.