අපි
අලුත් අදහස් නැති ජාතියක්
මෙරට ඇත්තේ අලුත් අදහස් නැති කමේ ප්‍රශ්නයක්. බොහෝ දෙනා හිතන්නේ තමන්ට අදහස් තියෙනවා කියා. මා මොටාවට ශිෂ්‍යයකු ලෙස ගියෙ 1963 ජූනි මාසයේ. අවුරුදු හැටකට වැඩියි. මොටාවෙ අලුත් අදහස් තිබුණේ නැහැ. දැනුත් නැහැ. 1960 පමණ කාලයේ සිට මට අවශ්‍ය වුණෙ විද්‍යාඥයකු වෙන්න. විද්‍යාඥයන් කියන්නෙ විද්‍යාව ටිකක් කටගාගත් අය නො වෙයි. මා උපාධියට හැදෑරුවෙ ගණිතය. ඒත් එය ගණිත පාඨමාලාවක් නොවෙයි. එකල තිබූ බිරිතානි ක්‍රමය අනුව මෙරට ගණිතය කියා කිවුවෙ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට. අපට උපාධි අවසාන පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර අටක් තිබුණා. පළමු වසරෙන් පසු අපට විභාග තිබුණෙ අවසාන පරීක්‍ෂණය. අවුරුදු තුනක් ගණිත විශේෂ පාඨමාලාව හැදෑරීමෙන් පස්සෙ පැය තුනේ ප්‍රශ්න පත්‍ර අටකින් සියල්ල විනිශ්චය කළා. ඒ කියන්නෙ අවුරුදු තුනක වැඩ පැය විසි හතරකින්.
ප්‍රශ්න පත්‍ර අටෙන් තුනක් ශුද්ධ ගණිතය තුනක් ව්‍යවහාරික ගණිතය මිශ්‍ර ප්‍රශ්න පත්‍ර දෙකක් තිබුණා. ඒ ප්‍රශ්න පත්‍ර දෙකේ තම කැමැත්ත අනුව ශුද්ධ ගණිතයෙන් හරි ව්‍යවහාරික ගණිතයෙන් හරි වැඩියෙන් ප්‍රශ්න තෝර ගන්න පුළුවන්. ඒත් අනෙක් පැත්තෙනුත් අවම ප්‍රශ්න ගණනක් තෝර ගන්න සිද්ධ වුණා. ප්‍රථම උපාධියෙන් පස්සෙ මා ගණිතය අත්හැරියා කී විට එක් අයකු කියා තිබුණා ඒ මට ගණිතය බැරි නිසා කියා. තවත් අයකුට ප්‍රශ්නයක් වුණේ මා නිකමට හරි ගණිතයෙන් මහාචාර්ය කෙනකු වුණේ කොහොමද යන්න.
හොඳ
විදග්ධ ප්‍රශ්න. ගණිතය අත්හැරියා කියන එකෙන් මා අදහස් කෙළෙ ශුද්ධ ගණිතය අත්හැරියා කියන එක. ගණිතය කියා කියන්න පුළුවන් ශුද්ධ ගණිතයට. ව්‍යවහාරික ගණිතය කියන්නෙ ගණිතමය භෞතික විද්‍යාවට. අවශ්‍ය නම් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව කියන්නත් පුළුවන්. නමුත් ඒ දෙකේ වෙනසක් තියෙනවා. මා ශුද්ධ ගණිතයෙන්, එනම් ගණිතයෙන් එතරම් දක්‍ෂයකු නො වෙයි. මා කැමති වුණේ ගණිතමය භෞතික විද්‍යාවට එහෙමත් නැත්නම් බිරිතානි ක්‍රමය අනුව ව්‍යවහාරික ගණිතයට. මට ගණිත අධ්‍යනාංශයේ රස්සාවක් ලැබුණු එක ඇත්ත. ඒත් මා ඉතා වැඩි වශයෙන් කතා කෙළෙ ව්‍යවහාරික ගණිතය ගැන.
මට
1967 ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ලැබුණු එකත් ඇත්ත. මා ඒ මගින් සසෙක්ස් විශ්වවිද්‍යාලයට
ගියෙ ගණිතය අත්හැර විශ්වවේදියෙක්
(Cosmologist) වෙන්න. කාට හරි එහි පරස්පරයක් පේනවා නම් කරන්න දෙයක් නැහැ. මට ඕන වුණෙ සාධාරණ සාපේක්‍ෂතාවාදය හා විශ්වවේදය හදාරල විද්‍යාඥයෙක් වෙන්න. එහෙත් මට එංගලන්තයේ දී තේරුම් ගියා මට අලුත් අදහස් නැති බව. එ නිසා කාලය හා රජයේ ශිෂ්‍යත්වයේ අරමුදල් නාස්ති නොකර ආපසු ලංකාවට එන්න තීරණය කළා. ඒ ඇවිත් අවුරුදු දහයකට විතර පස්සෙ මට තේරුණා අලුත් අදහස් නැත්තෙ මොක ද කියා.
අදත්
බොහෝ දෙනා හිතන්නෙ දැනුම කියන්නෙ තනි පද්ධතියක් කියා. ඊයේ පෙරේදාත් මා දැක්කා පඬි නැට්ටකු කියා තිබුණා දැනුම කොහේ තිබුණත් දැනුම කියා එය පෙරදිග අපරදිග යනුවෙන් හරි ක්‍රිස්තියානි බෞද්ධ කියා හරි වෙන් කරන්න බැහැ කියා. මා කියන දේ කිසිවකු නොපිළිගත්තත් මට තේරෙන්නෙ ඒ ඒ සංස්කෘතිවල මිනිසුන් හිතන්නෙ වෙනස් ආකාරයකට කියා. ඒ විතරක් නොවෙයි දැනුම අලුතෙන් සංස්කරණය (නිර්මාණය) කෙරෙන්නෙ ඒ ඒ සංස්කෘතියෙ අදාළ චින්තනයෙ කියා. මගේ ලෝකය පොතේ කියැවෙන්නෙ ඒ කතාව. ඒකට අභිසංස්කරණාත්මක සාපේක්‍ෂතාවාදය
කියල නමක් දාගෙන තියෙනවා. දැනුම සංස්කරණය කෙරෙන්නෙ ඒ ඒ සංස්කෘතියට සාපේක්‍ෂව යම් චින්තනයක.
අපට
වෙනත් සංස්කෘතියක සංස්කරණය කෙරුණු දැනුමක් ඉගෙනීම අපහසු කාරණයක් නො වෙයි. මට යම් පමණකට සාධාරණ සාපේක්‍ෂතාවාදය හා විශ්වවේදය හදාරන්න පුළුවන් වුණා. එය ප්‍රශ්නයක් නො වෙයි. ප්‍රශ්නය වෙන්නේ ඒ ක්‍ෂෙත්‍රයෙහි අලුත් දැනුමක් සංස්කරණය කරන්න පුළුවන් ද කියන එක. මා දන්නවා හැම විශ්වවිද්‍යාලයක
ම ආචාර්ය උපාධිය ලබා දෙන්නෙ දැනුමට යම් ප්‍රදානයක් කෙරුවොත් කියා. එහෙම නැත්තන් අලුත් දැනුමක් එකතු කිරීමෙන් කියා. ඒත් ඒ අලුත් දැනුම් බොහෝ විට පරිධියේ කෙරෙන සෙල්ලම්.
මා
අදහස් කරන්නේ එවැනි සෙල්ලම් නො වෙයි. මධ්‍යයේ අලුත් අදහස් ඉදිරිපත් කිරීම්. පෙරදිග හා අපරදිග මා වැඩියෙන් ගරු කරන්නේ නාගර්ජුන හාමුදුරුවන්ට හා අයින්ස්ටයින්ට.
කවුද අහල තිබුණ මා මූලමධ්‍යමකකාරිකාව සංස්කෘතෙන් කියවල තියෙනවා ද කියා. අපොයි නැහැ. මා එය ඉංගිරිසියෙන් නම් මට තේරෙන විධියට කියවල තියෙනවා. දැන් මට මාධ්‍යමිකයා කියන්න. එහෙත් කරුණු දෙකක්. එකක් මා ශූන්‍යය පිළිගත්තත් ශූන්‍යතාව පිළිගන්නේ නැහැ. දෙක මහාචාර්ය කළුපහන කියන විධියට නාගර්ජුන හාමුදුරුවන් මහායානිකයකු නො වෙයි.
අයින්ස්ටයින්ගේ ක්වොන්ටම් අදහස් අමතක කරන්න. ඔහුගේ විශ්වවේදී නියතය ගැන නම් මා හිතන්නේ වෙනස් විධියකට. එය විචල්‍යයක් ලෙසයි මා සලකන්නේ. මෙයින් කියන්නේ මා නාගර්ජුන හාමුදුරුවන්ට හරි අයින්ස්ටයින්ට හරි උසස් කියන එක නොවෙයි. මට ඔවුන්ගේ අහලකටවත් එන්න බැහැ. මා ඒ අදහස්වලින් පෝෂණය වෙලා නම් තියෙනවා. නාගර්ජුන හාමුදුරුවන් බෞද්ධ චින්තනයේ ඉහළ ම චින්තකයා. අයින්ස්ටයින් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඉහළ ම චින්තකයා. ඒ මට පේන විධියට. ඒ දෙදෙනාට අමතර ව අලුත් අදහස් ඉදිරිපත් කළ තවත් අය රාශියක් ඉන්නවා.
එහෙත්
ලංකාවේ අලුත් අදහස් ඉදිරිපත් වන්නේ නැහැ. අලුත් අදහස් එන්නේ යම් චින්තනයක. අප අද අපේ චින්තනය අමතක කරගෙන. අපට බටහිර චින්තනයේ සංස්කරණය වෙන දැනුම ලබා ගන්න පුළුවන් වුණත් එහි අලුත් අදහස් සංස්කරණය කරන්න බැහැ. අප බටහිර අදහස් අහුලාගෙන පරිධියේ සෙල්ලම් කරන පිරිසක් පමණයි. මට විද්‍යාඥයකු වීමට නොහැකි බව 1970 දී තරම තේරුණත් එසේ වීමට නොහැක්කේ මා බටහිර විද්‍යාව පදනම්වන චින්තනයේ නොමැති නිසා බව ඊට අවුරූදු දහයකට පමණ පසු තේරුම් ගත්තා.
අද
මෙරට ඇති දේශපාලන ප්‍රශ්නයට හා ආර්ථික ප්‍රශ්නයට අපට විසඳුම් නැත්තේ අපට අලුත් අදහස් නැති බැවින්. අපට ඒ අදහස් බටහිර චින්තනයේ ලැබෙන්නේ නැහැ. අප ඒ චින්තනයේ නැහැ. අප අපේ චින්තනය සතපහකට ගණන් ගන්නේ නැහැ. එය අමතක කරලා. එය හෙළා දකිනවා.